සමාජ – දේශපාලන ක්ෂේත්‍රවල උද්ගතව තිබෙන සකල විධ ගැටුම් හා කැළඹීම් ද මොහොතකට යටපත් කරමින් මේ සතියේ ප්‍රමුඛ සිදුවීම බවට පත්වූයේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇරයුමෙන් ඒ සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිගේ ශ්‍රී ලංකා ගමන බටහිර ඉවුරේත්, ඇමෙරිකාවේ හා චීනය, ඉන්දියාව වැනි රටවලත් අවධානයට යොමු වූවකි. ඉරාන ජනාධිපතිවරයාගේ ගමන සම්බන්ධයෙන් කිසියම් අවිනිශ්චිත බවක් ද තිබුණි. ඒ මේ වනවිටත් ඉරානය මැදි වී සිටින ඊශ්‍රායල ගැටුම් හා එහි විපාක වශයෙන් මැදපෙරදිග බෙහෙවින් උණුසුම් වී තිබීමය. ඉරාන ජනාධිපති රයිසි යනු බටහිරට මෙන්ම ඇමෙරිකාවට ද දිරවා ගත නොහැකි ආන්දෝලනාත්මක නායකයකු වන අයතොල්ලා කොමෙනිගේ දෙවැනියා ලෙස කටයුතු කරන්නෙකි. කොමෙයිනි යනු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස පිළිගනු ලබන එරටේ විදේශ ප්‍රතිපත්තිය, රාජ්‍ය මාධ්‍ය මෙන්ම විප්ලවීය හමුදාවේ ද ප්‍රධානියායි. ජනාධිපති රයිසි ඔහුට පහළින් සිටියි. කුමක් වුවත් ඇමෙරිකාව ඇතුළු තවත් රටවල් ඉරානය දෙස බලන්නේ වපර ඇසිනි. එසේම මේ වනවිටත් ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා තිබේ.

‘උමා ඔය ජනනි’ ලෙස හැඳින්වෙන මෙම බහුකාර්ය ව්‍යාපෘතිය දෙවැනි වන්නේ මහවැලි ව්‍යාපාරයට පමණි. මේ සඳහා සමාරම්භය ලබාදෙන ලද්දේත් ඉරානය විසිනි. ජනාධිපති රනිල් පැවසූ පරිදිම මෙම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අපේක්ෂාව අපේ වියළි කලාපයට ජලය ලබාදීමය. ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයට ද මෙයින් විසඳුම් ලැබෙන අතර ගොවි බිම් විශාල ප්‍රමාණයක් යළි රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කර ගැනීමට ද මෙයින් අවස්ථාව ලැබෙනු ඇත. මේ හැර මෙගාවොට් 120ක විදුලි බලයක් උත්පාදනය කිරීමට ද මෙයින් හැකි වී තිබේ. මෙරටේ තිබෙන විශිෂ්ට වාරි තාක්ෂණයේ ප්‍රතිලාභ ජාතික කෘෂිකර්ම ක්‍රියාවලියට ලබා ගැනීම සම්බන්ධයෙන් අපේ දේශපාලන නායකයන්ගේ අවධානය යොමු වූයේ අඩුවෙන් බව ද මෙහිදී සිහිපත් කළ යුතුය. පැරකුම් යුගයක් හා පෙරදිග ධාන්‍යාගාරය යන ස්වර්ණමය සැමරුම් දේශපාලන වේදිකාවට සීමා වූ රටක ඒ වාරි උරුමයත් වාරි සංස්කෘතියත් ගිලිහීයෑම කෙබඳු අවාසනාවක්ද? මේ ‘උමා ඔය ජනනි’ සමග ඒ ඉතිහාසයට එබී බැලීමට අපේ නායකයන්ට හැකි වී තිබේ.

දේශපාලන කැළඹිලි අස්සේ උමා ඔය දියවර ගලා බසී

මෙම උමා ඔය ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට ජවිපෙ ක්‍රියා කළ බවට දේශපාලන චෝදනාවක්ද වේ. පොහොට්ටු අනුගාමිකයෝ ඒ චෝදනා පත්‍රය යළිත් සමාජගත කරමින් ද සිටිති. රටක ආර්ථික සමාජ දේශපාලන සංවර්ධනය යනු දේශපාලන නායකත්වයක් යටතේ සිදු වන්නකි. එහිදී ඒ ව්‍යාපෘති සම්බන්ධයෙන් විවිධ විවේචන මෙන්ම සාධනීය යෝජනා ද ඉදිරිපත් විය යුතුය. එහෙත් මෙරටේ එබඳු සහයෝග හා සම්මුතියකින් රටේ සංවර්ධන ක්‍රියාවක් තබා කිසිම දෙයක් සිදුවන්නේ ද නැත. මෙම ව්‍යාපෘතියට ජවිපෙ විරුද්ධ නොවූ බවත් එය ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් තමන්ට ප්‍රශ්න තිබුණු බවත් ජවිපෙ ටිල්වින් සිල්වා ද පවසා තිබේ. විශේෂයෙන් එහි කැපී පෙනෙන විවේචකයා වූ සමන්ත විiාරත්න මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ද කර ඇත. ඔහු තවමත් පවසන්නේ මෙම ව්‍යාපෘතියෙන් සිදුවීමට ගිය මහා විනාශයන් රැසක් උද්ඝෝෂණ කර නැවත් වූ බවකි. (ඒ සියලු කරුණු ඇතුළත් ඔහුගේ විග්‍රහය 25 වැනිදා දිවයින පත්‍රයේ පළවී තිබේ.)

ඉහත සඳහන් කළ පරිදිම මෙරටේ ජාතික ආර්ථික වැඩපිළිවෙළක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට බොහෝ නීති රීති අණ පනත් දේශපාලන අභිමතය පරිදි සකස් වූ බවට අදත් චෝදනා තිබේ. මහවැලි ව්‍යාපාරය සම්බන්ධයෙන් එදා ඇසුණූ ඇතැම් මුග්ධ විවේචන අපට මතකය. මේ ව්‍යාපාරයේ අයිතිය, හිමිකම ගැන ද වාද විවාද සිදුවිය. එසේ වුවද මහවැලිය යථාර්ථයක් බවට පත්වූයේ එජාප පාලනය යටතේ ගාමිණි දිසානායක ඇමතිවරයාගේ මෙහෙයුමක් ලෙසය. එදා දේශපාලන වේදිකාවේ ඇසුණේ ‘දැන් ගුවන් විදුලිය දාන්න බෑ. මහවැලියෙ වතුර එනවා’ වැනි මුග්ධ වාචාල කතාය.

මේ අනුව උමා ඔය ව්‍යාපෘතිය සාධනීය ප්‍රතිලාභ සලසන මහජන සුබ සිද්ධියට යෝග්‍ය පරිදි සකස් කර ගැනීමට හැකි වී තිබේ නම් ඒ ගැන අපට සතුටු විය හැකිය. අප මහවැලිය දෙස මෙන්ම උමා ඔය දෙස බලන්නේ ද එබඳු පුළුල් හා පිරිසිදු දෑසකින්ය. මේවා දේශපාලන පක්ෂවල උරුමයට ලියාදෙන ඒවාට ඔප්පු තිරප්පුද සාදාදෙන දේශපාලන විකටයෝ අදත් අඩුවක් නොමැතිව අපට සිටිති. එහෙත් මේ සම්පත් ජාතියේත් ජනතාවගේත් යහපත වෙනුවෙන්ම බව අපට දැනෙයි. මහවැලිය දැයට පැවරෙන විට මහගම සේකර කවියා ලියා අමරදේවයන් ලවා ගායනා කරවූයේ එය අතීත රජරට උරුමය ඇස හැර පෑමක් ලෙසය. ඒ දියවර ගිරිකුළු විනිවිද නව මං මතුකොට නව ලොවකට ගලා බසින්නක් ලෙසය. මේ උමා ඔය දියවර ජනතා අයිතියට පැවරූ ඓතිහාසික නිමේෂයේදීත් එයම ආදේශ කිරීමේ වරදක් නැත. ජනාධිපති රනිල් පැවසූ පරිදිම ඉන් ගිරුවාපත්තුවෙන් මෙන්ම මාගම්පත්තුවේද නියං පීඩා දුරුවන බවය.

දැන් අපි මේ සතියේත් සමාජ දේශපාලන අංශවල අවධානයට ලක්වූ වෙනත් සිදුවීම් දෙකක් පිළිබඳවද විමසා බලමු. ඉන් එකක් නම් තවමත් අපේ දේශපාලනඥයන් විසින් කර තබා ගෙන යනු ලබන පාස්කු ප්‍රහාරයයි. පස් වසරක් සම්පූර්ණ වී තිබෙන මෙම අශිෂ්ට හා ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් අර්ථවත් හෝ සාධනීය ප්‍රතිබාරයක් මෙතෙක් පළ වී නොමැති බව මෙයට පෙරද අප සඳහන් කර ඇත. කුමක් වුවත් ජනාධිපතිවරණයේත් පසුව එළඹෙන මහ මැතිවරණයේත් කිතුනු ප්‍රජාවගේ ඡන්ද ලබා ගැනීම සඳහා සජබයට මෙන්ම ජාජබයට ද මේ සම්බන්ධයෙන් දක්වන අවධානය හේතු වනු ඇත. විපක්ෂ නායක මෙන්ම සජබ නායක මෙවර පාර්ලිමේන්තුවේ පැවැත්වුණු දින තුනක විවාදය අමතමින් ප්‍රකාශ කළේ ද තමන්ට තිබෙන එකම ඩීල් එක ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අහිංසක ජනතාව සමග බවය. එසේම කාදිනල්තුමන් ප්‍රමුඛ කතෝලික පියවරුන් කිසිසේත් නොරවටන බවට ද ඔහු සහතික කළේය. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පත් කළ තේරීම් කාරක සභාවට කුමක් සිදු වූයේද යන්නවත් තමන් නොදන්නා බවකි. එවකට නීතිපතිව සිටි දප්පුල ලිවේරා මේ ප්‍රහාරය ගැන කළ අනාවරණය ගැන ද ඔහු සිහිපත් කළේය. එසේම හිටපු ජනාධිපති මෛත්‍රිපාලගේ ප්‍රකාශ ගැන පරීක්ෂණ සිදුවන බව ද ඔහු පවසා තිබුණි.

මෙසේ මෙවර පැවති පාර්ලිමේන්තු විවාදයේදීත් අපට පරණ පුරුදු විග්‍රහ විවේචන මෙන්ම දෝෂාරෝපණද ඇසුණි. ඒවා අතර වඩාත් අවධානය යොමු විය යුතු ප්‍රකාශය කළේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා බව අපගේ අදහසය. ඔහුගේ අදහස් දැක්වීමේ හරය වූයේ මේ ප්‍රහාරය ගැන වාද විවාද විනා වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවූ බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම ලැජ්ජා විය යුතු බවත්ය. කුමක් වුවත් මන්ත්‍රී වරප්‍රසාද හිමි අය විසින් ඒ සභා ගර්භය තුළ සිදුකරනු ලබන විවේචන, ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වීම අනතුරකට අතවැනීමක් වැන්න. එහෙත් අපට පොදුවේ කිව හැක්කේ මෙරටේ දේශපාලනඥයන් කිසිවකුට බලය, තමන්ගේ පැවැත්ම, සුඛ විහරණ විනා අන් කිසිවක් එතරම් වැදගත් දේවල් නොවන බවය. විශේෂයෙන් හැත්තෑව දසකයෙන් ඇරඹුණු දේශපාලන යුගයේ සිට මේ දක්වා පැමිණි ගමන දෙස බලන ප්‍රබුද්ධ පුරවැසියකුට පසක් වන්නේ මේ රට සමාජ, ආර්ථික – දේශපාලන වශයෙන් ප්‍රපාතයකට රැගෙන යෑමට ඒ ඒ පාලකයන් කටයුතු කර තිබෙන ආකාරයයි. එදා ජනාධිපති ජයවර්ධන පැවසුවේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතු බවයි. ඒ කතාව විවේචනය කළ දිවයින යටත් කර ගැනීමට ජයවර්ධන ජනාධිපතිවරයා විසින් බලධාරියකු ද පත්කර එවනු ලැබූ ආකාරය මතක තිබෙන පිරිසක් අදත් ජනතාව අතර ද සිටිති. රාජ්‍ය ආරක්ෂාව මහජන ආරක්ෂාව නොතකා කටයුතු කිරීමට නම් රටකට පාලකයෝ අවශ්‍ය නොවෙති. ජනතාව අතරමං කරන ජනාවට රැකවරණයක් දිය නොහැකි පාලනයක් නපුංසක පාලනයක් ලෙස හැඳින්වීමේ වරදක් තිබේද?

පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරටේ ඇති වූ අනාරක්ෂිත බව කෙබඳු දැයි යළි යළි විස්තර කළ යුතු නැත. මේ රටේ සමාජ දේශපාලනය ගැන ලියූ සමහරුන් විසින් ‘ඝාතන සංස්කෘතිය’ යන යෙදුම භාවිත කරනු ලැබ ඇත. එහෙත් ඝාතනය යනු තුච්ඡ, අදම, පවිටු, මිලේච්ඡයන්ගේ චර්යාවක් විනා සංස්කෘතියක් ලෙස හැඳින්විය නොහැකිය. පාස්කු ප්‍රහාරයට පෙර කොටි සංවිධානය විසින් කරන ලද ඝාතන වැලට අයත් ආගමික ස්ථානවලට සම්බන්ධ ඝාතන ද වේ. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝමැඬ අසල සිදු වූ ඝාතනය මෙන්ම අරන්තලාවේ භික්ෂු ඝාතනය ගැන සිහිපත් කරන අය පවා අද නොවති. ජාති, ආගම් හා සංස්කෘතික කරුණු මත ගැටුම් ඇතිකර ගැනීම ශිෂ්ට ප්‍රජාව හෙළා දකිති. පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ විදේශිකයෝ ද සිටිති. සුපිරි හෝටල්වල සිටි කිතුනුවන් නොවන පිරිස් ද මේ ප්‍රහාරයට ලක් වූහ. කුමක්වුවත් මේ සම්බන්ධයෙන් ජනතාවට තිබෙන අන්තිම බලාපොරොත්තුව ස.ජ.බ. හෝ ජා.ජ.බ. පාලනයකින් ඒවා විසඳෙන බවට දී තිබෙන ප්‍රතිඥා විය හැකිය. කොහොමටත් පස් වසරක් මුළුල්ලේ ඉටු නොවූ යුක්තිය හා සාධාරණය මේ මැතිවරණවලින් පසු හෝ ඉටුකර ගැනීමට එහි පීඩිතයන්ට හැකි නම් එය කෙතරම් අගේද? එතෙක් බලා සිටීමට කිසිවෙකුට අපහසුතාවක්ද නැත.

දේශපාලන කැළඹිලි අස්සේ උමා ඔය දියවර ගලා බසී

මේ සංසිද්ධීන් අතර ජනතාවට ද අලුත් දේශපාලන රැඟුම් සහිත දේශපාලන සරදම් නාටකයක් නැරඹීමේ අවස්ථා ද උදා වී තිබේ. මෙය සරදමකට වඩා විගඩමක් දැයි ද විටෙක සිතෙන්නේ මේ අවුල්ජාලයට මැදි වී සිටින දෙපාර්ශ්වයේම ප්‍රතිචාර දෙස බලන ප්‍රබුද්ධ ජන කොටස්වලට පමණි. මේ ලියන මොහොත වන විට ශ්‍රී.ල.නි.ප. සභාපති මෛත්‍රීට පැනවූ වාරණය දිගටම පවතින ආකාරයට දීර්ඝ කර තිබේ. අවුල් ලිහන්නට පැමිණි විජයදාස ඇමතිවරයාගේද වැඩබලන සභාපති පදවිය වාරණයට ලක්කර තිබේ. දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතු ද තහනම් කර ඇත. දැනට පෙනී යන ආකාරයට මහින්ද අමරවීර, අලගියවන්න, දුමින්ද දිසානායක හා නිමල් සිරිපාල පාර්ශ්වය පක්ෂයේ කටයුතු කෙරෙහි යොමුව සිටිති. මේ අතර අමරවීර ඇමතිවරයා හිටපු සභාපති මෛත්‍රිපාලට මුදල් පිළිබඳ චෝදනාවක්ද නඟයි. එය බරපතළ චෝදනාවකි. මෛත්‍රී එයට එරෙහිව නීතිඥයකු මඟින් වන්දියක් ඉල්ලා එන්තරවාසියක්ද එවා ඇත. අමරවීර මේ චෝදනාව රැගෙන අධිකරණයට ගියහොත් කුමක් සිදුවිය හැකිද? මේ දෙපාර්ශ්වයේ භේදය මතවාදය ඉක්ම වූ වෛරයකට ළංවෙමින් තිබේ දැයි අමරවීරලාගේ පැත්තෙන් කෙරෙන විවේදන ඇසෙද්දී සිතේ. විජේදාස ඇමතිවරයා පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පත්කිරීම ඔවුන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. මාධ්‍ය හමුවක් පැවැත් වූ ඔවුන් කියාසිටියේ ඇමැති විජයදාස තවමත් පොහොට්ටු සාමාජිකයකු බවය. විජයදාස විසින් පොහොට්ටුවට ගෙවන ලද සාමාජික මුදල ඇතුළත් කුවිතාන්සියක් ද ඒ මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කර තිබුණි.

මේ සියල්ල විමසා බලද්දී මේ පක්ෂ අර්බුදයත් අපේ ගම්වල තිබෙන බූදල් නඩුවක් හෝ ඉඩම් ආරවුලක් ලෙසද පෙනේ. මේ පක්ෂයේ සභාපති පදිවිය ඉසිලූ චන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම පසුව පත්වූ මෛත්‍රිපාල සිරිසේන ද මෙරටේ ජනාධිපති ිධුර හෙබ වූ අය වෙති. චන්ද්‍රිකා ශ්‍රී.ල.නි.පය අතහැර ගොස් බහුජන පෙරමුණ හා මහජන පක්ෂය යන පක්ෂ දෙකක් ද පිහිට වූවාය. පසුව යළි ශ්‍රී.ල.නි.පයට එක්ව ජනාධිපති ධුරයට පත්වූ චන්ද්‍රිකාට ශ්‍රී.ල.නි.පය තුළ වූ බලය අහිමි වූයේ ජනාධිපති ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ නිසාය. ඇය ශ්‍රී.ල.නි.පයේ මහ ලේකම්ව සිටි මෛත්‍රී ඉන් පිටතට ගෙන රාජපක්ෂවරුන්ට එරෙහිව සටන මෙහෙය වූ බව ද අපට මතකය.

යහපාලන ආණ්ඩුවේ ජනාධිපති ලෙස සිටි මෛත්‍රී එහි අගමැති වූ රනිල් සමග ද ගැටුණි. එපමණක් නොව රනිල් එම ධුරයෙන් පහකර මහින්ද අගමැති ධුරයට පත්කිරීමට ද ඔහු ක්‍රියා කළේය. එය අධිකරණ තීන්දුවකින් බලරහිත විය. පසුව 2020දී මහින්දලාගේ පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සමඟ එක්වීමට ද මෛත්‍රීට සිදු විය. එදා ශ්‍රී.ල.නි.පය තරග කළේ පොහොට්ටු ලකුණෙනි. ඒ අනුව මෛත්‍රීගේ දේශපාලනය සරදම් ක්‍රියාවලියකින් යුතු විවාදාත්මක එකක් බව ද හැඟේ. කුමක් වුවත් අමරවීරලා මොනවා ප්‍රකාශ කළත් ශ්‍රී.ල.නි.ප.යෙහි ඔද තෙද බිඳින ලද්දේ රාජපක්ෂවරුන් විසිනි. එහිදී මෛත්‍රීට ශ්‍රී.ල.නි.පය සවිබල ගැන්වීමට ශක්තියක් නැති බව පැහැදිලිව පෙනුණි. ගෝඨාභයට 69 ලක්ෂයක ජනවරමක් දීමට තරම් ජනතා විශ්වාසයක් එදා පොහොට්ටුවට තිබුණි.

ශ්‍රී.ල.නි.පය යනු මේ වනවිට අධිකරණ තීන්දු අනුව නිලතලවලට පත්ව සිටින කිසිදු ජනතා ආකර්ෂණයක් ඇති පක්ෂයකි. පොහොට්ටු ලකුණින් මන්ත්‍රීවරුන් වූ අමරවීරලා, සිරිපාලලා මේ ආණ්ඩුවේ ඇමතිවරුන් වූයේද ශ්‍රී.ල.නි.පයේ තීන්දු තීරණ තඹයකට මායිම් නොකරමින්ය. ඇත්තටම ඔව්හු මෛත්‍රීගේ නායකත්වය නොඉවසූහ. එහෙත් ඔවුන්ට ශ්‍රී.ලි.නි.පය අවශ්‍ය වන්නේ යළි මන්ත්‍රීවරුන් වීමට පදනමක් දමා ගැනීමට පමණි. ශ්‍රී.ල.නි.පය සවිබල ගැන්වීමට ඔවුන්ට නොහැකි වන්නා සේම, එම පක්ෂ නාමය යොදාගනිමින් කුමක් හෝ දේශපාලන සන්ධානයක් අටවා ගැනීම ඔවුන්ට කළ හැකිය. කොහොමටත් ශ්‍රී.ල.නි.පය කවර හෝ පක්ෂයක එල්ලා දේශපාලන ජාම බේරා ගැනීම හැර වෙන දෙයක් ඔවුන්ට ද ඉතිරිව නැත. එ.ජා.ප. – ශ්‍රී.ල.නි.ප මෙන්ම පොහොට්ටුව ද අද ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ දේශපාලන පක්ෂ බව රහසක් නොවේ. දුෂණ, වංචා හොරකම් ආදී විවිධ චෝදනා ඒ පක්ෂවල බොහෝ දෙනෙකුට විරුද්ධව සමාජගත වී තිබේ. අද මේ පක්ෂවල නායකයන් වන රනිල්, චන්ද්‍රිකා, මහින්ද, ප්‍රයත්න දරන්නේ තම පන්තියෙන්, කඳවුරෙන් ගිලිහී ගිය බලය රැක ගැනීමටය. මේ හැම දෙනාටම මෛත්‍රී ශ්‍රී.ල.නි.පයෙන් ඉවත්කර ගැනීමට ද අවශ්‍ය වී තිබේ. කුමක් වුවත් ඒ පැරණි දේශපාලන සම්ප්‍රදාය යළි රැක ගැනීමට අද තිබෙන දේශපාලන අවකාශය තුළ සුළු හෝ ඉඩක් නැති බව ද පැහැදිලිය.

advertistmentadvertistment
advertistmentadvertistment