අපි Climate Parliament ඇති කළේ රටේ මෙන්ම ලෝකයේම යහපත වෙනුවෙන් – Climate Parliament සභාපති ඉරාන් වික්‍රමරත්න

34

ලෝක මිහිතල දිනය (World Earth Day) අප්‍රේල් මස 22 වැනිදාට (හෙට) යෙදී තිබේ. මෙම දිනය අද ලෝකයේ සැමරෙන බොහෝ පරිසර දින හා දේශගුණික සමුළුව ඇතුළු ලෝක මට්ටමේ සමුළු, සම්මුති රැසකගේම ආරම්භයයි. නොහොත් නූතන පරිසර සංරක්ෂණ ක්‍රියාදාමයේ ආරම්භය සිදුවන්නේ 1970 දී ඇමෙරිකාවේදී පැවැත්වෙන ප්‍රථම මිහිතල සමුළුව මූලාරම්භ කර ගනිමිනි. එම වසරේ අප්‍රේල් මස 22 වැනිදා පැවැත්වෙන මිහිතල සමුළුවේදී ලෝක මිහිතල දිනය ප්‍රකාශයට පත්කෙරෙන අතර, අනතුරුව 1992 න් පසු එළැඹෙන මිහිතල සමුළු දේශගුණික සමුළු බවට පත්වන්නේ ගෝලීය උණුසුම හා දේශගුණික විපර්යාස මෙන්ම, ඒ පසු පස එන ස්වභාවික ආපදා අවදානම ඉහළ යෑම සහ දේශගුණික අනාථයන් බිහිවන්නට පටන් ගැනීමත් සමගය.

1992 දී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේදී මිහිතල සමුළුව “රියෝ” දේශගුණික සමුළුව ලෙස පැවැත්වෙන අතර, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේදී 2002 වසරේදී තිරසර සංවර්ධන මිහිතල සමුළුව “රියෝ දස වසර” ලෙසද, 2012 වසරේදී තිරසර සංවර්ධන මිහිතල සමුළුව “රියෝ විසි වසර” ලෙස නැවත වරක් බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ හිදී පවත්වන්නට යෙදිණි. 2015 පැරිස් නගරයේදී එය මුළු දෙන්නේ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව ලෙසිනි. රටවල් 196 ක (පාර්ශ්වකරුවන්) සහභාගිත්වයෙන් පවත්වනු ලබන මෙම සමුළුව (පාර්ශ්වකරුවන්ගේ 21 වැනි සමුළුව – COP 21) මගින් ලෝකයට හරිත බලශක්තිය ඇතුළු තිරසර සංවර්ධන ඉලක්ක 17 ක් හඳුන්වා දෙන අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 ක් නොඉක්මවන ලෙස පවත්වාගෙන යෑමේ තීරණයට එකඟව සියලු පාර්ශ්වකරුවන් ක්‍රියාකිරීමේ අවශ්‍යතාව පෙන්වා දේ.

මේ පිළිබඳව වන වගකීම සැලකිල්ලට ගෙන ඒ ඒ රටවල මහජන නියෝජිතයන් එක්ව ගෝලීයව මෙන්ම තම රටවල සිදුවන කාබන් විමෝචනය අවම කිරීම ඇතුළු ගෝලීය පරිසර සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියාකිරීම සඳහා “පාර්ලිමේන්තු සංසද” 50 කට වැඩි ගණනක් Climate Parliament නමින් සංවිධානය වී ක්‍රියාකරයි. ශ්‍රී ලංකාවද ඒ අනුව යමින් Climate Parliament සංකල්පය යටතේ ක්‍රියාකිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් මේ වන විට පිහිටුවා ඇති අතර එහි මංගල “සැසිවාරය” ඉකුත් මාර්තු මස 21 වැනිදා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් 35 දෙනකුගේ සහභාගිත්වයෙන් සහ බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල Climate Parliament නියෝජිතයන් පිරිසකගේ මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විද්වතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ඒ පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රධාන පාරිසරික අර්බුද, බලශක්ති අවශ්‍යතා සහ පාරිසරික අර්බුද කළමනාකරණයේ ලා මෙම නව Climate Parliament සංසදය ක්‍රියා කරන්නේ කෙලෙස දැයි දැනගැනීම සඳහා ශ්‍රී ලංකාවේ Climate Parliament සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සමග පිළිසඳරක නිරත වීමු. මේ එහිදී ඒ මහතා දක්වන ලද අදහස්ය.

ශ්‍රී ලංකාවේ Climate Parliament සංසදය පිහිටුවාගන්නට පදනම හැදුණේ කොහොමද..?

පසු ගිය කාලයේ එක් එක් රටවල පැවති දේශගුණික සමුළුවල පාර්ශ්වකරුවන්ගේ රැස්වීම් කිහිපයකටම මහජන නියෝජිතයෙක් විදිහට මම සහභාගි වුණා. නමුත් රජයේ පාර්ශ්වය වෙනුවෙන් නොවේ. එහිදී මට බොහෝ රටවල මන්ත්‍රීවරු හමුවන්න අවස්ථාව ලැබුණා. අදහස් හුවමාරු කරගත්තා. ලෝකය මුහුණු දී සිටින බැරෑරුම් තත්ත්වය මම තේරුම් ගත්තා. එහෙම තමයි මේ Climate Parliament සංකල්පය ලංකාවේ ක්‍රියාත්මක කරන්න අපට අදහසක් ආවේ.

පර්ශ්වකරුවන්ගේ 21 වැනි සමුළුව එහෙමත් නැත්නම් 2015 පැරිස් සම්මුතියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 196 ක් තැබුවා. මෙහිදී තීන්දු වුණු ප්‍රධාන කාරණා කිහිපයක් තියනවා. ඒ අනුව යමින් ශ්‍රී ලංකාව 2050 වන විට කාබන් විමෝචනය “සීරෝ” කිරීම හෙවත් බින්දුවක් බවට පත්කිරීම, 2030 වන විට වන ගහණය සියයට 30 ක් බවට පත්කිරීම, 2030 වන විට පුනර්ජනනීය (හරිත) බලශක්තිය සියයට 80 දක්වා වැඩිකිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා හරිම දුෂ්කර, අභියෝගාත්මක ඉලක්ක. නමුත් ගෝලීය අර්බුදය ජයගන්න අපි දායකත්වය දැක්විය යුතුවා මෙන්ම රටක් ලෙස අපි මුහුණ දී සිටින පාරිසරික අභියෝගවලට අපි විසඳුම් සෙවිය යුතුයි. මොකද අපේ රට අපි හිතනවාටත් වඩා පාරිසරික හානියට ලක්වන රටක්. අපේ වන ගහනයට, කෘෂිකර්මයට, ධීවර කර්මාන්තයට දේශගුණික ආපදා සහ ස්වභාවික විපත් දරුණු ලෙස බලපානවා. අනික දිගින් දිගට ඛනිජ තෙල්, ගල් අඟුරු භාවිතයෙන් අපේ රටේ බලශක්තිය නිපදවන්න බැහැ. ඒ නිසා ඉතා ඉක්මණින් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට අප යායුතුයි. මෙසේ ලෝකය මුහුණ දෙන පාරිසරික හානිය ගැන දැනුවත් වීමට, ක්‍රියාකිරීමට හා ප්‍රතිපත්ති සම්පාදනයට සහාය දීමට, දේශගුණික හා පාරිසරික සාධාරණත්වයක් ඇති කිරීම සඳහා තමයි අපි Climate Parliament සංකල්පය ලංකාවට ගෙනල්ල මෙසේ මහජන නියෝජිත වගකීමක් ලෙස මේ සංසදය පිහිටුවා ගත්තේ. ඒ මේ වසරේ (2024) ජනවාරි මස 09 වැනිදා. පාර්ලිමේන්තුව දැනුවත් කරලා තමයි අපි සංසදයක් ලෙස එක්වුණේ. එහිදී මම සභාපතිවරයා ලෙස පත්වුණා. නියෝජ්‍ය සම සභාපති තනතුරුවලට මොහොමඩ් මුසම්මිල්, සෙල්වම් අඩෙක්කලනාදන් මන්ත්‍රීවරු පත්වී සිටිනවා. කැඳවුම්කරු ලෙස මධුර විතානගේ මන්ත්‍රීවරයාත්, සම කැඳවුම්කරු ලෙස අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයාත් පත්වී සිටිනවා. පාර්ලිමේන්තුව තුළ පක්ෂ – පාට නැතිව නිර්මාණය වුණු මේ Climate Parliament සංසදයේ කමිටු සාමාජිකයන් ලෙස තවත් 30 දෙනෙක් පත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ Climate Parliament සංසදය සැලසුම්කර ඇති ආසන්නතම ක්‍රියාකාරකම් මොනවාද..?

බොහෝ දියුණු කාර්මික රටවල් ගෝලීය උණුසුමට වගකියන්න ඕන. මොකද එයාල තමයි වැඩිපුර වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු නිදහස් කරන්නේ. ශ්‍රී ලංකාව ඒ අතින් වායුගෝලය දූෂණය පිළිබඳව නොගිනිය හැකි රටක්. දකුණු ආසියාවේ සියලුම රටවල් ඒ වගේමයි. නමුත් අපි කලාපයට අදාළ ගැටලු හඳුනාගත යුතුයි. පොදුවේ අපට බලපාන ප්‍රශ්නවලට විසඳුම් යෝජනා කළ යුතුයි. ඒ නිසා අපි අදහස් කරනවා දකුණු ආසියානු කලාපයේ Climate Parliament වල එකතුවක් හා එකතුවී වැඩකිරීම කළ යුතුයි කියලා. ඒ අනුව තමයි අපි අපගේ පළමු සැසිය පසුගිය මාර්තු 21 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වනු ලැබුවේ. මේ සඳහා බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල Climate Parliament මහජන නියෝජිතයන් හා දේශගුණික විපර්යාස පිළිබඳ දෙරටේ විද්වතුන් සහභාගි වුණා. එසේම එදිනම සවස කොළඹදී පැවැත්වුණු පරිසර ක්ෂේත්‍රයේ නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්වරු දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය සඳහාත් ඔවුන් සහභාගි වුණා. මෙහිදී ශ්‍රී ලංකාව හා කලාපයට බලපාන බලශක්ති ගැටලුව හා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් වැඩිපුර බලශක්ති උත්පාදනය ගැන පමණක් නොව, එම බලශක්තිය කලාපය අතර බෙදාගැනීමට ඇති හැකියාව ගැනත් කතා කළා. විශේෂයෙන්ම සූර්ය බලශක්තිය හා සුළං බලශක්තිය ප්‍රචලිත කිරීම, ඒ සඳහා ආයෝජන ගෙන ඒම වගේ දේවල් ගැනත් කටයුතු කරන්න කථිකාවක් නිර්මාණය වුණා. කෙසේ හෝ අපට අපේ රට තුළ විසඳගන්න බොහෝ පරිසර අර්බුද තියනවා. ගෝලීය අර්බුද විසඳන්න කලින් රට තුළ ඇති ප්‍රශ්න විසඳන්න තමයි අපේ ප්‍රමුඛ අවධානය යොමුකෙරෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග වැඩකරන රටවල් 200 ක් පමණ අතරින් අපේ කලාපයට දේශගුණික විපර්යාස බලපෑම වැඩියි. විශේෂයෙන්ම අපේ රටත් බලපෑම් වැඩිම රටවල් 10 පමණ අතර සිටිනවා. ඒ නිසා මේ Climate Parliament සංසදය වගේම ඒ සංසද තවත් සන්ධාන ගතවීම ගැනත් අපි සොයාබලා කටයුතු කරනවා.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය ගැන ඉහත සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කළා නේද..

ඔව්, ඇත්තටම අපේ රට බලශක්ති අර්බුදයක ඉන්න රටක්. අපි තාමත් විදුලිය ඇතුළු බලශක්තිය වැඩි වශයෙන් ජනනය කරගන්නේ පොසිල ඉන්ධන දහනය මගින්. නමුත් තව දුරටත් ඒ කටයුත්ත කරන්න බැහැ. හේතුව ගෝලීය උණුසුම වැඩිකරන බලශක්ති උත්පාදනයට දැන් අපට යන්නට බැහැ. ඒ වගේම විදේශ විණිමය වැය කරල එහෙම කරන එක ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපි ලෝකයට එකඟ වී සිටින පුනර්ජනනීය බලශක්තිය හැකි ඉක්මනින් ප්‍රවර්ධනය කරන්න ඕන. ඒ අතර සූර්ය බලශක්තිය සහ සුළං බලශක්ති උත්පාදනය ප්‍රධානයි. වර්තමානය වන විට සූර්ය බලශක්ති ප්‍රවර්ධනයේ ධනාත්මක තත්ත්වයක් තියනවා. ඒ වගේම අපට නිකං ලැබෙන සුළං බලයෙන් බලශක්තිය උත්පාදනය කරල රටට අවශ්‍ය විදුලි උත්පාදනය කරන ගමන් වැඩි විදුලිය කලාපයේ රටවල් අතර බෙදාගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕන. එහෙමත් නැත්නම් ඒ විදුලිය අපනයනය කිරීම සඳහා අපි කටයුතු කළ යුතුයි. නමුත් අපට ඒ සඳහා තාක්ෂණය සහ ආයෝජන අවශ්‍යයි. මේ සඳහා අපි විදේශ සහාය ගත යුතුයි. විදේශ ආයෝජන නැතිව මේ කටයුතු කරන්න බැහැ. රටට අවශ්‍ය විදුලි අවශ්‍යතාවටත් වඩා නව (9) ගුණයක් සුළං බලයෙන් විදුලිය නිපදවන්න පුළුවන් බව හඳුනාගෙන තිබෙනවා. නමුත් මෙසේ එන ව්‍යාපෘතිවල විනිවිධ බවක් තියෙන්න ඕන. ඔවුන් තරගකාරී වෙන්න ඕන. ඒ වගේම රටේ පරිසරයට, වන සතුන්ට හානි නොවන විදිහට මේ ව්‍යාපෘති සැලසුම් කෙරෙන්න ඕන. කොහොම හරි යම් ව්‍යාපෘතියකින් රටට සිදුවන වාසිය පිළිබඳව පූර්ණව සලකා බැලිය යුතුයි.

කෙසේ හෝ අපි Climate Parliament සංසදය ලෙස කල්පනා කරන්නේ රජය අනුමත කරන ප්‍රතිපත්ති ගෝලීය සංරක්ෂණයට හා රටට ගැළපෙන පරිදි හරිහැටි ගලපා ගැනීම, මහජන නියෝජිතයන් සඳහා අය වැයෙන් වෙන්කරන ප්‍රතිපාදන යහපත් ප්‍රතිපත්ති සඳහා යෙදවීම මගින් පරිසර සංරක්ෂණයට කටයුතු කිරීම සහ දේශගුණික සාධාරණත්වය සඳහා ක්‍රියාකිරීමයි.

ලෝකයේ කාබන් විමෝචනය කිරීමේ ප්‍රමාණ ගැන ගණනය කිරීමක් සිදුව තිබෙනවා. ඒ අනුව සියයට 45 ක් සිදුවන්නේ විදුලිය නිෂ්පාදනය මගින්. ඒකෙන් පැහැදිලි වන්නේ පොසිල ඉන්ධන දහනය වැඩියි කියන එකයි. සියයට 21 ක් ගමනාගමනය මගින් හා කර්මාන්ත ඔස්සේ තවත් සියයට 21 ක් කාබන් විමෝචනය සිදුවෙනවා. මේවා බරපතළ ප්‍රශ්න ඒ නිසා මේ ක්ෂේත්‍රවල පරිසර හිතකාමී වෙනසක් අත්‍යවශ්‍ය බව ලෝකය පිළිගෙන තිබෙනවා. තවත් සියයට 10 ක් කෘෂිකර්මාන්තයෙන් සහ තවත් සියයට 3 ක් අනෙකුත් කටයුතු මගින් කාබන් පරිසරයට මුදාහැරෙනවා. ඒ කියන්නේ තෙල් සහ ගල්අඟුරු මත තවදුරටත් ලෝකය දුවන්න බැහැ. ඉක්මණින් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට රටත්, ලෝකයත් යායුතුයි. මේ සඳහා ප්‍රතිපත්ති සැකසිය යුතුයි. නීති-රීති සම්පාදනය කළ යුතුයි. නීති අලුත් විය යුතුයි. හුඟක් ප්‍රතිපත්ති ප්‍රකාශන තියනවා දැනටමත්, නමුත් ඒවා අලුත් විය යුතුයි. උදාහරණයක් ලෙස ගත්තොත්, 2019 “නැෂනල් එනර්ජි පොලිසි සහ ස්ටැජි” කියල එකක් තියනවා. ලෝන්ග් ටර්ම් ඉලෙක්ටි්‍රසිටි ජෙනරේෂන් ප්ලෑන් කියල එකක් තියනවා 2018-2037 දක්වා ක්‍රියාවට නැගෙන එකක්. තව තියනවා 2019 නැෂනල් පොලිසි ඇන්ඩ් වේස්ට් මැනේජ්මන්ට් කියල ප්‍රතිපත්තියක්. තව තියනවා නැෂනල් පොලිසි ඕන සස්ටේනබල් කන්සප්ෂන් ඇන්ඩ් ප්‍රොඩක්ෂන් කියල එකක්. මේ වගේ ප්‍රතිපත්ති ගොඩක් රටේ තියනවා. Climate Parliament සංසදය වන අපේ වගකීම මේවා ගැන සොයාබලන්න, අලුත් කරන්න සහ සමහර ප්‍රතිපත්ති නීතියට හරවන්න. නොහොත් ඒ සඳහා නීති සම්පාදනය කිරීම.

එසේම, අප නිතර මුහුණ දෙන ස්වභාවික ආපදා අඩුකිරීම නොහොත් Mitigation, ඒ සඳහා අනුගතවීම නොහොත් Adaptation සහ Climate Financial කියන කාරණය පිළිබඳව අප අවධානය යොමුකරල ඒ මගින් රටට ගන්න පුළුවන් වාසිය මොකක්ද කියන එක සහ ඒ පිළිබඳව කටයුතු කරන්න අපි ක්‍රියාකරනවා. එසේම පාරිසරික සහ දේශගුණික සාධාරණත්වය Climate Justice සඳහා අපගේ අවධානය යොමුකරනවා. රටේ කරුණු කාරණා ගැන කතාකරන්න අපේ සංසදයට වෙබ් අඩවියක් තියනවා. ඒ වගේම අපිට ලේකම් කාර්යාලයක් තියනවා. එම ලේකම් කාර්යාලය තමයි “පරිසර යුක්ති කේන්ද්‍රය – Centre For Environment Justice”. මේ ආයතනය අපට උදව් කරනවා අපේ කටයුතු කරගෙන යන්න.

මෙවර මිහිතල දිනය ගැන හෙට (අප්‍රේල් 22) ට යෙදෙනවා….?

ඔව්, මෙවර එහි තේමාව Planet Vs, Plastic කියන එක. ප්ලාස්ටික්වලින් දූෂණය නොවුණු මිහිතලයක් ලෙස අපට ඒක ගන්න පුළුවන්. ඇත්තටම ප්ලාස්ටික් ලෝකයට සම්පතක්. නමුත් අයථා භාවිතය සහ භාවිතයෙන් පසු ක්‍රමවත් බැහැර කිරීමක් නැති කමයි අද ප්‍රශ්නයක් වී තිබෙන්නේ. පොලිතින් – ප්ලාස්ටික් තහනම් කරන්න බැහැ නමුත්, 2040 වන විට සියයට 60 කින් භාවිතය අඩු කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේ සඳහා 3R සංකල්පය (Reduce-Re use-Recycle) භාවිතයට ගත යුතුයි. ඒ වගේම දැනුවත් කිරීමේ වැඩසටහන් අවශ්‍යයි. විශේෂයෙන්ම තනි භාවිත ප්ලාස්ටික් සීමා කිරීම අවශ්‍යයි. අපි Climate Parliament වශයෙන් මේ ගැනත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

පිළිසඳර –
ජගත් කණහැරආරච්චි
ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment