සොඳුරු හිතුවක්කාරයාගේ කතා වස්තුව

285

සිය නිර්මාණ සඳහා 1991 දී ජපාන බුන්කා සම්මානය ඇතුළුව දෙස් විදෙස් සම්මාන රාශියකට හිමිකම් කියන ජයන්ත චන්ද්‍රසිරි, තමන් දකිනා සෞන්දර්යාත්මක සිහිනය එලෙසින්ම ප්‍රේක්ෂකයා හමුවේ ප්‍රතිනිර්මාණය කළහැකි වෙසෙස් නිර්මාණකරුවන් අතළොස්ස අතර පෙරගමන්කරුවකු සේ සැලකිය හැකි සුවිශේෂී නිර්මාණකරුවෙකි. ඔහු මේ වනවිටත් තම සිතෙහි මැවෙන අපූරු සිහින කන්දරාව එකින් එක එළි දැක්වීමේ සෞන්දර්යාත්මක කාරියේ අඛණ්ඩව නියැලී සිටියි

ජයන්ත චන්ද්‍රසිරි ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ කිසියම් සුවිශේෂී නිර්මාණකරුවකු ලෙස සටහන් කළයුතු වන්නේ ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය, චිත්‍රපට හා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයන් තුළ ඔහුගේ නිර්මාණ සමුච්චය ඔහුටම ආවේණික වූ අනන්‍යතාවයක් සනිටුහන් කරන නිසා පමණක් නොව ඔහු කළ නිර්මාණ එකී ක්ෂේත්‍රයන් තුළ කඩඉම් සලකුණු කළ ඒවා බවට මැදහත් විචාරකයන් හා ප්‍රේක්ෂක ජනතාව අවිවාදයෙන් පිළිගන්නා බැවිනි. ඔහු එළැඹෙන 22 වැනිදා සිය දිවිසැරියේ 64 වන ටැඹ පසු කරන අතර එදිනම “මිදුණු විශ්වය” නම් සිය සයවන සිනමා නිර්මාණය ද එළි දක්වයි. මම මේ සුවිශේෂී කලාකරුවාගේ නිර්මාණාත්මක ගමන දෙස සමීපව බලා සිටින්නෙක්මි. සුළු කලක් නොව 58 වසරක් තිස්සේ බලා සිටින්නෙමි. එසේම ඔහුගේ නිර්මාණ දිවියේ ගමන් සගයාව පැමිණෙමි. ඉතින් මම ඔහුගේ නිර්මාණ වේශය කෙමෙන් මුහුකුරා යන අන්දම ඇසින් දුටු සාක්ෂිකරුවා ද වන්නෙමි. මේ කෙටි සටහන ඒ සාක්ෂිකරුවාගේ ඇසින් දකිනා ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ දිවියේ ඇරඹුමේ සංක්ෂිප්ත කතාවයි.

මහගම් ආරච්චිගේ ජයන්ත චන්ද්‍රසිරිව මා මුලින්ම දකිනුයේ 1965 වර්ෂයේ ජනවාරි මාසයේ මුල කො/උ/බප/කැල. රාගම, හීන්කෙන්ද මහා විද්‍යාලයේ හෝඩිය පන්තියට ඇතුළත් වූ දිනයේ ය. (එකල මොන්ටිසෝරි යැයි ජාතියක් නොතිබූ අතර පළමු ශ්‍රේණියට පෙර පන්තිය හෝඩිය නම් විය.) ගල්ලෑල්ල හා ගල්කූර රෙදි බෑගයකට දමා ඊට ඇමිණූ රෙදි පටියෙන්ම එය කරේ දමාගෙන ස්වකීය පියවරුන් හා පාසලට පැමිණි අපි බාලසූරිය ගුරුතුමිය යටතට පත් වුණෙමු. එතැන් පටන් එතුමිය යටතේ අකුරු කළ අප දෙදෙනා ළබැඳි මිතුරන් බවට පත්වන්නේ අනෙක් ළමයින් මෙන් කෙළි සෙල්ලමට නොව කියවීමට ඇබ්බැහියක් ස්වභාවයෙන්ම අප දෙදෙනා තුළම පිහිටා තිබූ බැවින් බව මට සහතික වශයෙන් කිවහැක්කේය. අප හෝඩිය පන්තියෙන් පසුව පළමුවැනි පන්තිය අභිබවා එක්වරම දෙවැනි පන්තියට ද ඉන්පසු තුන්වන පන්තිය අභිබවා හතරවන පන්තියට ද වශයෙන් උසස්වීම් හෙවත් ඩබල් ප්‍රොමෝෂන් ඩබලක්ම ලබා පැමිණි කල්හි අපි හතරවන පන්තියේ සිටි ශිෂ්‍යයනට වඩා වයසින් දෙවසරක්ම බාලයන් වීමු. හතරවන පන්තියට පැමිණි කාලයේ පටන් අපි කියැවීමේ පිපාසාවෙන් පෙළුණෙමු. එහෙත්, එකල්හි මෙකල මෙන් පුස්තකාල ආදිය සුලභව නොතිබූ බැවින් ද කලාතුරකින් තිබුණත් එයින් පොත් ලබාගන්නා බරපතල ක්‍රමවේදය කුඩා අපට දුෂ්කර වූ බැවින්ද නොසංසිඳුණු අපගේ කියැවීමේ පිපාසය ඉතා උග්‍රව නැගෙන්නට විය. පාසල ඇරුණු පසු පොත් මිටිය කරේ තබාගෙන (ඒ කාලයේ පාසල් බෑග් අපට නොතිබූ අතර පොත් කිහිපය මිටියක් කොට රබර පටියක් දමා තිබිණි.) අප දෙදෙනාම එක්ව දිව යන්නේ එක්කෝ ජයන්තගේ ගෙදරට ය. නැතහොත් අපේ ගෙදරට ය. ගෙවල් දෙකෙන් එකක පිළියෙලව තිබූ සරල අල්පේච්ඡ දිවා ආහාරයෙන් සැනසෙන අප ඊ ළඟට මගට බසින්නේ පොත් සෙවීම පිණිස අහල ගම් හතක් පුරා ඇවිදීමට ය. අද මෙන් මුහුණු පොත් නැති එකල අප මෙන් වූ පොත් පිස්සෝ තරමක් සුලභව සිටියහ. පොතක් ලැබෙන්නේ හුවමාරු ක්‍රමයටය. හිලව්වට පොතක් දී මිස කාගෙන්වත් මළාට පොතක් ලබා ගැනීමට හැකි වූයේ නැත. ඩීමන් ආනන්ද, චන්ද්‍රසේන ද සිල්වා, නිමල් සේනානායක ආදීන්ගේ මාරක කතා පොත්ද ධර්ම ශ්‍රී කල්දේරා, සුසිල් ප්‍රේමරත්න, පුරවිජය පොන්සේකා, ජී. ඇස්. ප්‍රනාන්දු ආදීන්ගේ චිත්‍රකතා පොත්ද ඇතුළුව අතට හසුවන ඕනෑම පොතක් අපි පිස්සුවෙන් මෙන් කියැවීමු. වැඩිහිටියෝ අපට පොත් පිස්සන් යැයි කීවෝය. මාරක කතා පොත් අප වැනි බාලයින්ට කියැවීමට නොසුදුසු යැයි ඔවුන් සිතූ බැවින් ගෙදරදී ද පාසලේදී ද අප ඒවා කියැවූයේ තවත් පොතක් තුළ බහා හොර රහසේය. හුවමාරු කොට ලබාගන්නා පොත තව අයෙකුට දී තව පොතක්ද එය තවකෙකුට දී තව පොතක්ද ආදී ලෙසින් මහා වැලක් බවට පත්වන මෙම කියැවීමේ දාමයෙහි එක් පොතක් හෝ අස්ථානගත වුවහොත් අර එකදු පොතක්වත් ආපසු ගැනීමට නොහැකිව සිර වෙයි.

මෙසේ කල දවස් ගෙවී යද්දී මගේ මතකයේ හැටියට අප පස්වන පන්තියේ ඉගෙනුම ලබද්දී එම වසරේ ලෝක නාට්‍ය දිනය පැමිණියේය. දිනක් ගුරුතුමිය ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් පාසලේ රඟ දැක්වීම පිණිස නාට්‍යයක් ලිවිය හැක්කේ කාටදැයි ඇසුවාය. අප නාට්‍යයක් ලියනු තබා නාට්‍යයක් නරඹාවත් තිබුණේ නැත. අප පන්තියේ සියලු දෙනාම තුෂ්ණිම්භූතව ගුරුතුමිය දෙස ඔහේ බලාගෙන සිටියෙමු. ගතවූයේ ස්වල්ප වේලාවකි. මගේ පේළියේ සිටි ජයන්ත චන්ද්‍රසිරි හිමින් සැරේ අත ඔසවන බව මට ඇස් කොණින් පෙනුනි. “බොහොම හොඳයි චන්ද්‍රසිරි. හැබැයි මේ සිකුරාදා වෙනකොට ලියල ගේන්ඩ ඕනෙ” යැයි කී ගුරුතුමිය එදිනට අදාළ පාඩම පටන් ගත්තාය. මම විස්මිතව මේ යෝධයා දෙස බැලුවෙමි. ජීවිතේට නාට්‍යයක් නරඹා නැති මොහු නාට්‍යයක් ලියන්නේ කෙසේදැයි මට සිතාගත නොහැක. එදිනෙන් පසු සිකුරාදා තෙක් ඔහු අපේ සුපුරුදු පොත් සංචාරය පිණිස පැමිණියේ නැත. නමුත් ඊ ළඟ සිකුරාදා වනවිට ඔහු නාට්‍යයක් ලියාගෙන පැමිණියේය. එහි නම ‘පාර දිගේ’ විය. කුඩා කල වෙන් වූ සහෝදරයන් දෙදෙනකු පසු කලෙක එකිනෙකාට වෙනස් සමාජ තත්ත්වයන් සමග මුණ ගැසෙන අතර ඉන් මතුවන ගැටුම නාට්‍යයෙහි තේමාව විය. එම කතාව අපේ වයසේ ළමයකු අතින් රචනා වේදැයි සිතාගත නොහැකි තරමට නිර්මාණාත්මක එකක් විය. නාට්‍යය පුහුණු කිරීම ද ජයන්තටම පැවරුණ අතර ඔහු පළපුරුදු අධ්‍යක්ෂවරයකු මෙන් පිටපතෙහි සඳහන් සිද්ධි හා සංවාද පට්ට ආධුනික වූ හා කවදාවත් වේදිකා නාට්‍යයක් නරඹා නොතිබූ පන්තියේ ළමුන් යොදා ගනිමින් වේදිකාව මත පණගන්වන අයුරු බලා සිටි මට ඔහු තුළ වැඩෙමින් සිටි නිර්මාණකරුවා පළමු වරට දැකගන්නට හැකි විය. එයින් ඇරඹි ඔහුගේ නිර්මාණ දිවිය පාසල් වේදිකාව තුළ “යුග දෙකක එක මිනිහෙක්” සහ ග්‍රාමීය මට්ටමෙන් රංගගත වූ “දයා දියෙන් තෙමුණු මුහුණු” ලෙස ඉදිරියට වර්ධනය වූයේය. මේවා හැඳින්වූයේ සමාජ නාට්‍ය ලෙසිනි.

එකල කුරුකුලාව ග්‍රාමයේ කලාකාමී තරුණයන් පිරිසකගේ එකතුවෙන් අරඹා තිබූ සමගි කලාකවය නම් සංවිධානයේ අනුග්‍රහයෙන් පොල්කොටන් වේදිකාව මත රංගගත කළ “ගිගුරුම” නම් නාට්‍යය මම දකින්නේ ජයන්තගේ මුහුකුරායාම මුලින්ම සටහන් කළ නිර්මාණ කාරිය ලෙසය. ඉතාමත් ප්‍රශස්ත නිර්මාණයක් වූ එය ප්‍රසිද්ධ වේදිකාවට ද උචිත මට්ටමේ තිබූ නිර්මාණයක් විය. ඔය කාලයේ ජාතික තරුණ සේවා සභාව විසින් අභාවයට යන පාරම්පරික රූකඩ නාට්‍ය කලාව නඟා සිටුවීමේ චේතනාවෙන් සති අන්ත රූකඩ පාඨමාලාවක් ආරම්භ කරන ලද අතර ඒ සඳහා සාමාජිකයින් කිහිපදෙනකු සහභාගි කරවන ලෙසට සමගි කලාකවයට ආරාධනාවක් ලැබෙන්නේය. ඊට උනන්දුවක් දැක්වූ ජයන්ත, මා ඇතුළු දෙතුන් දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් වූ අතර එතැන් සිට සති අන්තයේ රාගමින් දුම්රියේ නැග දෙමටගොඩ (එකල එය මාලිගාවත්ත නම් විය) දුම්රිය ස්ථානයෙන් බැස 154 ගල්කිස්ස බසයේ නැගී සුදර්ශි ශාලාවට ගියෙමු. මෑණියන්ට කන්කෙඳිරිගා දිවා ආහාරය පිණිස යමක් සකසා ගන්නා අප, සන්තකව තිබූ සොච්චම් මුදල රැකගනු පිණිස බොහෝ විට ගමන් කළේ ප්‍රවේශපත්‍ර නොමැතිව හොරෙන්ය. පරණ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් වතුරෙන් පොඟවා එය තුන හතරට නැවූ බෙඩ්ෂීට් එකක් ඇතුලෙහි තබා මිටියකින් කීපවිටක් තලා පසුව ඉස්තිරික්කයකින් මැදීමෙන් ටිකට් කවුන්ටරයේ හාදයා ඩකස් ගා යකඩ අච්චුවේ ගැසීමෙන් වදිනා දින මුද්‍රාව මැකී යන බව ඒ වනවිට අපි සොයාගෙන සිටියෙමු. අවශ්‍ය විටෙක ඉදිරිපත් කිරීම සඳහා එසේ සකසාගත් රාගම.මරදාන ටිකට් සෑහෙන ප්‍රමාණයක් අප ළඟ විය. ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් හෙවත් ටික්කන්ට අසුවී දින මුද්‍රා නොමැති ටිකට් ඔවුන්ට ඉදිරිපත් කොට දිනය නොමැතිවීම අපේ වරදක් නොව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුර්වලතාවක් බව කටින් ගසා ඔප්පු කොට ඔවුන්ගෙන් ගැලවුණු අයුරු පිළිබඳ රසවත් සිද්ධි බොහෝ විය.

අපේ රූකඩ නාට්‍ය පාඨමාලාව සුදර්ශිය පිටුපස වූ කොටු දැල් ගැසූ කුඩා ශාලාවක පැවති අතර හරියට මේ වේලාවටම ප්‍රධාන ශාලාවේ වේදිකා නාට්‍ය පාඨමාලාවක්ද පැවැත්වුණි. අපි රූකඩ නාට්‍ය අධ්‍යයනය කරන අතරේ ජයන්ත අනවසරයෙන් නොහොත් හොරෙන් ප්‍රධාන ශාලාවට රිංගා හීන්සැරේම පිටුපස ආසනයක වාඩිවී එහි පවත්වන දේශනවලට සවන් දීමේ පුරුද්දක් ඇති කරගෙන සිටියේය. එමතුද නොව, මූ කොහෙන් පාත්වූයේදැයි සිතාගත නොහැකිව ඇස් උඩ හිඳුවාගත් අනෙක් පාඨමාලාලාභීන් සමග දේශකයා නියම කරන ප්‍රායෝගික අභ්‍යාසවල ද යෙදුණේය. සේනක පෙරේරා (පසුව යමුනා මාලිනී කිවිඳිය ගේ සැමියා) හා ශ්‍රියන්ත මෙන්ඩිස් ද වේදිකා නාට්‍ය පාඨමාලාවට සහභාගිවන්නන් අතර විය. එතැන් සිට රාගමින් ගමන් අරඹන අපේ නඩයට ඒ දෙදෙනා ද එකතු වූහ. කුරුකුලාවේ සිට මීටර හත්අටසියයක් දුරින් වූ රම්පිටියේ ශ්‍රියන්තලාගේ ගෙදරට පයින් පැමිණෙනා අපි, ශ්‍රියන්තත් රුසියාවේ අධ්‍යාපනය හදාරා පැමිණ ශ්‍රියන්තලාගේ ගෙදර නැවතී සිටි සේනකත් සමගින් පයින්ම රාගම දුම්රියපොළට පැමිණ අර දින මුද්‍රා නොමැති සර්වකාලීන ටිකට්පතක් උඩ සාක්කුවේ දමාගෙන සුපුරුදු හොරෙන් යෑමේ මෙහෙයුම ඇරඹීමු. උපක්‍රමශීලීබව හෝ වාසනාව නිසා හෝ දඩයක් නොකා හිරේ විලංගුවේ නොතැප අපි රූකඩ පාඨමාලාවේ අවසානයට පැමිණ තිබුණි. සහතික ප්‍රදාන අවසාන උත්සවයට අප විසින් රූකඩ නාට්‍යයක් ලියා රඟදැක්විය යුතුව තිබිණි. අපේ කණ්ඩායමේ ඒ පිළිබඳ වගකීම ජයන්තට පැවරුවෙමු. රූකඩ පාඨමාලාවට මූල්‍ය අනුග්‍රහය දැක් වූයේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය බැවින් නාට්‍යයට ඔවුන්ගේ පවුල් සැලසුම් පණිවිඩයක් ඇතුළත් කළ යුතු විය. ජයන්ත විසින් ඒ සඳහා රචනා කළ නාට්‍යයෙහි අන්තර්ගතය මෙසේ විය. මහබඹා, පෘථිවිය මවා අනතුරුව එහි අඹුසැමි යුවලක් මවා ජනගහනය පාලනය කරගනු පිණිස ඔවුන්ට ආදර්ශයක් දීමට ඔවුනට පෙනෙන ලෙස තවත් කුඩා ග්‍රහලෝකයක් මවා එහි අඹු සැමි යුවලක් හා දරු දෙදෙනකු සහිත කුඩා පවුල් ඒකකයක් මැවීය. රාජකාරි අධික මහබඹාට තමන් මැවූ පෘථිවිය ගැන සොයා බැලීම ඉන්පසුව අමතකව යන අතර කලක් ගතවෙයි. දිනක් පෘථිවිය පැත්තෙන් කුඩා දරුවන් කැලතකගේ මහා ඝෝෂාවක් ඇසෙන අතර සොයා බැලීමට අමතක වූයෙන් පෘථිවියෙහි ජනගහනය අතිරික්තව ගොස් කෙළැවී ඇතැයි සිතනා මහබඹා වහා පෘථිවියට පැමිණෙයි. එහිදී ඔහු දකින්නේ කුමක්ද? පෘථිවියේ මිනිසුන් පවුල් සංවිධාන සංගමය නමැති ආයතනයක් පිහිටුවාගෙන මනා ලෙස පවුල් සංවිධානය කොටගෙන ඇති අතර ඔවුනට ආදර්ශ පිණිස මැවූ ග්‍රහලෝකයේ ජනගහනය වේගයෙන් ඉහළ ගොස් මහා ආහාර හිඟයක් ඇතිවී පමණක් නොව සිටගෙන සිටීමටවත් ඉඩක් ඉතිරිවී නොමැති බවය. මහබඹා ආදර්ශ ග්‍රහලෝකයේ වැසියනට කියන්නේ පෘථිවියේ කුඩා රටේ මිනිසුන් පිහිටුවාගෙන ඇති පවුල් සංවිධාන සංගමයේ උපදෙස් ලබාගන්නා ලෙසය. දැන්වීම් ප්‍රචාරණ ආයතනයකට විශාල මුදලක් ගෙවාවත් ලබාගත නොහැකි එවකට හිරිමල් වියෙහි සිටි ජයන්තගේ මෙම අපූරු පරිකල්පනය පිළිබඳව පවුල් සංවිධාන බලධාරීහු පවා විශ්මයට පත්වූ බව මට මතකය.

1978 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණෙන ආචාර්ය නෝබට් ජේ. මයර් නම් ජර්මන් ජාතික මහාචාර්යවරයා විසින් පවත්වන නාට්‍ය පාඨමාලාවක් පිණිස 25 දෙනකු තෝරාගත් අතර ඒ සඳහා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයෙන් ජයන්ත ද සමත් වී තිබුණි. ශ්‍රියන්ත මෙන්ඩිස් හා කමල් අද්දරආරච්චි ද වර්තමානයේ ප්‍රමුඛ පෙළේ නාට්‍ය සංවිධායකයකු ලෙස කටයුතු කරන ජූඩ් ශ්‍රීමාල් ද තෝරාගත් කණ්ඩායමේ සිටියහ. පාඨමාලාව අවසානයේ රංගනය හැදෑරූ සිසුන් එක්ව නිර්මාණය කළ “අනේ අබ්ලික්” නාට්‍යය ජයන්තගේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගමනේ ආරම්භය ලෙස සැලකීම යුක්තියුක්තය. අවස්ථාවාදීන් අතට පත්ව දූෂණය වන කලාව පිළිබඳව නිර්මාණය කළ “සරස්වතී” ඔහුගේ පළමු වේදිකා නාට්‍යය විය. එතැන් සිට ආරම්භ වන ජයන්තගේ වේදිකා නාට්‍ය සෞන්දර්ය චාරිකාව අත්, මෝරා, ඔත්තුකාරයා, හදබිමට ගමනක් (නෙළුම් පොකුණ රඟහල විවෘත කිරීමේ අවස්ථාවට නිර්මාණය කළ) පසුකොට හංකිති දහතුන දක්වා දිවෙයි. ජයන්තගේ ටෙලි නාට්‍ය නිර්මාණ චාරිකාව ආරම්භවන්නේ 1990 දී “වෙදහාමිනේ” ටෙලි නාට්‍යයෙනි. ඔහුගේ පරිකල්පනය හැමවිටම නැවුම් හා අපූර්ව විය. ප්‍රේක්ෂකයෝ එයින් අමන්දානන්දයට පත්වූවා පමණක් නොව එය ඉහළින්ම පිළිගත්හ. ඔහුගේ නිර්මාණ ජනතාව අතරට පැතිර ගිය අතර ඉන්පසු ඒවායේ අනුකාරක නිෂ්පාදන රාශියක් ද බිහි විය. නමුත් ජයන්තගේ ආකර්ෂණීය කතා කලාවට අලගු තබන්නටවත් ඒවාට නොහැකි වූ අතර ඒවා මිනිසුන් අතරට යෑමට සමත් වූයේ නැත. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ මහිමය කියන “වෙදහාමිනේ”ගෙන් පසු අතීන්ද්‍රිය ලෝකය හා පියවි ලෝකය අතර දෝලනය වන යුවතියක් පිළිබඳව වූ “වෙස් මුහුණ” (1992) ඔහුගේ දෙවන ටෙලි නාට්‍ය නිර්මාණය විය. වැළලීගිය ඉපැරණි සටන් ක්‍රමයක් වූ අංගම්පොර පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයකින් පසු නිර්මාණය කළ “දඬුබස්නාමානය” (1995) අදටත් මතකයේ රැඳී තිබෙන හා ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ නිර්මාණයක් විය. පර්යේෂණය පිණිස සැබෑ අංගම්පොර ශිල්පියකු කෙතෙක් වෙහෙස දැරුවත් සොයා ගැනීමට නොහැකි වුවද ටෙලි නාට්‍යය විකාශය වූ පසු ගහක් ගලක් නෑර පාරම්පරික අංගම්පොර ශූරයන් හා පන්ති බිහිවූ බව නොකියා නොහැක්කේය. ඉන්පසුව ජයන්ත නිර්මාණය කළ “අකාල සන්ධ්‍යා නොහොත් කාලාත්‍රයේ තීර්ථ යාත්‍රිකයා” (1997) භාවනා ක්‍රමයක් මගින් කාලය හරහා ගමන් කරනා සටන් ශිල්පියෙකු පිළිබඳව නිර්මාණය වූ එය එතෙක් බිහි නොවූ නවමු සංකල්පයක් විය. රැජනක් සොයා පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවින් කණ්ඩායමක් පිළිබඳ වූ “රැජන” (2000) ආත්මගතව එන සුව කිරීමේ බලයක් සහිතව උපන් චරිත සතරක් පිළිබඳව වූ “සතරදෙනෙක් සෙන්පතියෝ” (2009) හා ප්‍රබල මත්ද්‍රව්‍ය මාෆියාවක් පිළිබඳව වූ “නන්නත්තාර” (2022) ඔහුගේ අනෙකුත් ටෙලි නාට්‍ය නිර්මාණ වෙයි. එක් ගීතයක් හෝ දෙකක් හැරෙන්නට තම නිර්මාණයන්හි එන ගීත රචනා කරන ලද්දේ ඔහු විසින්ම බව විශේෂයෙන් සඳහන් කළයුතු වන්නේ “දූවිල්ලෙන් සැදුනු ලියේ” ඇතුළු එම ගීත අතළොස්ස මහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින බවද සඳහන් කරමිනි.

රංගනය කලාවක් සේම විද්‍යාවක් ද වන බව පවසන ජයන්ත දිවයිනේ ප්‍රමුඛ රංගන ආචාර්යවරයකු ද වෙයි. ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතේ රංගනය හදාරන ඔහු 1990 දී ශිෂ්‍යත්වයක් ලැබ නැගෙනහිර ජර්මනියට පිටත්ව යන අතර එහිදී ආචාර්ය ක්ලවුස් ෆිඩ්ලර් යටතේ විද්‍යාත්මක රංගන කලාව හදාරන ලද්දේය. එමතුද නොව එම වර්ෂයේදීම නෝර්වේ හා ස්විඩන්හිදීද, 1991 දී අමෙරිකා එක්සත් ජනපදයේදීද රංගන ශිල්පය තවදුරටත් හදාරන ජයන්ත 1998 දී ජපානයේදී නෝ හා කබුකි නාට්‍ය කලාව පිළිබඳ විධිමත් අධ්‍යයනයක්ද ලබා ඇත්තේය. එතෙක් ප්‍රශස්ත රඟපෑමක් නොපෙන්වූ ශිල්පීන් බොහෝදෙනකු තම නිර්මාණයන්හි වැදගත් චරිත සඳහා ඇතැම්විට සහෝදර ශිල්පීන්ගේ දැඩි විරෝධය මත හිතුවක්කාර ලෙස තෝරාගැනීමෙන් අනතුරුව ජයන්තගේ අධ්‍යක්ෂණය යටතේ රඟපෑමෙන් පසු මනා ප්‍රතිභාවක් ප්‍රකට කළ අතර වර්තමානයේ ඔවුන් මහත් ජනප්‍රිය හා සම්මානලාභී රංගන ශිල්පීන් බවට පත්ව සිටින බව සඳහන් කළ යුතුය. රංගනවේදය පිළිබඳ පුළුල් දැනුමක් සමගින් තම නිර්මාණයන්හි නළුනිළියන් මෙහෙයවන ඔහුගේ නිර්මාණයක රඟපෑම බොහොමයක් රංගන ශිල්පීන්ගේ සිහිනයක්ව පවතින්නේ එය රඟපෑමක් පමණක් නොව පරිපූර්ණ රංගන පාඨමාලාවක් හැදෑරීමක් ද වන බැව් දන්නා බැවිනි. ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට සංවර්ධන අරමුදලේ දායකත්වයෙන් සිය පළමු සිනමා නිර්මාණය වූ “අග්නිදාහය” සමගින් ස්වකීය සිනමා චාරිකාව අරඹන ජයන්ත “ගරිල්ලා මාර්කටිං”, “සමනල සංධ්වනිය”, “මහරජ ගැමුණු”, “ඝරසරප” සමගින් එළැඹෙන 22 වැනිදා සිය නවතම සිනමා සිහිනය වන “මිදුණු විශ්වය” ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කරයි.

සිත්තර චිත්‍රකතා පත්‍රයේ පළ වූ “ස්පාටකස්” චිත්‍රකතාව නිර්මාණය කළ ශිල්පියා ඉන් ඉවත් වීමත් සමග එහි දිගුවක් වූ “ස්කාගස්” චිත්‍රකතාව රචනා කිරීමෙන් මල්ටිපැක්ස් ආයතනයෙන් පත්‍ර කලාවට පිවිසෙන ජයන්ත, අනුර සොලමන්ස් හා කිත්සිරි නිමල්ශාන්ත සමගින් ඉරිදා නම් විකල්ප පුවත්පත හරහා පෙරළිකාර පත්‍රකලාවේදියෙක් බවට පත්වෙයි. ඉන්පසුව දිවයින පත්‍රයට එක්වන ජයන්ත නවලිය සිනමා අතිරේකය එළි දක්වන්නේ නළුනිළි ඕපාදූප වෙනුවට සිනමාව පිළිබඳ හරවත් දැනුමක් පාඨකයන්ට තිළිණ කරමිනි. එතැන් සිට දිනපතා දිවයින පත්‍රයේ විශේෂාංග කර්‍තෘ, නියෝජ්‍ය කර්‍තෘ ආදී ලෙසින් පදවි දරන ජයන්ත ඉන් විශ්‍රාම ලබන්නේ ප්‍රධාන කර්‍තෘ ලෙසිනි.

සිය නිර්මාණ සඳහා 1991 දී ජපාන බුන්කා සම්මානය ඇතුළුව දෙස් විදෙස් සම්මාන රාශියකට හිමිකම් කියන ජයන්ත චන්ද්‍රසිරි, තමන් දකිනා සෞන්දර්යාත්මක සිහිනය එලෙසින්ම ප්‍රේක්ෂකයා හමුවේ ප්‍රතිනිර්මාණය කළහැකි වෙසෙස් නිර්මාණකරුවන් අතළොස්ස අතර පෙරගමන්කරුවකු සේ සැලකිය හැකි සුවිශේෂී නිර්මාණකරුවෙකි. ඔහු මේ වනවිටත් තම සිතෙහි මැවෙන අපූරු සිහින කන්දරාව එකින් එක එළි දැක්වීමේ සෞන්දර්යාත්මක කාරියේ අඛණ්ඩව නියැලී සිටියි. එකී සිහිනයන් ප්‍රේක්ෂකයන් හමුවේ මැවීමේදී එම සිහින ජීවමාන කරනු පිණිස සහාය අධ්‍යක්ෂවරයා ලෙස දායක වීමට මට අපහසු නොවන්නේ වැලි කෙළියේ පටන් එන ඔහුගේ සිතැඟි හඳුනා ගැනීමේ ඉව ඇති නිසාදැයි මම වරෙක සිතමි.

● නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment