ගංගාරාම පෙරහැරට නවීන තාක්‍ෂණය මුසු කර ජනතාවට නවමු අත්දැකීමක් ලබා දීලා – ජනපති

88

වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහැර මංගල්‍යයක් බවට පත්කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර මංගල්‍යයේ ඉකුත් 23 වැනිදා පැවැති සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහැරේ සමාරම්භය සනිටුහන් කළේය.

ගංගාරාම පෙරහැරට නවීන තාක්‍ෂණය මුසු කර ජනතාවට නවමු අත්දැකීමක් ලබා දීලා - ජනපති

ගංගාරාම විහාරස්ථානයේ ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. කොළඹ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඉකුත් 23 වැනිදා සහ 24 වැනිදා රාත්‍රී වීථි සංචාරය කෙරිණි. පෙරහැර සංස්කෘතික මංගල්‍යයට නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් නරඹන ජනතාවට නවමු අත්දැකීමක් එක් කිරීමට මෙවර ගංගාරාම විහාරස්ථානය කටයුතු කිරීම අගය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ගංගාරාම විහාරස්ථානය විසින් මෙවර කොළඹ නවම් පෙරහැර පවත්වනු ලබන්නේ හතළිස් පස්වෙනි වරටයි. ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගෙන් ගංගාරාම පොඩි හාමුදුරුවන් කළ ඉල්ලීමකට අනුව මෙම පෙරහැර ආරම්භ කළා. ඉන්පසුව රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙම පෙරහැර මංගල්‍යය ඉදිරියට කරගෙන එනු ලැබුවා.

මෙම වසර 45ක කාලය සැලකීමේදී අද වන විට විශාල තාක්ෂණික දියුණුවක් ඇති වී තිබෙනවා. ඩිජිටල් වෙබ් අඩවිය ඔස්සේ පෙරහැර නැරඹීමටත් මේ වන විට අවස්ථාව සැලසී තිබෙනවා. රජයේ සහ රාජ්‍ය නොවන ආයතන විශාල සංඛ්‍යාවක උදව් උපකාර මෙම පෙරහැර මංගල්‍යයට ලැබෙනවා. මීට වසර හතළිස් පහකට පෙර තිබුණ පෙරහැර සහ අද පෙරහැර සංසන්දනය කර බැලූ විට අද පෙරහැරේ තාක්ෂණික දියුණුව ඉතා ඉහළයි. බැතිමතුන්ගේ ශක්තිය එමඟින් පෙන්නුම් කරනවා. මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම මා ස්තූතිවන්ත වෙනවා.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment