ආසියානු කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 17ක සංචිතයක්

61

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් අප්‍රේල් 24, 25, 26 සහ 27 යන දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඩුබායි නගරයේ දී ක්‍රියාත්මක කෙරන 19 වැනි ආසියානු කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙක් සහභාගි වෙති. ක්‍රීඩකයන් 11 කින් සහ ක්‍රීඩිකාවන් 06 කගෙන් එම කණ්ඩායම සමන්විත වෙති.

අනාගත ජාත්‍යන්තර මලල ක්‍රීඩා කෙළි බිම ජයගත හැකි අවුරුදු 20 න් පහළ කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකු මෙන්ම, ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම මෙවර තරගාවලියට සහභාගි වෙති.

මෙවර බාලක කණ්ඩායමේ නායකත්වය කොළඹ ආනන්ද විද්‍යාලයේ මෙරෝන් විජේසිංහ ට හිමි වී ඇති අතර වාරයේ දී බිබිල නන්නපුරාව මහා විදුහල නියෝජනය කරන මදුශානි හේරත් බාලිකා කණ්ඩායමේ නායිකාව ලෙස පත්කර තිබේ. මෙවර තරගාවලියේ දී මෙරෝන් විජේසිංහ මීටර් 100 සහ මීටර් 100 x 4 සහාය දිවීම කෙටි දුර ජවන ඉසව් නියෝජනය කරන අතර මදුශානි හේරත් දුර පැනීම සහ තුන් පිම්ම යන පිටිය ඉසව්වලට ඉදිරිපත් වන්නීය.

මෙවර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණීය ලෙස කේ. ජී. භද්‍රා ගුණවර්ධන මහත්මිය කටයුතු කරන අතර පුහුණුකරු ලෙස නිපුණ නිර්මාල් මහතා කණ්ඩායමට එක්ව සිටී. ප්‍රධාන කළමනාකරු ලෙස කේ. ඒ. ප්‍රසන්න ඉන්දික මහතා පත්කර ඇති අතර ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස නදීපා තිලකරත්න මහත්මිය කටයුතු කරයි.

මෙවර තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරී මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති පාලිත ප්‍රනාන්දු සහ එහි ලේකම් සමන් කුමාර ගුණවර්ධන යන මහත්වරුන් සමඟින් ඡායරූපයෙන් දැක්වේ.

පසු පෙළ වම් පස සිට..

තරුෂි අභිෂේකා, මහීමා ප්‍රවින්දී, ජිත්මා විජේතුංග, චාරුණී ප්‍රමුදිකා, හසිඳු නෙත්සර, ටකහිමා නුවන්සා,

මැද පෙළ වම් පස සිට

දිනෙත් වීරරත්න, මලිත් කේ. තමෙල්, ශෂින්ත සිල්වා, අයෝමාල් අකලංක, තරූෂ මෙන්ඩිස්, ආර්. අයි. විදුෂාන්, දිනෙත් අනුහස්, ජත්ය කිරුළු, අවිශ්ක රාජපක්ෂ

ඉදිරි පෙළ වම් පස සිට

මෙරෝන් විජේසිංහ (නායක), මදුෂානි හේරත් (නායිකාව), කේ. ජී. භද්‍රා ගුණවර්ධන මිය (පුහුණුකාරිනිය) සමන් කුමාර ගුණවර්ධන මහතා (ලේකම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය), මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු (සභාපති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය), ඉන්දික ප්‍රසන්න මහතා (කළමනාකරු), නිපුන නිර්මාල් මහතා (පුහුණුකරු) නදීපා තිලකරත්න මිය (ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය)


අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment