ප්‍රේමකීර්ති ද අල්විස් කොළඹ යුගයේ ගීත රචකයාය

536

1947 ජූනි 3 – 1989 ජූලි 31

සිංහල ගීතය ස්වායත්ත නැතහොත් ඒකල සාහිත්‍යාංගයක් වශයෙන් අපේ ජන ජීවිතයට එකතු වූයේ පසුගිය සියවසේ මුල් භාගයේ සිටය. එතැන් පටන් එහි වූ ජනප්‍රිය භාවය අනෙකුත් සාහිත්‍යාංගයන් කෙරෙහි සිදු කළ බලපෑම සුළුකොට තැකිය නොහැකිය. සමහර විචාරකයන් සිංහල ගීතය අවර ගණයේ කලාවක් යැයි හංවඩුවක් ගැසුවද ගීතය තමන්ට හිමි වපසරිය පුළුල් කරගත් ආකාරය හා එය ගීත සාහිත්‍යයක් දක්වා විකාශනය වීම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැනි වියතුන් සිංහල ගීතය පිළිබඳව කරන ලද පර්යේෂණ ග්‍රන්ථවලින් ස්පුට වේ.

කොළඹ කවියේ දෙවැනි පරපුරට අයත් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, සාගර පලන්සූරිය, විමලරත්න කුමාරගම, එච්. ඇම්. කුඩලිගම, අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක, කපිල ඊ සෙනෙවිරත්න, මීතොටමුල්ලේ යූ. ඒ. එස්. පෙරේරා, තිහාරියේ පීටර් පෙරේරා, විමලේන්ද්‍ර වතුරේගම, බඹරකොටුවේ සුධර්ම සෙනෙවිරත්න, පණ්ඩිත විමල් අභයසුන්දර වැනි කවීන් අතර චන්ද්‍රරත්න මානවසිංහ හා විමල් අභයසුන්දර යන දෙදෙනා තමන් අත්පොත් තැබූ කවියෙන් බැහැරව වඩා පෘථුල ලෙසින් ගීත රචනයට නැඹුරු වූ ආකාරය ඔවුනගේ නිර්මාණ විමසුමේදී පෙනී යයි. මේ දෙදෙනා ගුවන් විදුලි ගීත හා ගීත නාටක ප්‍රගමනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ බව වෙසෙසින්ම සඳහන් කළ යුතුය. මේ අතර ඉහත නම් සඳහන් කළ සෙසු කවීන් ඉඳහිට ගීතයක් දෙකක් රචනා කළ කවීහු වූහ.

කොළඹ යුගයේ කවියකු හැටියට සිය කලා ජීවිතය ඇරඹූ කරුණාරත්න අබේසේකර තරම් සතර පද කවියම සිය ගීත රචනා සඳහා යොදාගත් රචකයකු නොමැති තරම්ය. එළිසමය ඔහුගේ සමස්ත ගීතාවලිය පුරාම දකින්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වෙයි.

“උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
සංවේගය ඉවසමි මම කඳුළු සලාලා….”

“සඳ නැත බැබලෙන්න
නොපෙනේ තරු ගොන්න….”

“නෙළන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට කිම සිත යන්නේ…..”

“දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට
නුග රුකක් වෙලා උතුරා යන විඩාවට
පිපි මලක් වෙමින් මල් නොපිපුණු තටාකෙට
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට…..”

මිල්ටන් පෙරේරා සහ එච්. ආර්. ජෝතිපාල ගායනා කළ මේ ගීත සියල්ලට ම සතර පද කවි ඒ ආකාරයෙන්ම යොදාගත් බව පෙනේ.

කරුණාරත්න අබේසේකරගේ සමකාලීනයකු වන ධර්මසිරි ගමගේ කවියා ද කොළඹ කවිය හා කවීන් ඇසුරේ සිටිමින් සිය නිර්මාණ කුසලතා ඔප්නංවා ගත් ගීත රචකයෙකි.

ඔහුගේ ආරම්භය ද කොළඹ යුගයේ කවියකු වීම නිසාම ඔහුගේ ගීත රචනාවල විරිත් සතරපද හා කොළඹ කවි බස නොමඳව දක්නට ලැබේ.

“සිහින පොතේ පිටුවක් පෙරළී ඇත
මොනවද එහි ලියැවී ඇත්තේ
මතක ලොවේ දොර අගුලු ඇරේ අද
මොනවද එහි සිරවී ඇත්තේ….”

“ආදරයෙ බැමි සිඳිලා පෑරුණු සිත සංසිඳිලා…..” (අමරදේව)

“විමානයේ කවුළු දොරින් නෙත් හී සැර විදලා
කුමාරියක් කතා කරයි කාටද අත වනලා….”

(නාරද දිසාසේකර)

“රුවට රුවක් දුටු තැන රුව ගැන සිතුවාදෝ
හඬට හඬක් දී රුං රුං හඬ නැගුවාදෝ……”

(නන්දා මාලනී/වික්ටර් රත්නායක)

“රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මඳ බිසවුනි කොහෙදෝ යන්නේ……”

(මිල්ටන් පෙරේරා)

“කුඩා ගමේ මද්දහනේ අව්රස්නේ නිවා…..”
(සුනිල් එදිරිසිංහ)

“ඈත වනපෙත සරසාලා…..” (සුජාතා අත්තනායක)

“මාගෙ පුතුට මල් යහන සදන්නේ…… ”(සිසිර සේනාරත්න)

“පවන් සුසුම් දැලින් වේලී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොනින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා…”

(ඉන්ද්‍රානි පෙරේරා/දේවානන්ද වෛද්‍යසේකර)

ඉහත ගීතයන් සඳහා ධර්මසිරි ගමගේ බොහෝ සෙයින් යොදා ගෙන ඇත්තේ කොළඹ කවි බසයි. ඒ අතර ඒවා එළිසම සහිත කවි වලට නෑකම් කියන සෙයක් පෙනී යයි.

ගීත රචකයකු හැටියට වඩා නමක් දිනා ගත් මඩවල එස් රත්නායක ද සිය ආරම්භය සනිටුහන් කළේ කවියකු හැටියට ය. එකල බහුලව ප්‍රකාශයට පත් වූ දේදුන්න, මී වදය, සුවඳ වැනි සඟරාවලට කවි සපයමින් ඔහු සිය නිර්මාණ ජීවිතය ආරම්භ කළේය. එකල ඔහුගේ සියලු නිර්මාණ එළිසමය සහිත සතර පද කවි බව කිව යුතුය.

අමරදේවයන්ට ඔහු ලියූ “උදෑසන මා දකින මිහිරියේ ගැමි ළඳේ” වැනි ගීත සිව්පද විරිතේ එළිසම සහිතව කලකට පෙර ඔහු විසින් සුවඳ සඟරාවට රචනා කළ පද්‍ය පෙළකින් උපුටා ගත් ගීතයකි. එවන් උදාහරණ තවත් රැසක් මඩවලගේ ගීත තුළින් පෙන්වා දිය හැකිය.

සිංහල කවියට විචාරයක් නොමැති වූවා සේම සිංහල ගීතයට ද හරි හමන් විචාරයක් නොවූ බව කිව යුතුය. පේරාදෙනි ගුරුකුලය කොළඹ කවියට එසවූ අවියම කොළඹ කවියෙන් පෝෂණය ලද කරුණාරත්න අබේසේකර හා ධර්මසිරි ගමගේ වැනි රචකයන්ට එසවුණි.

ඔවුන්ගේ විචාර මිනුම් දඬුවලට අනුව ඉර, සඳු, තරු, ගංගා, දේදුණු, මී මැසි, පිනි, සමනළ තටු, මීදුම්, කුරුලු ගීත වැනි යෙදුම් සුසුම් පද නොඑසේ නම් සක්ක පද නැතිනම් ගර්හිත පද හා යෙදුම්ය. අතිශය සරල වචන කවියට යොදා ගැනීම කවියේ මට්ටම පහළට දැමීමක් බව නූතන සිංහල කාව්‍ය සහ නව කවි සරණිය විචාරය (1978) නමැති ග්‍රන්ථයේ සංස්කාරක එච්. ඇම්. මොරටුවගම ප්‍රකාශ කරයි.

ප්‍රේමකීර්ති ද අල්විස් ගීත රචනයට පිවිසුනේ ඉහත කී පසුබිමේ ය. ඔහු ගීත රචනයට පිවිසෙන විට ගීතයකට සුදුසු ගීතවත් වචන රැසකට විචාරකයන් විසින් තහංචි දමා තිබුණි. එහෙත් ප්‍රේමකීර්ති ඒ සියලු පවුරු පදනම් බිඳ දමමින් විචාරක කම්හලේ ගර්හිත වචන ගොඩේ තිබුණු සෑම වචනයක්ම සිය ගීත රචනා සඳහා යොදා ගත්තේය. ප්‍රේමකීර්ති ද අල්විස් නමැති විශිෂ්ට පද රචකයාගේ භාෂා භාවිතය හා යෙදුම් ගැන මෙවන් කුඩා ලිපියකින් කතා කළ හැකි කරුණක් නොවේ. අප මෙහිදී උත්සාහ කරනුයේ ප්‍රේමකීර්ති නමැති ගීත රචකයා සිය භාවිතය තුළ එකම වචනය විවිධාකාරයෙන් යොදාගෙන සිය රචනා කලාවෙන් අපට පසක් කළ නෛපුන්‍යයයි.

මෙතැන් සිට ඔහු “සඳ” යන වචනය විවිධ තන්හි අරුත් ගන්වා ඇති ප්‍රශස්තභාවය පෙන්වා දීමට උදාහරණ කිහිපයක් ගෙන හැර දක්වමු. ඔහු වඩාම ගීත රචනාකොට ඇත්තේ වික්ටර් රත්නායකටය. වික්ටර් ගායනා කළ ඔහුගේ ගීත රචනා අතර

“මුතු වරුසාවට තෙමිලා – පිනි ඉහිරුණු වෙල් එළියේ…..”

ගීතයේ දෙවන අන්තරා කොටසේ පළමු පේළියේ

“එළිය කරයි සඳ නැඟ වෙල ළඟ දෙනිය….”
“සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති වනන්තරේ නැත තනියක්….”
“සඳු හිරු තරු මැද…”

“කතරට කුමටද වසන්තයක්….” ගීතයේ “සඳ රැස පිනි දිය වැලෙහි ඔතා – පළඳමි ගෙල වට මලක් ගොතා……”
“අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්…..” ගීතයේ “හඳ පානේ මඳ අඳුරේ අත් පටලා ගමු ආයේ”

“සඳට අහස ආදරේ දෝ……”
(සුජාතා අත්තනායක සමඟ)

“තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත – ඔබ සෙවන පමනි මිහි පිට ඇති එකම සම්පත” මේ ගීතයේ එක් තැනෙක” මඳ පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම් – සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්…..”
“සීතල ලන මිනිමුතු පින්නේ අවසාන පේළියේ
“රෑ සඳ විලසිනි හිනැහෙන්නේ…..”

වික්ටර්ගේම සුප්‍රසිද්ධ “ආදරයේ උල්පත වූ අම්මා……” ගීතයේ “සඳ දියකොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා……”

“කුරුල්ලන්ට ගී ගයන්න…… ගීතයේ ඉරට සඳට එළිය එන්න ඔබෙ හසකැන් දෙන්න

සඳ කැන් වැසිලා අඳුරේ එතිලා

මේ වික්ටර්ට ප්‍රේමකීර්ති රචනා කළ ගීත රැස අතුරින් සඳ යන වචන යොදා ගත් අවස්ථා කිහිපයක් පමණි.

මීට අමතරව අනෙකුත් ගායක ගායිකාවන් සඳහා ප්‍රේමකීර්ති රචනා කළ ගීත අතර සඳ යන වචනය යෙදුනු තැන් කිහිපයක් පෙන්වා දිය හැකිය.

ඇන්ජලින් ගුණතිලක ගායනා කරන
(වික්ටර් දළුගමගේ තනුවකට)

දිනෙක ඔබ සඳ වාගෙ හැඩයි –
දිනෙක ඔබ ඉර වාගෙ සැඩයි…..”

විජේසිරිවර්ධන පොළාන්නෝවිටගේ විශාඛාව ඔබ මා දුටු බුදු සිරිතේ ගීතයේ

“කිරි බිඳ බිඳ දෙතොලඟ තවරාලා
ඉර හඳ පෙන්වා දීලා…..”

මර්වින් පෙරේරා ගයන “සඳ මිදුලට එනවා….” ගීතයේත් කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී. ගීතයේ එක් තැනෙක සඳු නොදකින නමුදු සඳට එළිය හිරුගෙනී…..”

ප්‍රියා සූරියසේන ගයන “සරතැස නිමා දිවි කතරේ….” ගීතයේ සඳවත් ඉතින් පල නෑ ප්‍රියේ සහ ඔහුගේම “සඳ මා ගාවයි…..” සහ “ප්‍රණීත මීපැණි ගෙන ආවත් විස ඇත බමර තුඩේ…..” ගීතය අවසන් කරන්නේ “මිනිසුන් පිය සටහන් තැබුවත් නොබිඳෙයි කිරණ සඳේ..”

මිල්ටන් පෙරේරා ගයන ඔබේ ප්‍රේම නගරේ ගීතයේ සඳේ සීත කැල්මයි ඉරෙ රශ්මියයි.

මිල්ටන් මල්ලවආරච්චි ගයන ඇසල සඳට පිට දීලා…..
දිනෙක රන් සළු පළඳා සඳ නැති මේලාවෙන්…
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ

මාලනී බුලත්සිංහල සහ සමන් ද සිල්වා යන දවසේ පහන් නිවා ගීතයේ අද නෑ පෝය දිනේ විලස සඳේ එළිය මෙසේ.

මාලනී බුලත්සිංහලගේ තවත් ජනප්‍රිය ගීතයක් වු මා එක්කලා අමණාපව වී දබර එහි එක් තැනෙක හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු.

අබේවර්ධන බාලසූරිය ගයන සිහින් සිනිඳු සුවය සිසිල දෙවන හදවතේ ගීතයේ එක් තැනෙක සොඳුරු රැයෙක සඳක කැළුම් නගන මුව ඔබේ

ජී. එස්. බී රාණි පෙරේරා ගයන හිත කතා කරයි ඔබ ගැන ගීතයෙ සඳ කලාපයෙන් කලාපයට එළිය ගෙන එතේ

එච්. ආර්. ජෝතිපාල සහ ඉන්ද්‍රානි පෙරේරා ගායනා කරන මේ දෑස කාගෙදෝ නම් වු ගීතයේ එකම විදියේ එකට පා තබා යමිදෝ කෙසේ සඳට මුවාවී අහසේ තරු නිමා ඉමිදෝ කෙසේ.

සුජාතා අත්තනායක ගායනා කරන මීදුම් වලාවන් ගලාලා කඳු රැලි පාමුලේ ගීතයේ එක් තැනෙක සඳ රෑට එන්නේ තරු දහස මැද්දේ

සුජාතාගේම නෙත් වසා සවනින් අසා ඇසුවත් ඇසෙන්නේ ඔබ ගැනයි ගීතයේ

සඳ නැතත් තරු ගිලුනත් ඔබ මගේ මිනි පහන වේ සහ ඇයගේම රනඹර අබරණ ගීතයේ ලා පැහැ දල්ලක් විලසට සෙලවෙන සඳ රැල්ලේ වැතිරී

ශ්‍රීමතී තිලකරත්න ගයන ආත්ම ගණනක සිතිවිලි අතරේ මා ඔබ සෙව්වා නෑ දුටුවේ ගීතයේ එක් තැනක සඳවත පායන රෑ කල අහසේ යනුවෙන් යෙදුමක් වෙයි.

ගුවන් විදුලි ගායිකාවක වූ අනෝමා රාසපුත්‍ර ගැයූ භාවනා කරන්නම් ගීතයේ අඳුරේ අත ගෑ සඳමඬලක් සේ සහ ඇයගේම ගීතයක් වූ පළඟැටි දැති කියත් අරන් තැන තැන රෑ ලී ඉරනව

සඳ දැන් දැන් ඒවි කියල කළුවර ඇඟලුම් ලිහනව”

අප මේ උදාහරණ කිහිපයෙන් කිසියම් උත්සාහයක් කළේ විචාරකයන් විසින් කොළඹ කවියේ ගර්හිත වචනයක් ලෙසින් හංවඩු ගැසු සඳ ඒ ඒ තන්හි ගැලපෙන ආකාරයට අර්ථයට හානියක් නොවන පරිද්දෙන් ඉතා හුරුබුහුටි ලෙස ප්‍රේමකීර්ති යොදාගෙන ඇති ආකාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් කිරීමටය. මෙය එක් වචනයක් පිළිබඳ උදාහරණයක් පමණි.

ඔහුගේ ගීතාවලිය පුරාම ඇත්තේ එවැනි යෙදුම්ය. ඔහුගේ ගීත ජන කවියෙන් මෙන්ම කොළඹ කවි බසින් ද මනා ආභාසයක් ලැබූ පරිණත බවක් පෙන්නුම් කරයි. මේ කෙටි ලිපිය ප්‍රේමකීර්ති පිළිබඳව මතු හදාරන අයට සහ විමර්ශනය කරන අයට නව මානයක ප්‍රවේශයක් වේවා.

● ගීතනාත් කුඩලිගම

advertistmentadvertistment
advertistmentadvertistment