කන්ටේනරයක සැගවී මැලේසියාවට පනින්න හැදු දෙදෙනා චීනයේදී අල්ලා ලංකාවට පිටුවහල් කරයි

393

කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැටවූ හිස් බහාලුමක (Container) සැඟවී මැලේසියාවට පලා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු චීනයේදී අත්අඩංගුවට පත් වී වසරකට පසුව එරටින් පිටුවහල් කර 02/24 දින අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබුණි.

26 හැවිරිදි මලාල් මාදි රාජේන්ද්‍රන් සහ 39 හැවිරිදි ජයකුමාර් තරුමරාසා ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙකි.

මොවුන් ඉකුත් 2023 වසරේ ජනවාරි මස 30 දින කොළඹ වරායේ සී. අයි. සී. ටී. ජැටියේ නවතා තිබූ ‘මර්ක්ස් යුනිකෝන්’ නැවට පටවා තිබූ හිස් බහාලුමක් තුළට රහසිගතව ඇතුළු වී ඇත්තේ මැලේසියාව බලා පිටත්ව යෑමටය.

එහෙත් අදාළ නැව මැලේසියාවට පැමිණි විට, මෙම බහාලුම තුළ සැඟවී සිටි මොවුන් දෙදෙනා භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා, මෙම නැවේ නාවුක බලධාරීන් මොවුන් රැගෙන තවත් රටවල් ගණනාවකට යෑමෙන් පසු අවසාන වශයෙන් චීනය වෙත පැමිණ තිබුණි.

එහිදී චීන බලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්පසුව මොවුන් දෙදෙනා එරටින් පිටුවහල් කිරීමට පියවර ගත් පසුව 02/24 දින අලුයම 05.01 ට චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 867 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබුණි.

කටුනායක ගුවන්තොටුපළ වෙත මොවුන් පැමිණීමෙන් පසුව කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ කිරුලපන ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන විත් තිබේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment