රඹකැපූ වැව ගම්මානයේ වෙන්දේසිය මරණයකින් කෙළවර වෙයි

134

කැබිතිගොල්ලෑව, රඹකැපුවැව ගම්මානයේ පැවැති බණ පළේ වෙන්දේසියේ ගීතයක් ගායනා කිරීමට ඉල්ලා දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග ගොස් පොලු පහරක් වැදී දෙදරු පියෙකු පසුගිය (26දා) මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බද්ධරාලගේ සමන් ජානක කුමාර නමැති තිත්තගෝණෑව, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි 45 හැවිරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ දෙදරු පියෙකි.

පසුගිය මාර්තු මස 28 වැනි දින කැබිතිගොල්ලෑව, රඹකැපුවැව ගම්මානයේ බණ පින්කම් මාලාවක් පැවැත්වුණි. එයට සහභාගි වීම සඳහා අයිතිගෙවැව ගම්මානයේ තරුණයින් පස් දෙනෙකු සහ තිත්තගෝණෑව ගම්මානයේ තරුණයින් රැසක්ද පැමිණ තිබුණි. එම බණ පළේ රාත්‍රී 9.00 ට පමණ ගීත වෙන්දේසිය ආරම්භ කර ඇත. අනතුරුව එම ගීත ඉල්ලා අයිතිගෙවැව ගම්මානයේ තරුණයින් හා තිත්තගෝණෑව ගම්මානයේ තරුණයින් අතර බහින්බස්වීමක් සිදුව ආරවුල් තත්ත්වයක් හටගෙන ඇත. අනතුරුව එය සමථයට පත් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබුණි. ඉන් පසු රාත්‍රී 12.30 ට පමණ මෙම දෙපිරිසම බණ පොළින් පිටත්වී නිවෙස් කරා පැමිණ ඇත. එසේ ගමන්කරමින් සිටියදී සියඹලාගස්වැව හංදියේදී නැවතත් මෙම දෙපිරිස මුහුණට මුහුණ හමු වී ඇත. එහිදී දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක්ද සිදු වී ඇති බව පොලිසිය කියයි. අනතුරුව එම ගුටි බැට හුවමාරුවද නතර වී ඇත.

ඊට පසු සමන් ජානක කුමාර නමැති මියගිය පුද්ගලයා ඒ අසල තිබුණු බෝකකු කණුවක් මත වාඩි වී සිට ඇත. එක්වරම පිටුපසින් පැමිණි පුද්ගලයෙකු මෙම මියගිය පුද්ගලයාගේ හිසට පොල්ලකින් පහර දී පලා ගොස් තිබුණි. පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ සමන් ජානක කුමාර මහතා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යැවූ බවත් ඒ වන විටත් පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ සුසුම්නාවට දැඩි ලෙස හානියට පත්වී තිබූ බවත් රෝහල් බලධාරීහු කියති.

අනතුරුව මසකට ආසන්න කාලයක් අනුරාධපුර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි බද්ධරාලගේ සමන් ජානක කුමාර මහතා පසුගිය 26 වැනිදා සවස රෝහලේදීම මිය ගොස් තිබුණි.

කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එස්. කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති චමිල රත්නායක මහතා ප්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර අප්‍රේල් මස 07 වැනි දින මරණය සිදු කළා යැයි සැකකරන අයිතිගේවැව, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි කෝවිල් ආරච්චිගේ සෙව්වන්ද ලක්මාල් නමැති 22 හැවිරිදි තරුණයා සහ පහර දුන් පොල්ල කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය කියයි.

මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment