එකම ලෝකයක්, අලුත් ආගමක්…?

280

ජාති, ආගම්, වර්ණ ආදි වාද – භේද කිසිවක් නැති, මනුෂ්‍ය වර්ගයා එකම හුයකින් බැඳ තබන අනාගත ලෝකයක් නිර්මාණය විය හැකි ද? සිහිනයක් පමණක් ලෙස හැඟී යන එවැනි ලෝකයක් වෙනුවෙන් කවර නම් පසුබිම් සාධක සපුරාගත යුතුව ඇත්තේ ද? මානව ජීවිතයේ අතිශයින් සමීප පරිච්ඡේදයේදී අධිපති භූමිකාවක් රඟ දක්වනු ලැබූ බටහිර ලෝකය (බටහිර නායකත්වය) නුදුරු අනාගතයේදී අත්පත් කරගනු ලබන්නේ ආසියාව විසින් ද?

මේ සියලු ප්‍රශ්න හා මාතෘකාවනට අදාළ වන ගැඹුරු වූත්, කාලීන වූත්, දායන්විත වූත් සම්භාෂණයක සටහන් Choose Life; a Dialogue නමින් ඉංග්‍රීසි බසින් එළිදැක්වෙන්නේ 1976 වසරේදී ය. රිචඩ් එල්. ගේජ්ගේ (Richerd L. Gage) සංස්කරණයක් වන මේ ග්‍රන්ථය, 1999 වසරේදී සිංහල බසින් ප්‍රකාශයට පත්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයට 40 වසරක් සපිරීම නිමිති කොටගෙන එහිම ප්‍රකාශනයක් ලෙස ය. ඉංග්‍රීසි සංස්කරණයෙහි ආ භාෂණ ශෛලිය එලෙසින්ම අනුවාද කරමින් ‘සරු දිවියකට – සම්භාෂණයක්’ නමින් එය සිංහල භාෂාවට පරිවර්තනය කරන්නේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ය. මේ අගනා සම්ප්‍රදානයේ සම්භාෂින් දෙදෙනා සම්බන්ධයෙන් කෙටි විස්තරයක් පොතේ පළව ඇත්තේ මෙසේ ය.

අයින්ස්ටයින්, ෂ්වයිට්සර් සහ බර්ට්‍රන්ඩ් රසල් වැනි ජාත්‍යන්තර විද්වතකු ලෙස Time සඟරාව හඳුන්වා දුන් මහාචාර්ය අර්නෝල්ඩ් ටොයින්බී මහතා අසූහය වසරක් ආයු වළඳා 1975 දී අභාවප්‍රාප්ත වූයේ ය.

දයිසකු ඉකෙදා මිලියන දහයක සාමාජිකත්වයක් ඇති ගිහි බෞද්ධ සංවිධානයක් වන සොකා ගක්කායි ජාත්‍යන්තරයේ සභාපතිවරයා වන අතර ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනය, සංස්කෘතිය සහ සාමය ප්‍රචලිත කිරීමේ සද්කාර්යයට කැප වූවෙකි. 1971 – 1974 දක්වා කාලය තුළ ටොයින්බී සහ ඉකෙදා අතර බටහිර සහ නැගෙනහිර වෙසෙන සමකාලීන මිනිසා හා සම්බන්ධ අතිශය වැදගත් ප්‍රශ්න සාකච්ඡාවට භාජනය කරන ලද්දේ ය.

මෙම ප්‍රශ්න සමුදාය පිළිබඳ යෝජනා, නිරීක්ෂණ හා අදාළ හේතු දැක්වීම් සියල්ල අතරින් අප මෙහිදී තෝරාගත්තේ දේශපාලනික හා ජාත්‍යන්තර ජීවිතය නම් වූ පොතේ 3 වන හෙවත් අවසාන කොටසේ එන එකම ලෝකයක් සහ දේශපාලන ක්‍රමයක් තෝරාගැනීම නම් වූ පොළඹවනසුළු මාතෘකා දෙකට අදාළ අදහස් දැක්වීම්වලින් කිහිපයකි.

නිල් ග්‍රහයා එක්සේසත් කිරීම පිළිබඳ මේ කතිකාව ආරම්භ වන්නේ ජාත්‍යන්තර ව්‍යවහාර මුදල් යන මාතෘකාව ප්‍රස්තුතව ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ ආර්ථික වශයෙන් බලවත්ම වූ රට බවට පත්වීම හේතුවෙන් (ඩොලරය මගින් ලෝකයේ ව්‍යවහාර මුදල්වලට දැඩි සේ බලපෑම් කරන තාක් කල්) ඇමරිකානු ව්‍යවහාර මුදලේ ඇති කවර වූ හෝ දුර්වලතාවක් විසින්, පැහැදිලිවම ලෝක ව්‍යවහාර මුදල් ක්‍රමය අනතුරකට පිරිහෙළනු ලබන බව ආචාර්ය ඉකෙදා පෙන්වා දෙයි. මේ අර්බුදය විසඳිය හැකිවන්නේ ජාත්‍යන්තර ව්‍යවහාර මුදල් ක්‍රමය සපුරා සංශෝධනය කිරීමෙනියි ද පවසයි. මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමින් මහාචාර්ය ටොයින්බී පෙන්වා දෙන්නේ ‘ප්‍රාදේශීය ආර්ථික එකමුතුව’ යන්න අපගේ එක් අරමුණක් විය යුතු යැයි කියා ය, මේ සඳහා වන ප්‍රයත්නයන් සමාන වන්නේ ලෝක එකමුතුවක් සඳහා වන දායකත්වයක් ලෙසට යැයි ද ඔහු පවසයි. මෙහිදී පෙරදිග ආසියාවේ භූමිකාව පිළිබඳ බොහෝ අදහස් පළවන අතර මහාචාර්ය ටොයින්බී කියා සිටින්නේ ජාත්‍යන්තර කටයුතුවලදී ජපානයේ මීළඟ කාර්යභාරය විය යුත්තේ අවංක තැරැව්කරුවකු ලෙස ක්‍රියාකිරීම යැයි කියා ය. ජපානය, අනුක්‍රමයෙන් චීනය, වියට්නාමය සහ කොරියාව සමග එක්වීමෙන් එය වටා ලෝක එකමුතුවක් දිනාගත හැකි අක්ෂයක් (axis) සාදාගනු ඇතැයි තමා විශ්වාස කරන අතර පෙරදිග ආසියාවේ සෑම ජාතියකටම පොදු බෞද්ධ දර්ශනයේ ගුප්තව පවතින අදහස පිළිබඳව අවධානය යොමු වීම අත්‍යවශ්‍ය වන්නේ එහි අනාගත බලපෑම් ප්‍රබල විය හැකි නිසා බවට ද විශ්වාසය පළ කරයි.

අනාගත ලෝකය එකමුතු කරන්නා (Unifier) බටහිර හෝ බටහිරකරණය වූ රටක් නොව, චීනය බව අවබෝධ කොටගත හැකිය’ යි පවසන මහචාර්ය ටොයින්බී, සමස්ත ලෝකය එක්සත් කිරීමේදී භූගෝලීය හා සංස්කෘතික අක්ෂයක් ලෙස ක්‍රියාකිරීමේ ලා පෙරදිග – ආසියාවට ඇති ඓතිහාසික වත්කම් ද වර්ගීකරණය කරයි. මේ අට වැදෑරුම් වත්කම්වල අංක 1 ලෙස නම් කෙරෙන්නේ පසුගිය සියවස් 21 තුළ ලෝක ව්‍යාප්ත, ලෝක රාජ්‍යයක් ලෙස නම් කළ හැකි ප්‍රාදේශීය අනුරුවකින් යුතු රාජ්‍යයක් පවත්වාගෙන යෑමට ආසියාවට තිබූ විශේෂිත හැකියාව ය. මේ හැරුණුවිට ඉතා දිගු චීන ඉතිහාසයේදී චීන ජාතිකයන් තුළ වූ සාමූහික ගුණය, කොන්ෆුසියානු වාදය සහ බුදු දහම යන දෙකෙහිම ඇති බුද්ධිවාදී ස්වභාවය ඇතුළු තවත් විශේෂිත කරුණු ගණනාවක් ද මෙහිදී ඉදිරිපත් කෙරෙයි. ඕනෑම ආකාරයක ව්‍යාපාරික කටයුතු සඳහා සුවිශේෂී හැකියාවන් චීන ජාතිකයන් සතුව පවතින අතර ඔවුන් ඉහළ මට්ටමේ පවුල් ජීවිත පවත්වා ගෙන යන්නන් බව ලෝකය අත්දැකීමෙන්ම ඉගෙන ගෙන ඇති බව ද සිහිගන්වයි. ක්‍රි. පූ. 221 සිට තාවකාලික වශයෙන් චීනය දේශපාලන අවුල් භාවයකට පත්වුණ ද තවමත් එය ජනයාගේ සමූහාණ්ඩුවක් ලෙස පැවතීම ඔවුන්ගේ දේශපාලන අපරාජිත භාවයේ කථාන්තරයකියි ද පෙන්වා දෙමින් මෙසේ ද කියා සිටී.

බටහිර රෝම රාජ්‍යය බිඳ වැටීමේ සිට, බටහිර ලෝකයට නැතිව ගිය දේශපාලන එකමුතුව කවදාවත් ලබාගත නොහැකි වුණා. එය මිනිස් ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ සෑම ක්‍ෂේත්‍රයකම අති විශාල ශක්තියක් වර්ධනය කළා. පසුගිය වසර පන්සියය තුළ, දේශපාලනික හා තාක්ෂණික තලවල වර්ධනය මගින් සමස්ත ලෝක ගෝලය මතුපිට එකමුතුවක් ඇති කළා. එමෙන්ම එක්තරා දුරකට සංස්කෘතික වශයෙනුත් එය සිදු කළා. නමුත් එයට පශ්චාද් රෝමක බටහිරට හෝ සෙසු ලෝකයට හෝ දේශපාලන එකමුතුවක් ලබා දෙන්නට නොහැකි වුණා.

(සරු දිවියකට – සම්භාෂණයක් – 306 පිටුව)

එකම ලෝකයක්, අලුත් ආගමක්…?

දශක පහකට පෙර හුවමාරු වූ (ලේඛනගත වූ) මේ සංවාද සටහන් කියවාගෙන යන අතරේ වර්තමාන ලෝකයේ භූ දේශපාලන තත්ත්වයන්හි සිදුවෙමින් පවතින විපර්යාසයන් මතකයට පිවිසීම ද නොවැළැක්විය හැකි ය. අමෙරිකානු ඩොලර් ටි්‍රලියනයක් ආයෝජනය කරමින් චීනය විසින් ක්‍රියාත්මක කරනු ලබන One Belt-One Road (එක කලාපයක් – එක මාවතක්) නම් වූ යෝධ ව්‍යාපෘතියේ ප්‍රතිඵල විසින් අනාගත ලෝකයේ හැඩතල කවර ආකාරයකින්, කවර ප්‍රමාණයකින් වෙනසකට බඳුන් කරනු ලබන්නේ දැයි සිතාගැනීම ද පහසු නැත. අතීතයේ නිදා සිටි යෝධයකුගේ අවදිවීමක් ලෙස ඇතැමුන් මේ ව්‍යාපෘතිය හඳුනාගන්නා අතර මෙය ශතවර්ෂයේ ක්‍රියාදාමය ලෙසින් ද හැඳින්වෙයි. (චීනය නම් වූ නිදාසිටින යෝධයා අවදි නොකරන්නැයි වරක් පවසා ඇත්තේ නැපෝලියන් බොනපාට් ය.)

බෙහෙවින්ම ආන්දෝලනාත්මක හා පොළඹවනසුළු අදහසක් හකුළුවා ඇත්තේ අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳ තරගය නම් වූ අනුමාතෘකාව යටතේ ය. ජාතීන් අභ්‍යවකාශ ව්‍යාපෘතිවලට මුල් තැන ලබාදිය යුතුවන්නේ පෘථිවිය මත ‘සතුට’ ඇතිකිරීමට හා එය වර්ධනය කිරීමට යැයි ආචාර්ය ඉකෙදා කියද්දී, මහාචාර්ය ටොයින්බී ඊට එකඟත්වය පළකරන්නේ, ප්‍රතිපත්තියක් හැටියට මා අභ්‍යවකාශ ගවේශණයට විරුද්ධ නෑ. එහෙත්,. වර්තමානයේ සිදුකෙරෙන අභ්‍යවකාශ ගවේෂණයට මා විරුද්ධයි’ කියා ය. ඒ පිළිබඳව වර්තමාන අධිපතිවාදී ආකල්පය ඇතිවී තිබෙන්නේ විද්‍යාත්මක කුතුහලය නිසා නොවෙයි,. ලෝකය ජයගැනීමේ බලාපොරොත්තු මතයි කියා ද පවසමින් අනාගත ලෝකය පිළිබඳ අපූරු අනාවැකියක් ද මෙසේ පළ කර සිටියි.

වර්තමාන තත්ත්වය යටතේ, අභ්‍යාවකාශ ගවේෂණය, ප්‍රමාණය ඉක්මවා වියදම් සිදුවන අයුක්තිසහගත දෙයක් හැටියට විග්‍රහ කරන්න පුළුවන්. මක්නිසා ද යත්, එහි නිරත වෙන්නේ දුප්පතුන්ට කිසිම උදව්වක් ඇති නොකොට නිසා. අනාගත පරම්පරා එය පිරමීඩ්, අංකොර් හා වාර්සේල් හි 14 වැනි ලුවීගේ රජ මාළිගය වැනි දේවල් ගොඩනැඟීම මෙන්ම පොහොසත් සුළුතරයකගේ සමාජ විරෝධී කටයුත්තක් ලෙස නිග්‍රහාත්මකව දකීවි කියා ද මා හිතනවා.

(සරු දිවියකට – සම්භාෂණයක් – 210 පිටුව)

දීර්ඝ ඉදිරි පිමි, සුවිසල් ජයග්‍රහණ වශයෙන් අප (මතවාදීව) හඳුනා සිටින ඇතැම් දේ යථාර්ථය තුළ නිශ්ප්‍රභ වන්නේ දැයි සිතා බැලීමට මෙහිදී යම් අවකාශයක් විවර නොවන්නේ ද?

ද්වි ධ්‍රැවතාවයේ සිට බහු ධ්‍රැවතාව දක්වා යන අනුමාතෘකාවේදී ආචාර්ය ඉකෙදා කියා සිටින්නේ සෝවියට් දේශය සහ එක්සත් ජනපදය අතර සම්බන්ධතාවල මේ වනවිට සෑහෙන ප්‍රමාණයේ වර්ධනයක් දක්නට ලැබෙතත් ඔවුන් අතර වන මූලික එදිරිවාදිකම්වල වෙනසක් සිදුවී ඇද්ද යන්න ප්‍රශ්නාර්ථයක් වන බව ය. ලෝකය ධනවාදී සහ කොමියුනිස්ට්වාදී වශයෙන් දෙකට බෙදීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් දැයි ඇසූ අවස්ථාවේ මහාචාර්ය ටොයින්බි පළ කරන්නේ මෙවැනි අදහසකි.

‘මා දකින ආකාරයට ධනවාදය සහ කොමියුනිස්ට්වාදය අතර පවතින එදිරිවාදිකම් විශාල ප්‍රමාණයේ බොරුවක්. එය පැරණි යුගයේ පැවැති අරගල වූ ජාතික අවශ්‍යතාව සහ ප්‍රදේශ රාජ්‍යවල විජිගිෂාව අතර පැවති තරගයට දැමූ වෙස් මුහුණක්’

මහාචාර්ය ටොයින්බී ‘කොමියුනිස්ට්වාදය’ දකින්නේ 17 වැනි සියවසේ චින්තනය හේතුකොටගෙන ඇති වූ රික්තය පිරවීමට නිර්මාණය කෙරුණු තෙවැනි ආගමක් ලෙස ය. මෙතැනදී ඉස්මතු කෙරෙන නැවුම්ම අදහස වන්නේ පැරණි ආගම් ලෙස සැලකෙන බුදුදහම, ක්‍රිස්තියානි ආගම හා ඉස්ලාම් ආගම ආදියේත්, නව ආගම් ලෙස පිළිගැනෙන විද්‍යාත්මක සංවර්ධනය පිළිබඳ භක්තිය, ජාතිවාදය සහ කොමියුනිස්ට්වාදය අතරේත් දැකිය හැකි හා හඳුනාගත හැකි එක් පොදු සාධකයක් කෙරෙහි දෙදෙනාගේම එකඟත්වය පළවීම ය. පැරණි සාම්ප්‍රදායික ආගම් බලවත් පරිශ්‍රමයක් දැරුවේ මානව තෘෂ්ණාව පාලනය කිරීමට වන මුත් නව ආගම් පැන නැඟුණේ (යොදා ගනු ලැබුණේ) තෘෂ්ණාව තෘප්ත කරගැනීමට යැයි ආචාර්ය ඉකෙදා පැවසූ විට මහාචාර්ය ටොයින්බී ද එකඟත්වය පළ කරයි. අනතුරුව මෙසේ ද කියා සිටී.

‘මටත් දැනෙනවා නව ආගමක අවශ්‍යතාවක්’

ඉතිහාසයේ ප්‍රථම වතාවට මනුෂ්‍ය වර්ගයා සාමාජික වශයෙන් එකට එක් කෙරෙන ලෝක ව්‍යාප්තව පැතිරුණු ශිෂ්ටාචාරයක අවශ්‍යතාව පිළිබඳව ඔවුහු දීර්ඝ ලෙස කරුණු දක්වති. අපගේ ශිෂ්ටාචාරය අවුල් කරන මූලික ‘නපුර’ තෘෂ්ණාව යැයි යළි යළිත් මතක් කර දෙන්නේ ආචාර්ය ඉකෙදා ය. ලෝක තත්ත්වයෙහි සැබෑ වෙනසක්, වර්ධනයක් ඇති කළ යුතුම නම් සෑම පුද්ගලයකුම ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු බව, වර්ධනය විය යුතු බව ඔහු අදහස් කරයි. ඉනික්බිතිව සාකච්ඡාවට යොමුවන්නේ තරමක් දුරට වෙනස් වූත් ආගන්තුක වූත් අපූරු මාතෘකාවකි.

ප්‍රජාතන්ත්‍රවාදය ද? ගුණතන්ත්‍රවාදය ද?

මේ සාකච්ඡාව ඇදී යන්නේ සමාජයකට (ජාතියකට) ඉහළ මට්ටමේ බුද්ධිමය හා අධ්‍යාපන මට්ටමක් මෙන් ම ආර්ථික සමෘද්ධියක් ද ඇති කළ හැකි පරමාදර්ශි දේශපාලන ක්‍රමය කුමක් ද යන ප්‍රශ්නය ප්‍රස්තුතව ය. ‘ඉහළ තත්ත්වයේ සදාචාරයක්, බුද්ධිමය දැක්මේ පුළුල් බවක් තීරණයන්ගේ නිවැරදි භාවයක්, ගුණතන්ත්‍රවාදයේදී මිනිසුන්ට අවශ්‍ය වෙනවා’ යි ආචාර්ය ඉකෙදා කී විට, මහාචාර්ය ටොයින්බී පිළිතුරු වශයෙන් කියා සිටින්නේ ‘ජනතාවගේ සදාචාරාත්මක හා බුද්ධිමය ධාරිතාව ඉහළ නැංවීම අතිශයින්ම වැදගත් කාරණයකි’ යි කියා ය. ඒ සමගම මිනිසා මෙතෙක් සොයා ගත් පාලන ක්‍රම අතරින් අඩුම වැරදි ඇති පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය යැයි පවසමින් එහි ගැටලු හඳුනා ගැනීමට ද මහාචාර්ය ටොයින්බී යොමු වෙයි.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේත් අඩුපාඩු තිබෙනවා. එයින් බරපතළම වැරැද්ද වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජීවත් වන මිනිසුන් ඔවුන්ගේ පරම පක්ෂපාතීත්වය වඩා විශාල වැදගත් කණ්ඩායමට දෙනවාට වඩා කුඩා කණ්ඩායමකට දීමයි. මෙයින් මා අදහස් කරන්නේ මිනිසුන් නිතරම ජාතික සහ ජාතියට වඩා ඉහළින් ඇති, සමස්තයක් වශයෙන් ගත් කල මනුෂ්‍ය වර්ගයාගේ ඕනෑ එපාකම් දේශපාලන පක්ෂයක් මත තැබීමයි.

ප්‍රජාතන්තවාදයේ දක්නට ලැබෙන දෙවැනි බරපතළ අඩුපාඩුව නම් වංක භාවයයි.

(සරු දිවියකට – සම්භාෂණයක් – 288 – 289 පිටු)

ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් එක් නිශේධනීය ලක්ෂණයක් ලෙස මෙහිදී පෙන්වා දී ඇත්තේ ඇතැම්විට දේශපාලනඥයාට පක්ෂයේ මාර්ගය අනුගමනය කරන ලෙසට කෙරෙන බලපෑමයි. මේ බලපෑම සිය හෘදසාක්ෂියට එකඟ නොවුණ ද බොහෝ දේශපාලනඥයන් පෞද්ගලික අපේක්ෂා වෙනුවෙන් තමන්ගේ හෘදය සාක්ෂිය කැපකරන්නට සූදානම්ව සිටින බව මෙහිදී පැවසෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා යහපත් නායකයකු තෝරා පත්කර ගන්නේ කෙසේ ද? යන ප්‍රශ්නයට ප්‍රාමාණික පිළිතුරක්, පිළිතුරු ගණනාවක් හකුළුවා ඇත්තේ දේශපාලන ක්‍රමයක් තෝරාගැනීම යන ශීර්ෂපාඨයෙන් යුතු කොටසේ යහපත් නායකයකුගේ ගුණාංග නම් වූ අනුමාතෘකාව යටතේ ය.

ප්‍රජාතන්ත්‍රීය පාලනයක් සාර්ථකව පැවැත් වීමට නම්, ඒ සඳහා අවශ්‍ය වන නායකයා ප්‍රයෝගකාරයකු හෝ ආවේගශීලී කපට කථිකයකු නොවිය යුතු අතර, ඔහු තම අනුගාමිකයා බලාත්කාරයෙන් හෝ හැඟීම් ප්‍රකෝප කිරීමෙන් නොව සදාචාරාත්මක හා බුද්ධිමය අගයකින් මෙහෙයවන්නකු විය යුතුයි. මෙවැනි නායකයකු සොයා ගැනීම අසීරුයි. එවැන්නෙක් සොයා ගත්තත්, ඔහුගේ සහෝදර පුරවැසියන් මෙහෙයවීමේ දුෂ්කර හා කලගුණ නොසලකන කාර්යය භාර ගන්නට මැලි වෙන්නට පුළුවන්. නායකයාගේ භූමිකාව වශයෙන් අතිශය වැදගත්. පරාර්ථකාමී හේතු සඳහා එවැන්නක් භාර ගැනීමට ඉහළ මට්ටමක පොදු ධීර භාවයක් සහ ආත්මාර්ථයෙන් තොර ස්වභාවයක් අවශ්‍යයි.

මගේ විනිශ්චයේ හැටියට, අපේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් අතර එම අසීරු භූමිකාව තරමක් හෝ සාර්ථක ආකාරයට ඉදිරිපත් කළ නායකයන් වන්නේ, ෆ්‍රැන්ක්ලීන් ඩී. රූස්වෙල්ට්, වින්ස්ටන් චර්චිල් සහ ජවාහර්ලාල් නේහ්රූ යි. එසේ වෙතත්, රූස්වෙල්ට් වගේම නේහ්රුත් ඔහුගේ ඡන්දදායකයන් අතර සපුරා අවංක සම්බන්ධතාවක් පවත්වා ගත්තේ නෑ.

(සරු දිවියකට – සම්භාෂණයක් – 265-266 පිටු)

ඓතිහාසික විමර්ශනයක් ලෙස මෙන්ම කාලීන සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයක් වශයෙන් ද දාර්ශනික චින්තාවලියක ස්වරූපයෙන් ද අපට පෙනී යන මේ හස්තසාර (සියතෙහිම තබාගෙන රැකගත යුතු) ග්‍රන්ථය, නව සමාජ කතිකාවතක් සඳහා අපූරු ආරම්මණයක් විය යුතු යැයි මෙය කියවන පාඨකයාට වුව පෙනී යන්නට පුළුවන. එහෙත් අරුමය හා කරුමය වන්නේ අවුරුද්දේ විවිධ කාලවකවානු ‘සාහිත්‍ය මාස’, ‘කියවීමේ මාස’ වශයෙන් නාමකරණය වී තිබුණ ද ‘කියවීම’ යන්න මේ වන විට කෙටි පණිවුඩ දක්වා කෙටි වී, පටු වී තිබීම ය.

● කැත්ලීන් ජයවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment