කතරගම අඩවිය වල්ලිමාතා නිජබිමයි

331

(මේ කතරගම ඇසල පෙරහර සමයයි. අවසාන මහා රන්දෝලි පෙරහර පැවැත්වෙන්නේ ජූලි 3 වැනිදාය. මෙම ලිපිය පෙරහර මංගල්‍ය වෙනුවෙනි.)

ඇසල සඳ බැබළෙන රාත්‍රියෙහි මහත් හරසරින් යුතුව කතරගම පුද පෙරහර පැවැත්වෙයි. වල්ලි මාතා දෙවඟන වැඩවෙසෙන දේව මාලිගය කරා දිනපතා පෙරහැර ළඟා වෙයි. හින්දු බැතිමතුන් මේ දිව්‍ය පූජෝත්සවය හඳුන්වනුයේ වේල් පෙරහැර යනුවෙනි. වේල් දෙවියන් හෙවත් මුරුගන් දෙවියන් සිය ප්‍රියම්භිකාව කැඳවාගෙන පැමිණෙන මංගල උත්සවය සමරන බවත් ඒ උතුම් මංගල්‍යයට අප කවුරුත් පවුල් පිටින් යා යුතු බවත් දමිළ ජනතාව දැඩි භක්තියෙන් යුතුව ආඩම්බරයෙන් පවසති. සති ගණන් දුර කතර ගෙවා කතරගමට ඇතුළු වන ඔවුන්ගේ බැගෑ විලාසය සිත් කම්පා කරවන සුළුය. එදා මෙදා තුර කතරගම පුද බිමෙහි සිදුවන සියලු දේව පූජෝත්සව හෙවත් පෙරහර මංගල්‍යය වල්ලිමාතා දේවාලය කේන්ද්‍ර කර ගනිමින් සිදු වෙයි. අතීතයේ රෝහණ ජනපදයෙහි මැණික් ගංගා නිම්නය ආදිවාසී නිජබිම්ය. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට කතරගම පුද සිරිත ඇරඹීමට පාදක වූයේ කඳසුරිඳු – සිරි වල්ලි යුවළගේ සරණ මංගල්‍යයයි. සංස්කෘත, ද්‍රවිඩ, සිංහල සාහිත්‍ය කෘති එකල මෙන් මෙකලද සම්පාදනය වනුයේ මෙකී ප්‍රේම වෘතාන්තය වස්තු විෂය කරගෙන ය. වසරක් පාසා මෙහි පැමිණෙන පාද යාත්‍රිකයන් මැණික් ගඟට බැස පේවී ප්‍රථමයෙන්ම ගමන් කරනුයේ වල්ලිමාතා දෙවඟනගේ දේවාලය වෙතය. දේව මංගල්‍යය සඳහා කප් සිටුවීම සිදුවීමට පෙර එම කප් කණු වනයේ සිට ගෙනවිත් මුළු රැයක්ම තැන්පත් කර තබනුයේ වල්ලිමාතා දේවාලයෙහිය.

යුග යුග බැඳුණු කාචරග්‍රාම ශිෂ්ටාචාරය තුළ වල්ලි කුමරිය ජනිත නොවූවා නම් කතරගම දෙවියන් හා බැඳුණු මේ පුද සිරිත ලෝක පූජිත නොවනු ඇත. එසේ නම් සිදුවිය හැක්කේ උතුරු හා දකුණු ඉන්දියානුවන් අතරට පමණක් සීමා වූ මුරුගං – තේවානි පෙම් යුවල පිදීමේ සිරිත ව්‍යාප්ත වීමයි. ඈත අතීතයේ ආදිවාසී ජනතාව විසින් මෙම දේව භූමියේ සැකසූ ‘යක් මැස්ස‘ හෙවත් ‘අතුපන්දල‘ යට දී සිදුකළ පුද සිරිත් දැකගැනීමට සහ මෙම දෙව් යුවළ පිදීමට භාරතයෙන් පවා බැතිමතුන් නිතර නිතර පැමිණෙන බව ගැමුණු කුමරුට සැලවී තිබිණි. ඒ ආරංචිය සැල වූයේ භරණ යෝධයා මගින්ය. භරණ උපන් ප්‍රදේශය කතරගමය. මාගම විසූ ගැමුණු කුමරුට හිතවත්ම මිත්‍රයා වූයේ භරණ යෝධයා ය.

ඒ මිතු දහම මත කතරගම දෙවියන්ට භාර වී සතුරු බල බිඳින්නට හැකි බව රජ කුමරුට බරණ යෝධයා දන්වා තිබේ.

අනාදිමත් කාලයක සිට ඔප් නැංවෙන්න මෙම පුද සිරිත යළිත් සක්‍රීය වී පෙරහැර උත්සවය පවත්වා වල්ලි මාතා – කඳ කුමරු දෙපළගේ සරණ මංගල්‍යය සමරමින් උපහාර දැක්වීම ඉරහඳ පවතින තාක් කල් අඛණ්ඩව ගෙන යෑම පිණිස රාජ ආඥා පැනවූයේ දුටුගැමුණු මහ රජතුමා බව කතරගම සන්නසේ සඳහන් ය. පෙරහැර උත්සවය පවත්වා දිය කැපීමේ මංගල්‍යය දක්වා වූ මේ සියලු පුද සිරිත් වල්ලිමාතා දේවාලය හා සම්බන්ධව පැවැත්වීම ඉපැරණි සිරිතයි.

සුන්දර මූර්තිය

කුමාර තන්ත්‍රයට අනුව වල්ලි කල්‍යාණ සුන්දර මූර්තිය ඉතා ජනප්‍රිය වූ ද ලස්සන වූ ද චිත්‍රයකි. ස්කන්ධ කුමාර දෙවියන්ගේ මූර්ති ගණනාවක් පිළිබඳව කුමාර තන්ත්‍රය වාර්තා කරයි. ඒ අතර දුටුවන් සිත් ගන්නා මූර්තියක් වූ වල්ලි කල්‍යාණ මූර්තියෙහි කඳකුමරු සහ වල්ලි කුමරිය ඉදිරියට පැමිණි තේවානි මාතා දෙවඟන සිය සුරතින් වල්ලි දේවියගේ නළල මැද කුංකුම තිලකය තබන්නීය.

රුහුණු කතරගම මහා දේවාලයේ සිට දෙවියන් සහිත පෙරහැර බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කොට වාහල්කඩ අසලට පැමිණෙයි. ආදිවාසී බණ්ඩිල ඇත්තන් බිම දණගසා සිට දුන්නෙන් විදින්නට සැරසෙයි. ඇත් හාමි පිට වැඩ සිටින දෙයියලා ඇත්තන්ට මෙසේ දුනුදිය ඇදීමට සැරසීමෙන් අනාවරණය වනුයේ තම නැගනිය වූ වල්ලි බැලීම සඳහා ස්කන්ධ කුමරුට ඉඩ නොදෙන බවයි. “තොරන් පොජ්ජ කඩුලු පොජ්ජ රැකුම් කරනවා” යැයි ආදිවාසීන් හඳුන්වන ඒ අවස්ථාවේදී දෙවියන්ගේ පණිවිඩය රැගෙන එන අධිකාරම් නිලමේ පවසනුයේ “තොපලාට වස්තුව දෙන්නම් නැගණිය බැලීමට අපට ඉඩ දෙන්න” යනුවෙනි. ඒ බව හඟවමින් අධිකාරම් විසින් කප්පම් පොජ්ජක් රතු කච්චියක් මත හෙලනු ලබයි.

ඉන්පසු වැදි ජනතාව එයට එකඟත්වය පවසමින් දෙයියලා ඇත්තන්ට වල්ලි බැලීම සඳහා යෑමට ඉඩ දෙති. කළ වරදට දෙවියන්ගෙන් සමාව ගැනීමක් හැටියට මේ ආදිවාසියා පෙරහරේ පස්සෙන් පස්සට ම ගමන් කරයි. දෙවියන්ට පිටුනොපා නමස්කාර කරමින් යයි.

මේ කටයුත්ත මෙහෙය වනු ලබන්නේ උනාපාන වරිගයේ කළුවා ඇත්තන්ය. එම චාරිත්‍රයෙන් පසු පෙරහර වීදි සංචාරය කරයි. ශ්‍රී ලංකාවේ පෙරහැර උත්සව අතර ඉතා පැරණි වූ ද කතරගම කඳ කුමරු සහ වල්ලි කුමරිය ප්‍රසාදයට පත් කරන්නා වූ ශාන්ති රසය, වීර රසය හා භයානක රසය යන ශාස්ත්‍රීය රසයන් දනවන සම්ප්‍රදායික උඩරට පහතරට ගැමි නර්තනවලින් ද මෙම පෙරහැර සමන්විතය. ක්‍රිස්තු පූර්ව1482 කාලයේ දී රචිත කහකුරුලු සන්දේශයෙහි මේ පෙරහරේ නැටුම් ගැයුම් පිළිබඳව පැහැදිලිව වර්ණනා කර තිබේ.

කතරගම ගෝනගංආර ප්‍රදේශයෙන් වල්ලිඅම්මා ආර ගසා ගලා බසී. සෙල්ලකතරගම දී වල්ලි ගුහාව හමුවෙයි. වැඩසිටි කන්දට යාබදව පිහිටියේ වල්ලි මලේ හෙවත් වල්ලි කන්දය. කතරගම වල්ලි මාතා ගමදී වල්ලි කන්ද ආරාමය වැඳ පුදා ගැනීමට ලැබේ. ඉපැරණි වල්ලි ගොත්ත (ගෝත්‍රය) විහාරයක් ගැන පැරැණි පත පොතෙහි සඳහන්ය. නමුත් එය කොතනක පිහිටියේ දැයි මෙතෙක් පැහැදිලි නොවේ. කඳසුරිඳු මහ පෙරහැරෙන් වඩමවන වල්ලිමාතා දේවාලය ඉදිරිපිට ඉපැරණි සියඹලා වෘක්ෂයකි. එහි තුළ ගුහාවක් පවතින බැවින් ප්‍රතිමාවක්ද ඉදිකොට රන් වැටකින් ආවරණය කර තිබේ. ලක්දිව උතුරු දිසාවෙහි ද වල්ලි නමින් හඳුන්වන බොහෝ ස්ථාන හමුවේ. මේ අනුව ප්‍රත්‍යක්ෂ වනුයේ වල්ලි මාතාවට ලක්දිව ඇති පිළිගැනීමයි.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දී ජගත් මාතාව ලෙස ඉස්මතු වූ මාතෘ වන දෙවඟන සංකල්පය මෙරට පැවති බවට පැහැදිලි උදාහරණය වල්ලිමාතා දෙවඟනයි.

චිත්‍රානන්ද අබේසේකර සූරීන් පැවසූ මේ කවියෙන් මෙම ලිපිය අවසන් කරමි.

මුහුණු සයකි අත් දොළසකි දෙවිඳු හට
හරි ලස්සනයි මයුරා පිට යනෙන විට
වල්ලී අම්මා ආදර බිරිඳ කොට
දෙවියන් වහන්සේ සැනසුණි සුවය පිට

නිමල් කුඩාතිහි
කතරගම ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ ප්‍රධාන කපු මහතා

advertistmentadvertistment
advertistmentadvertistment