සිංහල කවියේ හෙට දවස එපමණ ම අඳුරු නොවන බව පෙනෙන්නේ අද දවසේ කවි ලියන දුහුනන්ගේ කවි කියවන විට ය. සීමිත පුවත්පත් කවි පිටු හරහාත්, මුහුණුපොතේ අසීමිත ඉඩහසර හරහාත්, අලුතින් බිහිවන කවිපොත්වලත් දුහුනන් තබන අවියත් කවි අතර හොඳ කවි ද, හොඳ කවි ලියන දුහුනන් ද දක්නට ලැබීම සැබැවින් ම ප්‍රහර්ශය දනවන්නකි.

දිවයිනේ විවිධ පුවත්පත් කවිපිටු හරහාත්, මුහුණුපොත හරහාත් හොඳ කවි ලියන්නට උත්සාහ දරමින් දීර්ඝ කාලයක් අභ්‍යාසයේ යෙදුන ආධුනික කවියකු පසුගිය දා අපට ඔහුගේ කුළුඳුල් කවිසරණිය තුළින් මුණගැසිණි.

ඔහු නමින් ගයාන් මුණසිංහ ය. ගයාන් ඔහුගේ කුළුඳුල් කවි සරණිය නම්කර ඇත්තේ, ‘ගෙදරින් අහලා කියන්නම්’ යනුවෙනි. එකිනෙකට වෙනස් තේමාවන් ඔස්සේ ලියැවුන කවි තිස්හතකින් සමන්විත ගයාන්ගේ මෙම කවිසරණියට පසුවදනක් සපයන සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන එහි තැනෙක මෙසේ සටහන් කර තිබේ.

‘ගයාන් මුණසිංහ කවියාගේ ‘ගෙදරින් අහලා කියන්නම්’ කාව්‍ය සංග්‍රහයෙන් ඔහු අප සංවේදනයට පත්කරන්නේ අප ජීවත්වන සමාජය තුළ පවත්නා යම්-යම් සංසිද්ධීන් හා පුද්ගලයන් පිළිබඳව ඔහුගේ අවධානයට ලක්වූ පැතිමාන තුළින් ගම්‍යවන අප මෙතෙක් නුදුටු නොවිඳි ආකල්ප ඇසුරෙනි. ඔහුගේ නිර්මාණ තුළින් සමාජය ගැන ඔහු තුළ ඇති අපූරු දෘෂ්ටිය හෙළිවේ. එහි දී ඔහු සමාජ විචාරකයකු ද යන සැකය මතුවේ.’

ඔහුගේ කවි කෙරෙහි ඇය හෙළන සැකය සාධාරණ යැයි අපට ද හැඟෙන්නේ මෙහි එන බොහෝ කවි සමාජ කවියට නෑකම් කියන හෙයිනි. සමාජ කවිය ප්‍රබල ආකාරයෙන් යොදාගත් කවියකු ලෙස අප දකින්නේ මහගම සේකරයන් ය. සමාජය ගැන, සමාජයේ ජීවත්වන මිනිසා ගැන, ඔවුන්ගේ දුක් පීඩා ගැන ඉතා සමීපව ඔහු කව් ගී ලීවේ ය.

මෙහි එන ‘25 දා’ නම් පළමු කව ම සමාජ කවියකි. මාසික වේතනයක් ලබන ශ්‍රමිකයකු සිය පඩි දිනයේ ලබන සතුටත්, ඒ සතුට පසුපස ම පැමිණෙන වේදනාවත් ප්‍රස්තුත කරගනිමින් ගයාන් යෙදෙන්නේ සමාජ විවරණයක නොවේ ද? ඔහු ඒ ප්‍රහර්ශය සටහන් කරන්නේ මෙසේ ය.

දවසෙ මුල් එළිය ගෙන
ඉර එබී කලියෙන් ම
මගෙ උන්ට පින්පාට
තවරනා දවස අද

මෙහි දී ඔහු කාව්‍යෝක්ති යොදාගන්නා ආකාරය ද අපූරු ය. ‘මසක් ඉබි යතුරු ලූ-ආයාස හීන ගොඩ’, ‘රතු බිලට නිල වැටී’, ‘ටැප් කටට හිනාදෙන’ වැනි යෙදුම් ඊට නිදසුනි. ‘ධන නොවන බව දැනන් – හූල්ලන දවස අද’ යන තැනින් මෙම කවිය අවසන් කළේ නම් කවියට ලැබෙන්නේ රසික සිත් සසල කරවන කූටප්‍රාප්තියකි. අප එසේ පවසන්නේ, ඉන්පසු කවියට එකතු කර ඇති පද කිහිපය කවියට කිසිදු ආලෝකයක් එකතු නොකරන බැවිනි.

පෙර මග සුබ ලකුණු පෙන්වන කවි සරණියක් !

මෙහි එන ‘තාත්තාට තෙල් නැවක්’ යන කව ද අපූර්වත්වයක් දනවයි. තෙල් හිඟය පැවැති දිනවල ඉන්ධන හලේ තෙල් ගහන තාත්තා හීනයක දකින මෙහි කතා නායකයාට ඔහු වීරයෙකි. එසේ ම පාරිභෝගිකයන්ගෙන් නොසරුප් බස් විඳින තාත්තා ගැන ම ඔහු තුළ උපදින්නේ අනුකම්පාවකි. කවියේ ප්‍රස්තුතය රසිකයා වෙත ගෙනයාමට ව්‍යංගය උපයෝගි කරගන්නට කවියා උත්සාහ දරා ඇතත්, එහි එන සමහර තැන් අරුත් නොදන්වා ප්‍රහේළිකාවක් බවට පත්වෙනු ද දක්නට ලැබේ.

සිහිගිරී ගී ආර යොදා ගනිමින් ලියා ඇති මෙහි එන ‘සිරිදා අග්බෝට කියමි’ නම් කව සීගිරි ලලනා රූසිරිය සිය පියඹට ගලපා ගන්නට දැරූ උත්සාහයකි. චිරාත් කාලයක් තිස්සේ මල් අත දරා සිටින සීගිරි ලලනාවන් කවියා තම බිරිඳගේ රූ සිරියට සමපාත කරන්නේ අපූරු ආකාරයකිනි. ‘මල් දරා ඈ හිටියෙ දවසයි’ යන ප්‍රබල යෙදුම මගින් ඇය විඳින දුක් වේදනා සියල්ල ඔහු අපට කැටිකර දක්වයි.

මෙහි එන ‘හඳ සහ කිරි පැණි’ නම් කව ද අපූර්වත්වයක් දනවන කවියකි. හඳෙන් කිරි පැණි ලැබෙන්නේ යැයි ප්‍රචලිත සාම්ප්‍රදායික කතාව මුසාවක් බවට පත් කරන කවියා එය මානව ජීවිතයේ පීඩාවන් හා ගලපා ගන්නා ආකාරය ප්‍රශංසනී ය ය. ඒ අත්දැකීම රසිකයාට වඩාත් සමීප කරන්නට ඔහු අපට හුරුපුරුදු ජනකවි ආර යොදාගෙන තිබීමෙන් කවියේ ප්‍රස්තුතය කුළුගන්වන්නට ඔහු උචිත ම කාව්‍යාකෘතිය තෝරාගෙන තිබේ.

හෙලූ සුසුම් උඩු සුළඟේ ගියා දෝ
හඳේ කිරිත් ඒකෙන් ඉහිරුණා දෝ
කිරි නැති කොට පැණිවත් හෙට වැටේ දෝ
අප රැවටූ හඳ තවමත් අහසේ දෝ

කවියා මේ කියන්නේ හඳ ගැනවත්, කිරිපැණි ගැනවත් නොවේ. දිගින් දිගට ම අප රවටමින් සිටින දේශපාලුවන් ගැන නොවේ ද? ‘අප රැවටූ හඳ තවමත් අහසේ දෝ’ යනුවෙන් ඔහු මේ පවසන්නේ ඒ දේශපාලුවන් තවමත් සුරසැප විඳින බව නොවේ ද? ‘අඩුක්කුවක් නැති බඩ’, ‘මහ පොළොවේ කරගැට’ වැනි කාව්‍යෝක්තිවලින් සුසැදි කව ඔහු අවසන් කරන්නේ ‘කඳුළු විදිමු ආකාසෙට මෙළෙක් වෙන්න හඳ නොනේ’ යනුවෙන් කවියේ ප්‍රස්තුතය වන දේශපාලුවා ගැන වෛරය වැපිරීමකින් නොවීම කවියාගේ සංයමය පළකරන්නකි.

මෙවන් හොඳ කවි රැසක් මෙන් ම, නොමේරූ කවි කිහිපයක් ද ‘ගෙදරින් අහලා කියන්නම්’ කවිසරණිය තුළ නැත්තේ ම නොවේ. එහෙයින්, කවියකු අතින් කොපමණ කවි බිහිවුවත්, ඒ කවි කෘතියකට සංග්‍රහ කරද්දී වඩාත් හොඳ කවි තෝරා ගැනීමට ඉදිරි කාව්‍ය ව්‍යායාමයක දී ගයාන් උත්සුක වනු ඇතැයි සිතමු.

ආධුනික කවියකුගේ කවි පොතක් එළිදක්වන්නටත් පෙර එහි කවක් ප්‍රවීණයකුගේ කවි ඇසට ලක්වීම සැබැවින් ම ඒ කවියා ලබන මහත් භාග්‍යයකි. ගයාන් ඒ භාග්‍යය උදා කරගත්තේ මෙහි එන ‘ඔබ නැත ද’ නම් කව ප්‍රවීණ කිවිවර බුද්ධදාස ගලප්පත්ති සොහොයුරාණන්ගේ අවධානයට පාත්‍රවීමෙනි. දිවයින ඉරිදා සංග්‍රහයේ ‘කවිමිහිර’ කවි විනිසට ඔහු ඒ ගැන මෙසේ ලියයි.

‘මෙම කවියෙහි හමුවන පෙම්වතා හා පෙම්වතිය අතරෙහි තිබී ඇත්තේ ගැඹුරු ප්‍රේම සබඳතාවක් නොව, ඒක පාක්ෂික ආදරයක් ද කියා සිතෙන තරමට පෙම්වතාගේ චරිතය බොළඳ සිතිවිලිවලින් පුරවා තිබෙනු පෙනේ. කාව්‍ය අනුභූතිය අපූර්ව ගුණයෙන් හීන වූව ද, පරාජිත පෙම්වතෙකුගේ අඳෝනාවක් බවට පත් නොවනාකාරයෙන් නිර්මාණය පෙළ ගැස්වීමට කවියා සමත් ව සිටිනු පෙනේ.’

ප්‍රවීණයකු වෙතින් එවන් වටිනාකම් ලැබීමෙන් උදම් නොවී කවියේ රිද්ම ලක්ෂණ ගැන දැනට වඩා උනන්දුවෙන්, චිරන්තන සහ අද්‍යතන ගද්‍ය පද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් උසස් කවිබසක් ගොඩනගා ගනිමින් කවියෙහි නිමග්න වුවහොත්, ගයාන්ට ද තෙරක් නොපෙනෙන කවිමගෙහි බොහෝ දුරක් යන්නට හැකිවනු නොඅනුමාන ය.

● අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment