කමිස දෙකයි කලිසම් දෙකයි ඉතිරි වුණ රනිල් පසුබැස්සා නම් රට කොතැනක තියේවිද

261

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන කුලියාපිටියෙදී කියයි

අගමැතිකම දාලා පලායයි කියන හැඟීමෙන් අරගලයේ සිටි පිරිස් එකතුවෙලා ජූලි 09 වැනිදා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නිවස ගිනි තිබ්බා. එතුමාට ඉතිරි වුණේ කමිස දෙකක් හා කලිසම් දෙකක් විතරක් වුණත් එදා එතුමා එසේ පසුබැස්සා නම් අද මේ රට කොතැන තියේවිද කියන එක හිතාගන්නවත් නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

සෙනසුරාදා(08) පැවති කුලියාපිටිය නගර ශාලාවේ පැවති එක්සත් ජාතික පක්‍ෂ ආසන බල මණ්ඩලයට එක්වෙමින් ඒ මහතා ඒ බැව් පැවසීය. එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

රනිල් මහත්තයා අග්‍රාමාත්‍ය ධුරයේ ඉඳගත්තෙ රට ගැන ජනතාව ගැන හිතලා. අද ජනාධිපති වූනාට පස්සෙ පෝලිම් නැවතිලා, ගෑස් මිල අඩුවෙලා. විදුලි බිලට මේ තරම් සහන කවදාවත් ලැබී නැහැ. තව ඉදිරියේදී රටට තවත් හොඳ වෙනවා. එතුමාට තිබෙන දැක්ම අන් කවර නායකයෙකුටත් නැහැ. කොරෝනාවට කළින් එතුමා කිව්වා තව අවුරුදු 3කින් මේ රට ආර්ථිකමය වශයෙන් විශාල පසුබෑමකට ලක්වන බව. අපි හිනාවෙලා ප්‍රශ්න කළා එදා එතුමාගෙන් එහෙම වෙන්නෙ කොහොමද කියලා. නමුත් ඒ විදිහටම ඒ අනාවැකිය මහපොලවේ යථාර්ථයක් වුණා. එතුමාගේ අත්දැකීම් හා දර්ශනය නිසාම තමයි මේ පියවරින් පියවර ඉදිරියට එන්නෙ. තව ප්‍රශ්න වැලක් තියනවා. ඒ හැම එකක්ම එතුමා එකින් එක ලෙහනවා. 2048 දී එතුමා ජීවතුන් අතර නැතිවේවි. ඒත් මේ සැලැස්ම ගියොත් එදාට මේ රට සංවර්ධිත රටක් වෙනවා. මේක සීඝ්‍රව ඉදිරියට යනවා විපක්‍ෂය කකුලෙන් නොඇද්දොත්.

විපක්‍ෂයට අවශ්‍ය රට අවුලවලා පුටු රැකගන්න. මොකක් හෝ යෝජනාවක් සැලැස්මක් ඉදිරිපත් කරපු ගමන් බිල්ලෝ මවලා ජනතාව පාරට ගේන්න හදනවා. ජනතාවට ඒ මොහොතේ වියයුතු නිවැරදිම දේ ක්‍රියාත්මක කරද්දිත් විපක්‍ෂය කකුලෙන් අදිනවා. බැංකු ප්‍රශ්නය මතකයිනෙ. මේ කාකුලල් කාගන්න මොහොතක නෙවෙයි රට තියෙන්නෙ. අපි හැමදෙනාම එකතුවෙලා අනාගතය වෙනුවෙන් රට ගොඩගන්න එක. ජනාධිපතිතුමා ඒ කාර්යාවලිය මනාව ක්‍රියාත්මක කරනවා.

ඊට කම්කරු හා විදේශ සබඳතා අමාත්‍ය මනූෂ නානායක්කාර, එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍ය පී. හැරිසන්, අචල ජාගොඩ යන මහත්වරුන් ඇතුලු පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගිව සිටියහ.
කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment