බෝගම්බර සිරගෙදර සංචාරක හෝටලයක් කෙරේ

179

ආයෝජකයකුත් ඉදිරිපත් වුණා – ඇමැති ප්‍රසන්න කියයි

වසර 138ක් පැරණි බෝගම්බර බන්ධනාගාරය, ෂොපින් මෝල්, ෆූඩ් කෝට්, කෞතුකාගාර සහිත සංචාරක හෝටලයක් කිරීමට කටයුතු කෙරේ. එය වාණිජ ගොඩනැඟිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී ඇතැයි ද නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (05දා) පැවසීය.

බෝගම්බර බන්ධනාගාරය 2014 වසරේ නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පසු විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ යටත්විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් සංවර්ධන කටයුතු සිදුකරන බව ද ඇමැතිවරයා පැවැසීය.

බෝගම්බර බන්ධනාගාරය දැනට මහජන ප්‍රදර්ශනය සඳහා පමණක් විවෘතව පවතී. ඉංග්‍රීසි යටත්විජිත සමයේ එනම් 1876 දී මෙම බන්ධනාගාරය ඉදිකර ඇති අතර මරණීය දණ්ඩනය, වැලිකඩ බන්ධනාගාරයට අමතරව පැවැතියේ මෙම

බෝගම්බර බන්ධනාගාරය තුළදීය. එකවර තිදෙනකු එල්ලා මරා දැමිය හැකි මෙම බන්ධනාගාරය අක්කර 13ක භූමියක් තුළ පිහිටා තිබුණි. මෙය එංගලන්ත එඩිම්බරෝ, වික්ටෝරියා මහ රැජනගේ ඔටුන්න ආකෘතියට ප්‍රංශ පැරිස් බැස්ටල් කොටුවට සමානව ඉදිකර තිබේ. සිරකරුවන් 408ක් සඳහා ප්‍රමාණවත් පරිදි සිරමැදිරි 328කින් සමන්විත වේ.

1876 සිට 1975 දක්වා වැරදිකරුවන් 524 දෙනකු මෙහිදී මරණීය දණ්ඩනයට ලක්ව තිබේ. 1975 නොවැම්බර් 21 සහ 22 යන දෙදින තුළ රටම කැළඹූ තිස්මඩ මිනීමැරුමේ වරදකරුවන් වූ ඩබ්.ජී. රිචඩ් සහ ටී.එම්. ජයවර්ධන යන් දෙදෙනා එල්ලා මැරීමෙන් අනතුරුව යළි කිසි දිනෙක බෝගම්බර බන්ධනාගාරයේදී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර නැත.

ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වීමෙන් අනතුරුව ඇගේ මළ සිරුර ගොඩගත් ස්ථානය ඇත්තේ ද මෙම බන්ධනාගාර පරිශ්‍රය තුළයි. එමෙන්ම උතුවන්කන්දේ සරදියෙල්, මරුසිරා, කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා යන ප්‍රසිද්ධ පුද්ගලයෝ ද මෙහි සිරගතව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment