ගුනේ සහ ගුණේ

1072

මෙයට අවුරුදු 320 කට පමණ පෙර 1602 මැයි 2 දා ඕලන්ද අද්මිරාල්වරයකු වූ ජොරිස් වෑන් ස්පිල්බර්ජන් නැව් 3 න් සමන්විත කුඩා හමුදාවක් සමග ලංකාව බලා පිටත් විය. මාස 12 ක මුහුදු ගමනකින් පසු 1603 දී මෙරටට සම්ප්‍රාප්ත වූ අද්මිරාල්තුමා කන්ද උඩරට රාජධානියට ගොස් පළමුවන විමලධර්මසූරිය රජතුමා හමුවිය. මේ වන විට ලංකාවෙන් කොටසක් පාලනය කළේ ආක්‍රමණික පෘතුගීසි හමුදාවකි. ලංකාවටත්, එහි ජනතාවටත්, තමාටත් වාතයක් වී සිටි පෘතුගීසීන් පලවා හැරීම සඳහා ලන්දේසි සහය ලබා ගැනීමට රජතුමා කල්පනා කළේය. මෙය ඉල්ලීමක් වශයෙන් ඉදිරිපත් කරන ලද කල්හි අද්මිරාල් ස්පිල්බර්ජන් සතුටින් පිනුම් ගැසූ නැති ටික පමණි. රජුත් තමාත් අතර හටගත් මේ අලුත් සම්බන්ධය සිහිපත් කරනු සඳහා නැවේ සිටි දක්ෂ සංගීතඥයන් දෙදෙනෙක් රජතුමාට තෑගි දීමට අද්මිරාල්තුමා පියවර ගත්තේය. මෙය මධ්‍යකාලීන යුගයේ ස්වරූපයයි. එකල කිසියම් දක්ෂතාවක් තිබූ මනුෂ්‍යයකුට සලකන ලද්දේ තෑගි භාණ්ඩයක් ලෙසය. එයට හේතුව මධ්‍යකාලීන යුගයේදී වහල් මෙහෙය ඉතා තදින් පැතිර තිබීමය. රජු යටතේ සිටි හැම එකෙක්ම වහලකු ලෙස සලකන ලදී. ඉන් ස්වල්ප කලකට පසු නැව් හමුදා වලින් මෙහි පැමිණි ඕලන්ද ජාතිකයෝ ලංකාව අල්ලා ගත්හ. එහෙත් උඩරට රාජධානිය අල්ලා ගැනීමට ඔවුන්ට බැරි විය. මේ රට අල්ලාගත් ඕලන්ද හමුදාව Dutch East India Company නමැති වෙළෙඳ සමාගමක් හරහා මේ රට පාලනය කළහ. දුර්වල රටවල් අල්ලාගෙන ඒවායේ සම්පත් සූරාකෑම සඳහා ඒ රටවල් වෙළෙඳ සමාගම්වලට භාරදීම මධ්‍යකාලීන යුගයේ පැවති තවත් ලක්ෂණයකි. උදාහරණයක් ලෙස ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් ගණනාවක්ම පෘතුගීසි ලන්දේසි සහ ස්පාඤ්ඤ වෙළෙඳ සමාගම් විසින් පාලනය කරන ලදී. අප්‍රිකා මහාද්වීපයේ සෑහෙන කොටසක් පාලනය කෙරුණේ බෙල්ජියමේ ලියෝ පෝල්ඩ් රජතුමා විසින් තමා නමටම ලියා ගන්නා ලද ඔප්පුවකින් පවරාගත් පුද්ගලික ඉඩමක් ලෙසය ලංකාවේ යටත් විජිත සමයේදී ප්‍රධාන ආක්‍රමණිකයෝ තිදෙනෙක් මෙහි පැමිණියහ. ඉන් පළමුවැන්නා පෘතුගීසි ජාතිකයෝය. පෘතුගීසීන් අපේ රට සූරා කෑ පමණට වැඩි ප්‍රමාණයක් ඊළඟට මෙහි පැමිණි ලන්දේසීන් විසින් සූරාකන ලදහ. ඒ දෙගොල්ලොටම වැඩි සූරා කෑමක් තුන්වනුව මේ රට අල්ලාගත් බි්‍රතාන්‍ය ආක්‍රමණිකයා සිදුකළේය. අප ඉහත සඳහන් තොරතුරු ස්වල්පය කියන ලද්දේ ඕලන්දයේ සංස්කෘතික හා මාධ්‍ය අමාත්‍ය ගුනේ උස්ලු මහත්මිය පසුගියදා මෙරටට පැමිණ අපේ ගුණේ වන අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම නිමිත්තෙනි. (දිනේෂ් ගුණවර්ධනට අප ගුණේ යැයි කියන්නේ ගුණවර්ධන යන නාමයේ ආදර නාමය ගුණේ වන බැවිනි) ඕලන්ද ඇමැති ගුනේ ලංකාවට පැමිණෙන්නේ ඔවුන් මේ රට පාලනය කළ යුගයේදී කොල්ලකන ලද පුරාවස්තු කිහිපයක් ආපසු භාරදෙනු පිණිස ගිවිසුමක් අත්සන් කරනු පිණිසය. ලෙව්කේ දිසාවගේ සුප්‍රසිද්ධ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, සිංහල පිහි කිහිපයක්, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් මේ ගිවිසුම යටතේ ආපසු මේ රටට භාරදෙනවා ඇත. ඕලන්ද ජාතිකයන් මේ රට හප කළ බව ඇත්ත. මේ රටේ සාරය උරාගෙන ගොස් එම සාරය යුරෝපයට විකුණූ බවත් ඇත්ත. හැබැයි ඔවුන් විසින් කොල්ලකන ලද සියලු පුරාවස්තු ඉතා සුරක්ෂිත ලෙස තබාගැනීමට ඔවුහු කටයුතු කළහ. එයට හේතුව මේ පුරාවස්තු තම රටට අයත් දේපළ ලෙස පවත්වාගෙන යෑමට ඔවුන් තීරණය කර තිබීමය. එබැවින් ඔවුහු මේ පුරාවස්තු විශේෂ කාමරවල තැන්පත් කර හතර වටෙන් මුරකාවල් යෙදූහ. ඊළඟට වායුසමීකරණ පහසුකම් පැමිණි කල්හි එම කාමර AC කරනු ලැබීය. අනතුරුව CCTV යුගය එළඹුණු විට එම පුරාවස්තු නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සඳහා ඒවා තිබූ කුටිවලට CCTV ද හයිකරනු ලැබීය. ඕලන්ද ජාතිකයන් එදා ඉහත සඳහන් පුරාවස්තු ටික පැහැරගෙන නොගියේ නම් ඒවා මේ වනවිට අතුරුදන්ව තිබෙන්නට පුළුවන. රාජසිංහ රජුගේ රත්තරන් ඔටුන්න පවා අද අප සතුව නැත.

කන්ගැට්ටා නමැති සොරෙක් එම ඔටුන්න සොරකම් කර කැබලිවලට කපා උණුකර රත්තරන් ගුලියක් තනා අලෙවි කළේය.

බ්‍රිතාන්‍ය පාලන යුගයේදී මේ රටේ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ ඉංග්‍රීසි ජාතික පරිපාලන නිලධාරියෙක් විය. එච්. සී. පී. බෙල් නමැති මේ නිලධාරියා අපට අයත් පුස්කොල පොත් නැව් දෙකකින් එංගලන්තයට යවන ලද බව දැනගන්නට තිබේ. එකල ඔහු සිය පිරිස ලවා කැණීම් රාශියක් කර පුරාවස්තු තොග පිටින් ගොඩගන්නා ලදී. එකල ඔහු සහ ඔහුගේ පිරිස හඳුන්වන ලද්දේ “බැල් පාටිය” යන නමිනි. මෙසේ මේ රටේ පුස්කොල පොත් එංගලන්තයට පැහැරගෙන යෑම පිළිබඳ එච්. සී. පී. බෙල්ට අදටත් හෙණ ඉල්ලනු ලැබේ. එහෙත් එම පුස්කොල පොත් ටික ගෙනගොස් ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් නොකරන්නට ඒවා වේයන්ගේ ආහාර වීමට ඉඩ තිබිණ. අපේ පුස්කොල පොත් දහස් ගණනක් ලන්ඩන් කෞතුකාගාරයේ විශාල AC‍ කෙරුණු විශාල ශාලාවක අදටත් තැන්පත් කර ඇත. එසේ නොවන්නට කිසියම් අන්තවාදී මෙහෙයුමකදී මේ පුස්කොල පොත් ගිනිබත් වීමට ඉඩ තිබුණි. යාපනේ පුස්තකාලය ගිනි තැබූ හැටි ඔබට මතකද? එම ගින්නේදී පුස්කොල අත් පිටපත් දහස් ගණනක් අළු විය. ඉන් සමහර පුස්කොල පොතක් අවුරුදු දෙදාහක් පැරණි වන අතර ඉපැරණි දේවනාගරී අක්ෂර වලින් ලියන ලද්දේ වෙයි. තවත් කුඩා කතාවක් කියමු. ක්‍රිස්තු පූර්ව 48 දී ඊජිප්තුවට අයත් ඇලෙක්සැන්ඩි්‍රයා නගරයේ විශාල පුස්තකාලයක් විය. මේ පුස්තකාලය තුළ පැපිරස් පත්‍රවල ලියූ පොත් හාර ලක්ෂයක් විය. මේ අතර ජුලියස් සීසර් විසින් ඇලෙක්සැන්ඩි්‍රයාව ආක්‍රමණය කරන ලදී. ඇලෙක්සැන්ඩි්‍රයා නගරය බුද්ධිමතුන්ගේ භූමියක් බව දුටු සීසර් පුස්තකාලයට ගිනි තැබුවේය. ගිනි නොගෙන ඉතිරි වූ සියලුම පැපිරස් පොත් එකල පැවති ස්නානාගාරවල වතුර උණු කිරීම සඳහා දර වශයෙන් පාවිච්චි කරන ලදී. මේ ගින්න පිළිබඳ තවත් මතයක් තිබේ. එනම් සීසර් ප්‍රධාන පුස්තකාලයට නොව එයට යාබදව තිබූ පොත් ගබඩාවට ගිනි තැබූ බවය. එම ගින්න පුස්තකාලයටද පැතිරගොස් ඇත. මෙයට අවුරුදු කීපයකට පෙර මාලදිවයින තුළ රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇති විය. එම කැරැල්ලේදී මාලදිවයින් කෞතුකාගාරය තුළ තිබූ බෞද්ධ ප්‍රතිමා වලින් වැඩි හරියක් කඩා බිඳ දමන ලදී. එසේ කළෝ ඉස්ලාමීය අන්තවාදී පිරිසකි. තලේබාන් සංවිධානය, ඇෆ්ගනිස්තානයේ කෞතුකාගාරය සම්පූර්ණයෙන්ම කුඩුකර බෝම්බ දමා බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළේය. අපේ පුස්කොල පොත් සහ පුරාවස්තු ආරක්ෂා කිරීමට නිසි ක්‍රමවේදයක් කවදාවත් තිබුණේ නැත. ඕලන්දය එංගලන්තය වැනි රටවල් අපේ පුරාවස්තු පැහැරගෙන ගොස් ඒවා තමන්ගේ පුරාවස්තු ලෙස සලකා නඩත්තු කර ඇත. ඕලන්ද ගුනේ සහ අපේ ගුණේ අතර අත්සන් කෙරුණු ගිවිසුමෙන් මෙරටට ආපසු ලැබෙන පැරණි සිංහල පුරාවස්තු සුරැකීම සඳහා කිසියම් ක්‍රමවේදයක් හඳුන්වාදෙන ලෙස අපි අපේ සංස්කෘතික ඇමැතිගෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment