කෑගල්ල ඩිපෝවේ දෙවියෙක් …

3255

කෑගල්ල, බුලත්කොහුපිටිය මාර්ගයේ ලංගම බස් රථයක ගමන් කළ මගියකුට අයත් අමතක වී ගිය ගමන් මල්ලක ලක්ෂ හයහමාරක් පමණ වටිනා රත්‍රන් ආභරණ තොගයක් එහි නියම හිමිකරුට භාරදුන් පුවතක් ලංකා ගමනාගමන මණ්ඩලයේ කෑගල්ල ඩිපෝවෙන් වාර්තා වෙයි.

ඉකුත් 26දා උදෑසන කෑගල්ලේ සිට බුලත්කොහුපිටිය බලා ධාවනය වූ භඊ 8676 බස් රථයේ ගමන් කළ බුලත්කොහුපිටිය, උඩපොත පදිංචි කේ.ඩබ්ලිව්.ආර්. විමලසේන මහතාට අයත් ගමන් මල්ලක් එම බසයේ අමතකවී ගොස් ඇති අතර, හිමිකරු නොමැති නිසා එම මල්ල එදින එම බස් රථයේ කොන්දොස්තරවරයා වශයෙන් කටයුතු කළ එස්.එම්. ප්‍රියන්ත මහතා විසින් කෑගල්ල ඩිපෝ අධිකාරිවරයා වන ධම්මික එදිරිසිංහ මහතා දැනුවත් කර කෑගල්ල ඩිපෝ ආරක්ෂක අංශ වෙත භාරදීමට කටයුතු කර ඇත.

පසුව ඩිපෝ බලධාරීන් විසින් එම ගමන් මල්ලෙහි තිබූ දුරකථන අංකය ඔස්සේ හිමිකරු සොයාගෙන ඩිපෝවට කැඳවා එහි තිබූ රත්‍රන් ආභරණ (වළලු 2, චේන් 1, පෙන්ඩන් 2) සහිත ගමන් මල්ල කෑගල්ල පොලිසියේ නිලධාරීන් ඉදිරියේ අදාළ කොන්දොස්තරවරයා වන එස්.එම්. ප්‍රියන්ත මහතා අතින් ඩිපෝ බලධාරීන් ඉදිරියේ හිමිකරුට ලබාදීමට කටයුතු කර තිබේ. මීට පෙර අවස්ථාවක ද එස්.එම්. ප්‍රියන්ත මහතා සේවය කළ ලංගම බස් රථයක් බුලත්කොහුපිටිය බස් නැවතුමේ මගීන් සහිතව නවතා තිබියදී හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා රියැදුරු නොමැතිව ගමන් කළ අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වී සිදුවීමට ගිය මහත් විනාශයක් වළකාලීමට ද කටයුතු කර තිබේ.

බුලත්කොහුපිටිය – වසන්ත සමරවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment