කඩා වැටෙන්නට නියමිත කොළඹ තට්ටු ගෙවල්…රටම හඬවන්නට පෙර අවධානය

1987

වේල්ස් කුමාර මාවතේ කොළඹ මහ නගර සභාවේ නිල නිවාස හොඳටම අබලන්…

මාළිගාවත්ත මහල් නිවාස ස්වාධිපත්‍යයට යට කර නිවාස සංවර්ධන අධිකාරිය වගකීම් පැහැර ඇරලා…

දෙමටගොඩ 51, 63 වත්තෙ තට්ටු නිවාසත් කිසිම නඩත්තුවක් නෑ…

ගුණසිංහපුර ඩයස් පෙදෙස තට්ටු නිවාස 1986 අවුරුද්දට පස්සෙ සුදුපිරියම් කරලා තියෙන්නෙ එක වතාවයි…

නිවාසවල අයිතියක් නැති නිසා බිත්තිවල තීන්ත ටිකක්වත් ගා ගන්න බෑ…

කොළඹ අවදානම් මහල් නිවාස ගැන කරුණු ඉදිරිපත් කිරීම අදාළ නිලධාරීන් මඟහැරියා…

කොළඹ පැරැණි මහල් නිවාසවල දැඩි අවදානම් තත්ත්වයේ පවතින නිවාස ඒකක 908 ක් හඳුනාගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලද සමීක්‍ෂණයකින් අනාවරණය කරගෙන ඇති එම නිවාස ඒකකවල සුළු භූ කම්පන තත්ත්වයකට හෝ ඔරොත්තු නොදෙන නිවාස ඒකක බොහෝමයක් ඇති බව ද වාර්තා වේ.

අවදානමට ලක් වී ඇති නිවාස ඒකක අතර කොළඹ නිවාස ඒකක 420 ක්, තිඹිරිගස්යාය ප්‍රදේශයේ නිවාස ඒකක 120 ක්, කොළොන්නාවේ නිවාස ඒකක 60 ක් මොරටුවේ නිවාස ඒකක 307 ක් සහ රත්මලාන ප්‍රදේශයේ නිවාස ඒකකයක් වේ. නිවාස සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව, කම්කරු දෙපාර්තමේන්තුව, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ස්වාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය යටතේ පාලනය වන එම නිවාස ඒකක කාලයකින් නඩත්තු කටයුතු සිදු වී නැති බව ද වාර්තා වේ.

පුංචි භූ කම්පන තත්ත්වයකදී හෝ ඔරොත්තු නොදෙන නිවාස ඇති බව වාර්තා වූ විට පැරැණි මහල් නිවාස සොයාගෙන කොළඹ පුරා අපි සංචාරය කළෙමු. එම සංචාරයේ ප්‍රථම නැවතුම්පළ වූයේ සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට කොළඹ නගර සභාවේ පැරැණි නිල නිවාස සංකීර්ණය තුළය. පේළි නිවාස සහිත දෙමහල් ගොඩනැඟිලි කිහිපයකි. එම දෙමහල් නිවාසවල වහළ දිරාපත් වී තැන, තැන උළු කැට කැඩී හැලී, බිත්ති පුපුරා ගොස් ජරාවාස වී තිබෙන අයුරු ඇස ගැටෙනවිට හදවත තිගැස්සිණි. මිනිස් වාසයකට නොව සතුන් ගාල් කිරීමට හෝ නොසුදුසු එම මහල් නිවාස සංකීර්ණයේ දැනට පවුල් හැත්තෑගානක් ජීවත් වන බව දැනගැනීමට ලැබුණුවිට හදවත හිරිවැටිණි.

“මම මේකෙ උපන් පදිංචිකාරයෙක්. අපේ සීයා, තාත්තා ජීවත් වුණෙත් මේ ගෙදර. මේ ගෙවල්වල ජීවත් වුණේ මහ නගර සභාවේ වැඩ කරපු සේවකයන්. ඉස්සර නම් පැන්ෂන් යනකොට ගෙවල්වලින් පිට වෙන්න ඕනෑ. ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි ඒ ක්‍රමය වෙනස් කරලා ජීවිත කාලයම අපිට මේ ගෙවල්වල ජීවත් වෙන්න අවසර ලබා දුන්නෙ. නිවාස එකසිය අසූගාණක් තිබුණා. දැන් තියෙන්නෙ ගෙවල් හැත්තෑගාණයි. ඉතිරි නිවාසවල පවුල් වෙනත් ප්ලැට්වල පදිංචියට ගිහින්. දැනට ඉතිරිව තියෙන ගෙවල් හැත්තෑගානෙ පවුල් තුන්සියගාණක් ජීවත් වෙනවා. එක ගෙයක් ඇතුළෙ පවුල් දෙක, තුන ජීවත් වෙනවා. සමහර ගෙවල්වල සාමාජිකයන් නිදාගන්නෙ මාරුවෙන්, මාරුවට. අලුතින් දෙන වර්ග අඩි තුන්සිය ගාණක පුංචි ගෙදරක පවුලකට ජීවත් වෙන්න මදි. ඒ ගෙවල් ලොකු වුණා නම් අපි මේ අබලන් ගෙවල් ඇතුළෙ ඉන්නෙ නෑ. උඩ තට්ටුවේ බිත්ති ඉරිතැලිලා. කොන්ක්‍රීට් පුපුරලා. වහින දවස්වලට ගෙවල් ඇතුළෙ ඉන්නෙ හරිම බයෙන්. කොයි මොහොතේ කඩා වැටෙයි ද දන්නෙ නෑ. යන්න තැනක් නැතිකමට ජීවත් වෙනවා…” පොදු මිදුලට එක්රොක්ව හදවත්වල දැවෙන ප්‍රශ්න අප ඉදිරියේ වචන කළ නිවාසවාසීන් අතරින් නිකලස් කියන කතාව වෙනම සටහන් කළේ ඔහු එම නිවාස සංකීර්ණයේ උපන් පදිංචිකාරයෙක් වූ නිසාය. නම පැවසීමට, ඡායාරූපයට පෙනී සිටීමට බිය නොවූ නිසාය. එම නිවාසවාසීහූ බොහෝදෙනා ගැටලු පැහැදිලි කළාට නම, ඡායාරූප පළ කිරීමට මැලි වූහ.

“මට වයස අවුරුදු හැත්තෑවයි. උපන්නෙත් මේ ගෙදර. මගේ දරුවොත් කසාද බැඳලා මේ ගෙදර ජීවත් වෙන්නෙ. ගේ කෑල්ල අලුත්වැඩියා කරගන්න අවසර දෙනවා නම් අපි වියදම් කරලා හදාගන්නවා. එහෙම කරන්නෙත් නෑ. හදලා දෙන්නෙත් නෑ. අඩුම තරමින් පාරෙ ලයිට් කණුවට විදුලි බුබුළක්වත් දාලා දෙන්නෙ නෑ. ඒ නිසා දැන් අපි බදු ගෙවන්නෙත් නෑ. වරිපනම්වත් ගෙවන්නෙ නෑ. ඉල්ලන්න එන්නෙත් නෑ. නම කියන්න බෑ. පින්තූර පත්තරේ දාන්න එපා. ප්‍රශ්න කොච්චර තිබුණත් මාධ්‍යයට කිව්වොත් නිලධාරීන්, ප්‍රදේශයේ ආණ්ඩු පක්‍ෂ දේශපාලනඥයන් උරණ වෙනවා. විවිධාකාරයෙන් අපෙන් පළිගන්නවා. ඒ වගේම ඡන්දෙ කාලවලට මේ හැම ගෙයක් ඇතුළටම රිංගන අපේක්‍ෂකයො මැතිවරණය අවසාන වෙච්ච වහාම ගොඩනැඟිලි අලුත්වැඩියා කරලා සින්නක්කර අයිතියත් ලබාදෙනවා කියනවා. ඒත් ප්‍රේමදාස මහත්තයාගෙන් පස්සෙ ඡන්දය දිනලා කොළඹ දිස්ත්‍රික්කයේ එක දේශපාලුවෙක්වත් මේ වත්තට ඇවිත් නෑ…” හේ වියපත් දෙදරු පියෙකි. රැකියාවක නිරත නොවන හේ යැපෙනුයේ දරුවන්ගෙනි. ඔහුගේ නම, පින්තූර ප්‍රසිද්ධ නොකර සිටිනවා නම් වඩාත්ම හොඳ බව හේ අපට පැවසුවේය.

වේල්ස් කුමාර මාවත, කොළඹ 14 ලිපිනයෙහි අංක 210 සිට 260 දක්වා පිහිටි කොළඹ මහ නගර සභාවේ නිල නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පවසන ආකාරයට එම නිවාසවල දැනට ජීවත් වනුයේ දෙවැනි, තෙවැනි පරම්පරාවන්හි සාමාජිකයන්ය. එමෙන්ම එම දෙමහල් ගොඩනැඟිලි ඉදිකර බොහෝ කාලයකි. එහෙත් නිවාසවල අයිතිය තහවුරු කිරීමට තවම පදිංචිකරුවන්ට බලපත්‍රයක් හෝ ලබාදී නොමැත. පදිංචිකරුවන්ට මතක ඇති කාලයකදී නිවාස අලුත්වැඩියාවක් සිදු කර නැත. කොළඹ මහ නගර සභාව විසින් අවසර ලබාදෙනවා නම් තම වියදමෙන් නිවාසවල නඩත්තු කටයුතු සිදු කරගන්නා බව එම නිවාසවාසීහු අප සමඟ පැවසූහ. එමෙන්ම සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජාතීන් සහෝදරත්වයෙන් ජීවත්වන බව පවසන එම නිවාස සංකීර්ණයේ දෙමහල් ගොඩනැඟිලි පිටුපස කුණු කාණු උතුරා යන හැටි දුටු විට නම් දෙනෙත් විසල් විය. තැන, තැන ඉඳුල් ගොඩවල්, ප්‍රජා ශාලාව අසල පොදු කුණු ගොඩට එකතු කර තිබෙන මස්, මාළු අපද්‍රව්‍ය ගඳට ඔක්කාරයට ආවේය. අබලන් නිවාසවල ජීවත්වීමට මෙන්ම ජරාවාස වී තිබෙන එම නිවාස සංකීර්ණය තුළ ඩෙංගු, මී උණ වැනි රෝග බෝවීම සම්බන්ධයෙන් ද පදිංචිකරුවන් බියෙන් සලිත විය යුතු බව සැබෑය. ඒ කුණු කාණු, කැඩී බිඳී ගිය ස්ථාන ඩෙංගු මදුරුවන්, මීයන් බෝ කරන ෆාම් වැනිය. දුර්ගන්ධය වෑහෙන කොළඹ නගර සභාවේ පැරැණි නිල නිවාස සංකීර්ණයෙන් පිට මං වූ අපි මාලිගාවත්ත කලා පුරයේ මහල් නිවාස සංකීර්ණයට ඇතුළු වුණෙමු. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්. එස් ප්‍රනාන්දු, හරූන් ලන්ත්‍රා ඇතුළු මෙරට ජනප්‍රිය කලා ශිල්පීන් රාශියක් ජීවත් වූ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ අද තත්ත්වය අතිශය ඛේදජනකය. පීටර් කේනමන් මහතා නිවාස සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ගොඩනැගුණු එම මහල් නිවාස ද නඩත්තුවක් නොමැති නිසා දැඩි සේ ජරාජීර්ණ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු අපට කීහ. මහල් අට, හය සහිත ඇතැම් තට්ටු නිවාස අබලන් තත්ත්වයට පත් වී ඇති බව ද වාර්තා වේ. එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රීවරියක් වූ සීතා මාලනී පදිංචිකාරිණියක් ලෙස පෙළගැසෙන කතාවට මෙසේ අදහස් ඉදිරිපත් කළාය.

“මාළිගාවත්ත නිවාස යෝජනාවලියේ වැඩිම නිවාස ප්‍රමාණයක් තියෙන්නෙ සී ප්ලැට් එකේ. නිවාස එකසිය දහඅටයි. අනෙක් ප්ලැට්වල නිවාස හැටයි, හතළිස් අටයි. දොළහයි. මාළිගාවත්ත නිවාස යෝජනාවලිය තුළ ප්ලැට් අසූපහක් තුළ නිවාස එක්දාහස් පන්සියගාණක් තියෙනවා. අපි මේ ප්ලැට්වල පදිංචියට ආවේ 1976 අවුරුද්දෙ. ඒ කාලේ මේ ප්ලැට් පාලනය කළේ නිවාස සංවර්ධන අධිකාරියෙන්. දැන් ස්වාධිපත්‍ය දේපළ කියලා නිවාසවාසීන්ට පවරා තියෙනවා. ඒත් ස්වාධිපත්‍ය සමිතිවලට ලොකු වැඩක් කරන්න බෑ. ඒ නිසා දැන් මේ ප්ලැට්වල නඩත්තුවක් වෙන්නෙම නෑ. ගලිවළවල් පිරුණම කොළඹ මහ නගර සභාවෙන් ඉවත් කරනවා. එකතු වෙන කුණු ටික අරගෙන යනවා. නිවාස නඩත්තු සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරියට දැනුම් දුන් විට ස්වාධිපත්‍යයෙන් කරගන්න කියලා මගහරිනවා. ඒ වගේම ඉස්සර මේ ප්ලැට් සුපිරියි. මාළිගාවත්ත ප්ලැට්වල කිව්වම හොඳ පිළිගැනීමක් තිබුණා. දැන් ඒ පිළිගැනීම නෑ. පදිංචි වෙලා හිටිය කලාකරුවො ගෙවල් විකුණලා වෙනත් ප්‍රදේශවලට ගිහින්…” සුහද කතාබහක නිරත වී සිටි ඇය නිහඬ විය. අප ඇයගේ පුංචි නිවසෙන් පිට මං වී මාළිගාවත්තෙ තට්ටු නිවාස අතර ඇවිද ගියෙමු. ඇතැම් තට්ටුවල බිත්ති මත මහ ගස් වැවී තිබෙන අයුරු ජූඩ් අයියා කැමරා කාචයට හසු කර ගන්නා අයුරු මම දුටිමි. පුපුරා ගිය බිත්ති, පතුරු ගැල වී ගිය කිලිටි බිත්ති නිරන්තරයෙන් ඇස ගැටිණි. පොදු නිවාසවල නඩත්තු කටයුතු ස්වාධිපත්‍යයට යටත් කර නිවාස සංවර්ධන අධිකාරිය වගකීම් පැහැර ඇති අපූර්වත්වය මාළිගාවත්ත නිවාස යෝජනා ක්‍රමය තුළින් අපූරුවට ප්‍රදර්ශනය කෙරිණි. එහෙත් රටේ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හළන අනුර කුමාර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ජනහිතකාමී සහෝදරයන් පිරිස ද කොළඹ අබලන් මහල් නිවාසවල ජීවත්වන මිනිසුන්ගේ සුබසාධනය ගැන කතා නොකිරීම ගැන අපට ඇත්තේ පුදුමයකි. මනස තුළ එසේ සිතුවිලි දෝරෙ ගලන විට අපගේ රියැදුරු ප්‍රභාත් එක පිම්මේ ධාවනය කළ ත්‍රිරෝද රථය දෙමටගොඩ වනාතමුල්ල 51 එක වත්තේ නතර කළේය.

කඩා වැටෙන්නට නියමිත කොළඹ තට්ටු ගෙවල්...රටම හඬවන්නට පෙර අවධානය

ප්‍රදේශවාසීන් පවසන ආකාරයට දෙමටගොඩ 51 සහ 63 වත්තෙ තට්ටු නිවාස ඉදිකර ඇත්තේ ද 1960 ගණන්වලය. එම තට්ටු නිවාසවල ඉදි වූ නිවාස පේළි තුළ පවුල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ජීවත්වන බව ද වාර්තා වේ. කොළඹ මහ නගර සභාවෙන් නිවාස ලබා දුන්න ද මේ වන විට කිසිදු ආයතනයකින් එම නිවාස ගැන සොයා නොබලන බව ද නිවාසවාසීහු අප සමඟ පැවසූහ. එහෙයින් බිත්ති පුපුරා ගොස් ඒ අතර ගස් වැවී, පඩි පෙළ කැඩී එම ගොඩනැඟිලි ද වේගයෙන් පරිහානියට පත් වෙමින් තිබෙන බව ද ඔවුහු පෙන්වා දුන්හ. කිසිදු නඩත්තුවක් නොමැති නිසා නිවාසවලට බදු නොගෙවන බව ද ඔවුහු අපට කීහ.

පැරැණි මහල් නිවාසවල ජීවත්වන මිනිසුන් ඇසුරින් ඇසෙන කතාව දෙසවනට අමිහිරිය. වසර ගණනාවකින් හුණු පිරියම් නොවුණු එම ගොඩනැඟිලි දෙස බැලිය නොහැකි තරමට අවලස්සනය. අයිතියක් නැති නිවාස අලුත්වැඩියා කරගැනීමට පදිංචිකරුවන් ද අකැමැත්තක් දක්වන බව කණවැකෙන කතාවෙන් වැටහිණි. වනාතමුල්ල 51 එක වත්තෙන් පිටත් වූ අපි කොන්ක්‍රීට් වන්නාතරය මැදින් පිටකොටුව කෙසෙල්වත්ත දෙසට ගමන් කළෙමු. කොළඹ පැල්පත් නැති කර, මහල් නිවාස ලබාදෙමින් මෙරට නිවාස සංවර්ධනයේ මහා පෙරළියක් සිදු කළ රණසිංහ ප්‍රේමදාස මහතා පදිංචිව සිටි ගමය. කෙසෙල්වත්ත ප්‍රදේශයේ බොහෝමයක් තට්ටු නිවාස ප්‍රේමදාස යුගයේ ගොඩනැගුණු නිවාස ව්‍යාපෘති වේ. දැන් අප නතර වී සිටිනුයේ ද 1986 වර්ෂයේදී ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත ගුණසිංහපුර ඩයස් පෙදෙසෙහි ඉදිකර ඇති විශාල තෙමහල් නිවාස තුන අසලය. ඒ, බී සහ සී ලෙස නම් කර ඇති එම තෙමහල් ගොඩනැඟිලි තුනේ නිවාස 560 කි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන එම නිවාස 1986 වර්ෂයෙන් පසුව අලුත්වැඩියා කර ඇත්තේ එක වතාවක් පමණක් බව අපට කීවේ එහි පදිංචිකරුවෙකි. හේ කේ. එල්. නන්දන ප්‍රියන්තය. ඔහුට වයස අවුරුදු පනස්හතකි. ආපනශාලාවලට බත් සැපයීම ව්‍යාපාරයක් කරගෙන සිටින හේ කෙසෙල්වත්තෙ ප්‍රසිද්ධ සුදු මහත්තයා නිමිනි. මේ ඔහු ජීවත්වන නිවාස සංකීර්ණය ගැන කියන කතාවය.

“මේ අවට තියෙන ගොඩක්ම තට්ටු නිවාස අසූගණන්වල හදපුවා. ඒ වගේම මේ තට්ටු නිවාසවල ඉස්සරහ පැත්ත තරමක් හොඳයි. පිටුපස තනිකර අපායක්. කුණු කාණු උතුරනවා. කුණු බාස්කට්වල මදුරු පණුවො බඩ පිනුම් ගහනවා. ඒ වගේම සමහර තට්ටුවල බිත්ති පුපුරලා. කොන්ක්‍රීට් පුපුරලා. පඩිපෙළ කැඩිලා. කිසිම නඩත්තුවක් නෑ. නිවාස අධිකාරියට ගෙවල් කුලී ගෙව්වට බලන්නවත් එන්නෙ නෑ. මෑතක ගෙවල් කුලී නම් වැඩි කළා. දැන් එක්දාහස් ගාණක්. නිවාසවල පදිංචි වෙලා ඉන්න තාක් නිවාස අධිකාරියට කුලිය ගෙවන්න ඕනෑ. නගර සභාවට බදු ගෙවන්න ඕනෑ. ඒත් මේ නිවාස ලබා දීලා ප්‍රේමදාස මහත්තයා කිව්වේ අවුරුදු විස්සෙන් සින්නක්කර අයිතිය ලබාදෙනවා කියලා. තවම අපිට අයිතියක් ලැබිලා නෑ. ඒ නිසා පදිංචි නිවස අපිට නඩත්තු කරගන්න බෑ. ඇතුළේ තීන්ත ටිකක් ආලේප කරගන්න පුළුවන්. පිට බිත්තිවල එහෙමවත් කරන්න බෑ. පදිංචිකරුවොත් කිසිම පරිස්සමක් නෑ. තමන් ජීවත් වෙන නිවස කියලවත් හිතන්නෙ නෑ. ඒත් සමහර පුංචි ගෙවල්වල පවුල් දෙක, තුන ජීවත් වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතිකයන්ම මේ ප්ලැට්වල ජීවත් වෙනවා. කිසිම එකමුතුකමක් නෑ…” නන්දන ප්‍රියන්තගේ කතාව කෙටිය. ඒත් සියලු කරුණු අන්තර්ගතය.

කොළඹ පැරැණි මහල් නිවාසවල අවදානම් සහගත කතාව එසේ පෙළෙගැසෙන විට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සිදු කර ඇති සමීක්‍ෂණයේ තොරතුරු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට ලබාදී විද්‍යාගාර පරීක්‍ෂණයකින් පසුව එම ගොඩනැඟිලි සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ද වාර්තා විය. එහෙත් දුරකථනය ඔස්සේ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාව සම්බන්ධ කරගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ අවදානම් මහල් නිවාස ගැන කරුණු විමසූ අවස්ථාවේ ඔහු පළ කළේ මෙවැනි අදහසකි.

“කොළඹ දිස්ත්‍රික්කය තුළ අවදානම් ගොඩනැඟිලි තියෙනවා කියලා මට කියන්න පුළුවන්කමක් නෑ. එවැනි ගොඩනැඟිලි තියෙනවද කියලා මම දන්නෙ නෑ. යමක් ප්‍රකාශ කරනවා නම් විද්‍යාත්මකව සනාථ කරගෙන තමයි කියන්න ඕනෑ. විද්‍යාත්මක පදනමක් නැතිව ඔය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම ජනතාව පීඩනයකට පත් කිරීමක්…” ඔහු පමණක් නොව අදාළ ආයතනවල ප්‍රධාන නිලධාරීන්ට කතා කරමින් පෙළගැසෙන කතාව සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ සූක්‍ෂම අයුරින් පිළිතුරු ලබාදීමෙන් වැළකී සිටි බව සැබෑය. අදාළ නිලධාරීන් අදහස් දැක්වීමෙන් මඟහරින පසුබිමක අප මේ කතාව කීවේ කොළඹ මහල් නිවාසවල මිනිසුන් පාරට බැස්සවීමට නොවේ. ව්‍යසනයක් ඇතිවීමට පෙර වළක්වා ගැනීමටය. එහි වගකීම ඇත්තේ අදාළ බලධාරීන්ට සහ අදාළ ආයතන වෙතය. එමෙන්ම අඳ ගොළු නොවන බලධාරීන්ට සහ නිලධාරීන් කොළඹ පැරැණි මහල් නිවාසවලට ගිය විට එම ගොඩනැඟිලිවල අවදානම් තත්ත්වය දැකගැනීමට පුළුවන් වේ. කෙනෙක් කියන කතාවක් තේරුම් ගැනීමට බුද්ධියක් තිබේ නම් පැරැණි මහල් නිවාසවල පදිංචිකරුවන්ගේ අඳෝනාව තේරුම් යනු ඇත. අපේ කතාව එපමණකි.

තරංග රත්නවීර
ඡායාරූප .
ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment