විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සජබ සහ පෙරටුගාමීන් හමුවෙයි

179

නඩු කියන්න උදව් කරන බව සජිත් කියයි
ජාතික විරෝධතා දිනයට පෙරටුගාමීන්ගේ සහාය

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ නියෝජිතයෝ ඊයේ (19 දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් හමු වූහ.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, එහි සභාපති එම්. ඩී. ආර්. අතුල ඇතුළු නියෝජිතයෝ පිරිසක් මේ සඳහා සහභාගි වූහ. විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණු පිරිස විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී කතා කරන මෙන් ඒ මහතාගෙන් ඉල්ලා සිටියහ. එමෙන්ම විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නීති සහාය ලබාදෙන මෙන් ද ඔවුහු ඉල්ලා සිටියහ. එයට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම කරුණු දෙකටම එකඟතාවය පළ කළ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. විපක්ෂ නායකවරයාගෙන් ලැබුණු ප්‍රතිචාර ගැන තෘප්තිමත් වන බව ද හෙතෙම කීවේය. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ නියෝජිතයෝ ඉන්පසුව නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයේ දී එම පක්ෂයේ නියෝජිතයන් හමු වූහ.

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් එකඟ වූ බව ද සංජීව ධම්මික මහතා කීවේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඇතුළු නියෝජිතයන් සමග එහිදී සාකච්ඡා කළ බව ද ඔහු කීවේය.

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ඉදිරියේදී රටපුරා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සාකච්ඡාවලින් පසු මාධ්‍යයට පැවසීය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment