අධික උණුසුමත් සමග ඔස්‌ට්‍රේලියාවේ දරුණු ලැව් ගිනි

209

දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් හටගෙන ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔස්‌ට්‍රේලියාවේ ජනාකීර්ණම ප්‍රාන්තය වන නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල හා වයඹදිග සිඩ්නි නගරයේ දරුණු ලැව් ගිනි 30කට අධික සංඛ්‍යාවක් ඇවිලෙමින් පවතින බව වාර්තා වී තිබේ. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පමණක් දරුණු ලැව් ගිනි 33ක් අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇවිලෙමින් පවතින අතර මේ හේතුවෙන් එම ලැව් ගිනි ඇවිලෙමින් පවතින ප්‍රදේශවලින් ඉවත් වන ලෙස අදාළ ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් බලධාරීන් විසින් ඉල්ලීම් කර තිබේ. අදාළ ලැව් ගිනිවලින් 10ක් පාලනය කළ නොහැකි මට්ටමකින් පැතිර යන බව හෙළි වී තිබේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි ඇවිලෙමින් පවතින ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය පෙරේදා (06දා ) දිනයේ සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර මේ හේතුවෙන් ඇවිලෙමින් තිබෙන ඇතැම් ලැව් ගිනිවලින් නැගුනු මීටර් 10-15 (අඩි49ක්) තරම් උස් වූ ගිනිදැල් නිවීමට ගිනි නිවන හමුදා භටයන් විසින් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව වාර්තා වේ. පවතින දැඩි සුළං හේතුවෙන් බොහෝ ලැව් ගිනි ශීඝ්‍රයෙන් වෙනත් ප්‍රදේශවලට පැතිර යමින් පවතින බව වාර්තා වී තිබේ. ලැව් ගිනි හේතුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බොහෝ දේපළ විනාශ වී ගොස් ඇති අතර ‘මුඩ්ගී’ ප්‍රදේශයේ හෙක්ටයාර් 2000කට අධික භූමිභාගයක් විනාශ වී ගොස් ඇති බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment