පොලිස් යතුරුපැදියට ගිනි තබා වෙඩි තියන්න ගිය ආබාධිත සෙබළා අල්ලයි

242

කතරගම රජමාවත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදියට ගිනි තබා පලාගොස් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිසියට වෙඩි තැබීමට තැත් කළ ආබාධිත විශ්‍රාමික යුද හමුදා සෙබළකු ගිනිඅවියක් හා ජීවඋණ්ඩ සමග කතරගම පොලිසිය විසින් ඊයේ (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 03 වන පෙළ, ගම්උදාව පාර, කතරගම ලිපිනයේ පදිංචි 38 හැවිරිදි ආබාධිත විශ්‍රාමික සෙබළෙකි.

යුක්තියේ මෙහෙයුමට අදාළව කතරගම පොලිසියේ නිලධාරීන්ට නීති විරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවකු පිළිබඳව ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් 24 වැනිදා දහවල් කතරගම රජ මාවත, 04 කණුව වැව ප්‍රදේශයට ගොස් තිබේ. වැටලීමට ගිය පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදියක් 04 කණුව වැව ආසන්නයේ නවතා සැකකරු සැඟවී සිටින ස්ථානය පරීක්ෂා කර යළි පැමිණෙන විට පොලිස් නිලධාරීන්ගේ යතුරු පැදියට කිසියම් අයකු ගිනි තබා විනාශ කර තිබේ.

සිද්ධිය පිළිබඳව පොලිසිය විමර්ශනයක් සිදුකළ අතර එහිදී අනාවරණය වී තිබුණේ යතුරු පැදියට ගිනි තබා ඇත්තේ කතරගම රජ මාවත ප්‍රදේශයේම පදිංචි විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබළකු බවයි. ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට ඊයේ අලුයම ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පළා යෑමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ

ගිනිඅවියක් හා විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ජීවඋණ්ඩයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 2007 වසරේදී යුද හමුදාවට බැඳී ආබාධිත තත්ත්වයට පත්වීමෙන් පසු 2016.04.13 දා ආබාධිත විශ්‍රාම ගන්වා ඇත. විශ්‍රාම ගැනීමෙන් පසු සැකකරු පෙදරේරුවකු ලෙස සේවය කර ඇති අතර පොලිස් යතුරුපැදියට ගිනි තැබුවේ කුමන අරමුණකින්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත. සිද්ධියට සම්බන්ධ සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි කතරගම පොලිසිය විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment