ජෝෂප් පුලිට්සර් 1847 අප්‍රේල් 10 වැනි දින හංගේරියාවේ මාකේ නගරයේදී උපත ලැබීය. ඉංග්‍රීසි භාෂාව ලිවීමට හා කියවීමට පුරුදු වූ ඔහු 1867 මාර්තු 6 වැනි දින හංගේරියානු පුරවැසිභාවය අතහැර ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගත්තේය. ඇමෙරිකාවේ ප්‍රභූවරුන් හා ව්‍යවසායකයන් සමඟ මිත්‍රත්වයක් ඇතිකරගත් පුලිට්සර්, වෙහෙස මහන්සි නොබලා වැඩකර, පුවත්පත් ආයතන හිමිකරුවකු, ප්‍රකාශකයකු, මාධ්‍යවේදියකු, නීතිඥවරයකු හා දානපතිවරයකු ද වූ අතර ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමනු ලබන “පුලිට්සර් ත්‍යාගය” (Pulitzer Prize) ලොවට ලබාදුන් තැනැත්තා ද විය.

පුලිට්සර්, බංකොලොත්භාවය ලබා තිබූ “ශාන්ත ලුවිස් පෝස්ට් ඩිස්පැච්” (st Louis Post – Dispatch) නම් පුවත්පත් ආයතනය ඩොලර් 3000 කට මිලදී ගත්තේ 1878 වර්ෂයේදීය. ඔහු උදේ සිට මධ්‍යම රාත්‍රිය වනතුරුම තම පුවත්පතේ වැඩ කළේය. ඔහු රජයේ දූෂණ ගැන, හිටි හැටියේ ධනවත් වූ අය ගැන, බදු පැහැර හරින්නන් ගැන ද, සූදු ක්‍රීඩාවේ නියුතුවූවන් ගැනත්, ඔවුන්ට එරෙහිව ලියූ විමර්ශන ලිපිත් තම පුවත්පතේ පළ කළේය. මේවා ඵලදායී වූ අතර ජනතාව ඔහුගේ පුවත්පත වටා රොක් වූහ. මේ අතර පුලිට්සර්, මූල්‍ය අර්බුදයකට ලක්වී තිබූ “ද වර්ල්ඩ් (The World) පුවත්පත ද මිලදී ගෙන එය “නිව්යෝර්ක් වර්ල්ඩ්” නමින් පවත්වාගෙන ගිය අතර එහි කර්තෘත්වය මොරිල් ගොඩාර්ඩ් (Morrill Goddard) වෙත භාර දුන්නේය. මෙම පුවත්පත මගින් පෞද්ගලික අංශයේ දූෂණ, වංචා ආදිය රටට හෙළි කළේය.

පුලිට්සර් තම පුවත්පත් මගින් “කහ පුවත්පත් කලාව’‘ (Yellow Journalism) නම් නවතම න්‍යායක් ඉදිරිපත් කළේය. “කහ පුවත්පත් කලාව රටේ දූෂණ හෙළි කිරීමේ පුවත්පත් කලාවක් බවට පත් විය. එය 1909 දී ඇමෙරිකානු – ප්‍රංශ පැනමා ඇළ සමාගමේ ඩොලර් මිලියන 40 ක වංචාවක් පවා හෙළි කළ අතර වරදකරුවන් වූයේ එවකට ඇමෙරිකානු ජනපති තියඩොර් රූස්වෙල්ට් සහ බැංකුකරුවකු වූ ජේ. පී. මෝගන් ඇතුළු පිරිසකි.

පුලිට්සර් තම කහ පුවත්පත් කලාව තව තවත් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් ඒ සඳහා රටේ අවධානය දිනා ගැනීම සඳහා චිත්‍ර හා කාටූන් චිත්‍ර ඇඳීමට රිචඩ් ෆෙල්ටන් අවුට්කෝල්ට් (Richard Felton Outcault) නම් චිත්‍ර ශිල්පියාව තම පුවත්පත් සඳහා බඳවා ගත්තේය.

කහ පුවත්පත් කලාවෙන් බිහිවූ කහ ළමයා - The Yellow Kid
ජෝෂප් පුලිට්සර්
කහ පුවත්පත් කලාවෙන් බිහිවූ කහ ළමයා - The Yellow Kid
රිචඩ් ෆෙල්ටන් අවුට්කෝල්ට්

රිචඩ් ෆෙල්ටන් අවුට්කෝල්ට් උපත ලැබුවේ 1863 ජනවාරි 14 දින ඔහියෝ හිදීය. උපාධිය ලබාගැනීමෙන් පසුව ඔහු එඩිසන් රසායනාගාරයේ යාන්ත්‍රික චිත්‍ර ඇඳීමේ සහ රූපසටහන් ඇඳීමේ පූර්ණකාලීන රැකියාවක නියැළී සිටියේය. එයට අමතරව ඔහු, Street Railway Journal සහ Electrical world යන සඟරාවල තාක්ෂණික චිත්‍ර ඇඳීමේ කටයුතු ද කළේය. Judge, Life සහ Truth ඇතුළු විවිධ හාස්‍ය සඟරාවලට කාටූන් හා විකට රූප සතිපතා නිර්මාණය කළේය.

පුලිට්සර් වර්ණ මුද්‍රණ යන්ත්‍රයක් මිලදීගෙන “නිව්යෝර්ක් වර්ල්ඩ්” හි ඉරිදා අතිරේකය වර්ණයෙන් මුද්‍රණය කළේය. එහි කර්තෘ ගොඩාර්ඩ් ද ඉරිදා පුවත්පතේ පූර්ණ විකට සඟරා අතිරේකයක් පවත්වාගෙන යෑම සඳහා කාටූන් ශිල්පියකු සොයමින් සිටියේය.

මේ අතර අවුට්කෝල්ට් 1894 සැප්තැම්බර් 16 දින ප්‍රකාශයට පත් කරන ලද “Uncle Eben’s lgnorance of the city” නමින් යුත් කොටස් හයකින් යුත් විකට කතාවක් නිර්මාණය කිරීම නිසා පාඨකයන් අතර ජනප්‍රියතාවට පත්වී සිටියේය. පුවත්පත්වල විකට චිත්‍ර බැලීමට විශාල පාඨක පිරිසක් සූදානමින් සිටි අතර ලෝකයේ පුවත්පත්වල වර්ණ අතිරේක එකවරම ජනප්‍රිය විය. මෙම කාටූන් චිත්‍ර කලාව පසුකාලීනව චිත්‍රකතා භාවිතයට ද බෙහෙවින් බලපෑවේය. මේ අතර මැකාඩෙල්ගේ උපදෙස් පිට ගොඩාර්ඩ් විසින් පුලිට්සර්ගේ ද අනුදැනුම ඇතිව, අවුට්කෝල්ට් “නිව්යෝර්ක් වර්ල්ඩ්” පුවත්පත සඳහා සම්බන්ධ කර ගත් අතර අවුට්කෝල්ට්, පුලිට්සර්ගේ “කහ පුවත්පත් කලාවට” සෘජු දායකත්වයක් ලබාදීමට ද සමත් විය.

කහ පුවත්පත් කලාවෙන් බිහිවූ කහ ළමයා - The Yellow Kid

1894 වනවිට අවුට්කෝල්ට් “නිව්යෝර්ක් වර්ල්ඩ්” ඉරිදා අතිරේකයට කාටූන් නිර්මාණය කළේය. 1895 ජනවාරි 13 වැනිදා ඔහු පුවත්පතට තට්ට හිසක් සහිත වීදි දරුවකුගේ කාටූනයක් කළු – සුදු වලින් නිර්මාණය කළේය. 1895 මැයි 5 වැනිදා අවුට්කෝල්ට්” හොගන්ස් ඇලී හි සර්කස්” නමින් වර්ණ කාටූනයක් ඉදිරිපත් කළේය. එහිදී අවුට්කෝල්ට්, නගරයේ අපිරිසිදු හා අශික්ෂිත මුඩුක්කු ජීවිත වෙත අවධානය යොමු කරමින් එහි ජීවත් වූ විවිධ රස්තියාදුකාරයන්, වීදිවල සෙල්ලම් කරමින් කාලය ගතකරන බාලවයස්කාරයන්, අයාලේ යන බල්ලන්, බළලුන් ගැන තම කාටූන් මගින් ඉදිරිපත් කළේය. මේ විකට චිත්‍ර අතරින් එක් කුඩා ළමයකු බොහෝවිට කැපී පෙනුණි. ඔහුට බිලියඩ් බෝලයක් වැනි වටකුරු තට්ට හිසක් තිබිණි. යෝධ කන් දෙකක් ඔළුව දෙපසින් විය. දත් වැටි දත් දෙකක් පමණක් තිබූ යෝධ කටකින් ඔහු සමන්විත විය. මෝඩ සිනහවක් ද ඔහු වෙතින් පෙනුණි. පාවහන් පවා නොපැළඳි ඔහුගේ එකම ඇඳුම වූයේ රාත්‍රී බාච්චු කමීසයකි. “මිකී ඩුගන්” (Mickey Dugan) නම් මේ ළමයා ඉරිදා අතිරේකයේ වැඩි වශයෙන් පෙනී සිටීමට පටන් ගත්තේය. 1895 මැයි මාසයේ දෙවතාවක් ද, ජූලි මාසයේදීත්, සැප්තැම්බර් හා නොවැම්බර් මාසවලදී තුන් වතාවක් සහ දෙසැම්බරයේ දෙවරක් ද පෙනී සිටියේය.

1896 දී ඔහුගේ කාටූනය වර්ණයෙන් පළවිය. දරුවාගේ පෙනුම වෙනස් වී පළමු වතාවට 1896 ජනවාරි 5 වැනිදා ඔහුගේ රාත්‍රී කමීසය කහ පාට විය. රාත්‍රී කමීසයේ දීප්තිමත් දිලිසෙන අලංකාර කහ පැහැය චිත්‍රයේ කැපී පෙනුණි. දිලිසෙන වර්ණය පාඨකයන්ගේ ඇස් ආකර්ශනය කර මෙම තට්ට හිස සහිත ළමයා වෙත අවධානය යොමු විය. ඔහුගේ මෙම කහ පාට ඇඳුම නිසා අවුට්කෝල්ට් මෙම චරිතය “The Yellow Kid” “කහ ළමයා” නමින් නම් කළේය.

“කහ ළමයා’‘ (යෙලෝ කිඩ්) ගැන සඳහන් කරන අවුට්කෝල්ට් කියා සිටියේය….. “මා පුවත්පතේ පැවරුම් සඳහා කාලයකට පෙර මුඩුක්කු වීදිවලට යන විට, මට මෙවැනි දරුවන් නිතර මුණගැසුණි. දොරකඩින් දොරකඩට එහා මෙහා යන විටදී, අපිරිසිදු දොරකඩවල වාඩිවී සිටින ඔවුන්ව මම නිතර දුටුවෙමි. මෙම දරුවාට මම ආදරය කළෙමි. ඔහුට මිහිරි චරිතයක් හා කැපී පෙනෙන ස්වභාවයක් තිබිණි. “හොගන්ස් ඇලී” (Hogon’s Alley) නම් මනඃකල්පිත මුඩුක්කු වීදියක් පසුබිම් කරගෙන අවුට්කෝල්ට් ඉදිරිපත් කළ කාටූන් කතා මාලාවේ ප්‍රධාන චරිතය බවට “යෙලෝ කිඩ්” පත්විය. අවුට්කෝල්ට් ඔහුගේ කාටූනයන්හි විෂයයන් සොයා ගත්තේ නිව්යෝර්ක් නගරයේ මහල් නිවාසවලින් හා මුඩුක්කු ජීවිතවලිනි. එකල එම ප්‍රදේශවල ජීවත් වූ ළමුන්ගේ හිස් මුඩු කිරීමේ සිරිතක් පැවතියේ උකුණන් බෝවීම වැළැක්වීම සඳහාය. කහ ළමයාගේ හිස තට්ට හිසක් බවට පත්වූයේ ද ඒ නිසාය. එය වඩාත් තාත්ත්වික විය. මුඩුක්කුවල ජීවත් වූ ළමයි පාවහන් නොපැළඳීම නිසා “කහ ළමයාට” ද පාවහන් නොමැති විය. ඊර්ෂ්‍යාව හෝ ආත්මාර්ථකාමීත්වය “කහ ළමයා” තුළ නොවීය. මුඩුක්කුවල ජීවත් වූ අයර්ලන්ත හා අනෙකුත් සංක්‍රමණිකයන් පිළිබඳ කරුණු කාරණා “කහ ළමයා” මගින් නිරූපණය කිරීමට අවුට්කෝල්ට් උත්සාහ ගත්තේය. අවුට්කෝල්ට්ගේ මේ මනඃකල්පිත නගරයේ ජීවත් වූ අප්‍රිකානු – ඇමරිකානුවන් කෙරෙහි ද අවධානය යොමු විය. “කහ ළමයා” සමග මුඩුක්කු ළමයි කණ්ඩායමක් එකතු වී බොහෝවිට ඔවුන් මගින් උසස් සමාජයේ ක්‍රියාවන්, හැසිරීම් රටාවන්, සිදුවීම් සිදු කරන දෑ අනුකරණය කරමින් එම උසස් සමාජවල දුර්වල තැන්වලට සමච්චල් කරමින් ඔවුන්ව විවේචනය කිරීම නිතරම සිදු කරන ලදී. දූෂණ, වංචා, සමාජයෙන් තුරන් කිරීමේ “කහ පුවත්පත් කලාව” තව තවත් වර්ධනය කිරීමට මෙම “කහ ළමයා” බොහෝ ප්‍රයෝජනවත් විය. “කහ පුවත්පත් කලාවේ” ප්‍රබල සලකුණක් ලෙස සමාජ ශෝධනය සඳහා කහ ළමයා ප්‍රබල ලෙස පෙනී සිටියේය.

කහ පුවත්පත් කලාවෙන් බිහිවූ කහ ළමයා - The Yellow Kid
“හොගන්ස් ඇලී” හි “කහ ළමයා”

“කහ ළමයා” කාටූනය පැමිණීමට කලින් කාටූන්වල චරිත, කතා කරන දෙබස් චිත්‍රයට යටින් සහ උඩින් පේළියට අච්චු අකුරින් සඳහන් කර තිබිණි. අවුට්කෝල්ට්, “කහ ළමයා” කාටූනය තුළින් ප්‍රථම වතාවට දෙබස්, කාටූනයේ බැලූනයන් ඇඳ ඒවා ඇතුළේ ලියා පෙන්වා දුන්නේය. මෙම කථන බුබුළු සංකල්පය ප්‍රථම වරට හඳුන්වා දුන්නේ “කහ ළමයා’‘ කාටූනය තුළිනි. පසුකාලීනව චිත්‍රකතා භාවිතය සඳහා එම ක්‍රමය බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

“කහ ළමයා” කාටූනයේ බැලුම් බුබුළුවල විටින් විට වෙළෙඳ ලකුණු කියමන් ද සඳහන් කළේය. “කහ ළමයාගේ’‘ කහ ඇඳුමේ සැමවිටම කුමක් හෝ අදහසක්, පණිවිඩයක් ගෙනහැර පෑමට ද අවුට්කෝල්ට් උත්සාහ ගත්තේය. ඒවා සාරවත් කතාවන් විය. වැඩිකල් යෑමට මත්තෙන් “කහ ළමයා” ඔහුගේ පාඨකයන් සමග කතා කරමින් සිටියේය. ඔහුගේ රාත්‍රී ඇඳුමේ ලියා තිබූ සටහන් කියවීමට පාඨකයන් සැදී පැහැදී සිටියේය. “කහ ළමයා” මේ සතියේ කරන විකාර මොනවාදැයි දැක බලා ගැනීමට “නිව්යෝර්ක් වර්ල්ඩ්” සති අන්ත පුවත්පත එන තෙක් පාඨකයන් මගබලා සිටියේය.

මේ අතර “කහ ළමයා” කාටූනය පුවත්පත් විකිණීමේ හා වෙළෙඳ භාණ්ඩ සඳහා කොමික් චිත්‍රවල වාණිජමය ආකර්ශනය දිනා ගැනීමට සමත් වීම තුළින් විකට චිත්‍රයක් මගින් ස්ථාපිත කරන ලද පළමු චරිතය බවට අවුට්කෝල්ට්ගේ “කහ ළමයා” චරිතය පත්විය. “යෙලෝ කිඩ්” සෙල්ලම් බඩු, සිගරැට්, කුකීස් ටින්, කාන්තා අත් පංකා, බොත්තම්, රතිඤ්ඤා පැකට්, ටොෆි, චොකලට්, බෝනික්කන් ද නිපදවූ අතර බොහෝ සංදර්ශනවල “යෙලෝ කිඩ්” අනුරූප ප්‍රදර්ශනය විය. මේ අනුව “යෙලෝ කිඩ්” යනු මහ පරිමාණ වෙළෙඳ භාණ්ඩකරණයේ සාර්ථක වූ පළමු කාටූන් චරිතය ද බවට පත් විය. පසුව “The Yellow kid” නමින් ප්‍රසිද්ධ කරන ලද කාටූන් පොත් ද බෙහෙවින් ජනප්‍රිය විය.

“කහ ළමයාගේ” චරිතය ඉමහත් ජනප්‍රියතාවට පත් විය. “නිව්යෝර්ක් ජර්නල් (Newyork Journal) පුවත්පත අයත් වූයේ “විලියම් රැන්ඩොල්ෆ් හර්ස්ට්” ටය. ඔහුගේ පුවත්පතත් පුලිට්සර්ගේ “නිව්යෝර්ක් වර්ල්ඩ්” පුවත්පතත් අතර තරගකාරීත්වයක් පැවැති අතර හර්ස්ට්, පුලිට්සර්ගේ පුවත්පතේ කර්තෘ ගොඩාර්ඩ් සහ “කහ ළමයා” නිර්මාතෘ අවුට්කෝල්ට් යන දෙදෙනාම වැඩි වැටුපකට තම පුවත්පතට බඳවා ගත්තේය.

අවුට්කෝල්ට් Yellow kid හි ප්‍රකාශන හිමිකම් ලබාගැනීමේ උත්සාහයක ද නිරත වී තිබිණි. 1896 සැප්තැම්බර් 7 දා ඔහු කොන්ග්‍රස් පුස්තකාලයට අයැදුම්පතක් ඉදිරිපත් කර ඇත. නමුත් ඔහුගේ ඉල්ලීම කිසිදා ඉටු වූ බවට පැහැදිලි නැත. කොන්ග්‍රස් පුස්තකාලයේ වාර්තා පෙන්නුම් කරන්නේ අයැදුම් කිරීමේ ක්‍රියාවලියේ වැරැද්දක් හේතුවෙන් ඔහුගේ ඉල්ලීම නිල වශයෙන් ලබා නොදුන් බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනෙකුත් කලාකරුවන් සහ ප්‍රකාශකයන් විසින් Yellow kid චරිතය පුළුල් ලෙස සූරාකෑම වැළැක්වීමට ඔහුට කිසිදා නොහැකි විය.

ප්‍රකාශන හිමිකම් නිසා පුලිට්සර්ට “හොගන්ස් ඇලී” සමග “කහ ළමයා” අයිති විය. “හොගන්ස් ඇලී” සමඟ “කහ ළමයා” ඉතිරි කොටස් ඇඳීමට පුලිට්සර් “ජෝර්ජ් ලුක්ස්” නම් චිත්‍ර ශිල්පියා කුලියට ගත්තේය. අවුට්කෝල්ට්ට, “කහ ළමයා” ඇඳීම දිගටම කරගෙන යෑම සඳහා “කහ ළමයා”ගේ ස්ථානය වෙනස් කිරීමට සිදු විය. ඔහු “කහ ළමයා”ව “මැක් ෆැඩන්ගේ තට්ටු නිවාසය” නම් නව නිවහනක් සහිත කාටූනයක් “කහ ළමයා” සමග නිර්මාණය කළේය. හර්ස්ට් සහ පුලිට්සර් ඔවුන්ගේ පුවත්පත් සඳහා පාඨක සංඛ්‍යාව වැඩි කර ගැනීමට එකිනෙකා සමග තරග කළහ. “කහ ළමයාගේ” ද්වන්ධ සටන සමගින් පුවත්පත් හිමිකරුවන් ප්‍රවෘත්ති සංවේදී කිරීමේදී එකිනෙකා අබිබවා ගියේය. කතන්දර අතිශයෝක්තියට නංවා අපකීර්තියෙන්, උපහාසයෙන් පිරීගිය ඔවුන්ගේ පුවත්පත් සඟරා හැඳින්වූයේ “කහ පත්‍රිකා” හෝ “කහ සඟරා” ලෙසිනි

කහ පුවත්පත් කලාවෙන් බිහිවූ කහ ළමයා - The Yellow Kid
කථන බැලුම් සහිත “කහ ළමයා” කාටූනයක්

1898 ස්පාඤ්ඤ – ඇමෙරිකානු යුද්ධය පුපුරා යෑමත් සමග මේ සියල්ල උච්චතම අවස්ථාවට ළඟා විය. හර්ස්ට්ට, ඔහුගේ පුවත්පත යුද්ධය සඳහා ප්‍රචාරක අලෙවිසලක් ලෙසට භාවිතා කිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල විය. “Yellow Kid” හි ජනප්‍රියත්වය ද මේ කාලයේදීම නැති විය. සමහරු අනුමාන කරන්නේ ඔහුගේ කහ පැහැති රාත්‍රී කමීසය ස්පාඤ්ඤ ධජය සිහිගන්වන බැවින් සහ එකම චරිතය පුවත්පත් දෙකකම සිටීම සහ අනුකරණයන් කිරිම එම බිඳවැටීමට හේතුව බවයි.

මෙම “යෙලෝ කිඩ්” කාටූන් චරිතය වසර තුනකටත් අඩු කාලයකදී නැති වී ගියේය. “යෙලෝ කිඩ්”, “නිව්යෝර්ක් වර්ල්ඩ්” පුවත්පතේ 1897 දෙසැම්බර් 5 වැනිදා අවසන් වරට පෙනී සිටි අතර, 1898 පෙබරවාරි මස 6 වැනිදා “නිව්යෝර්ක් ජර්නල්” පුවත්පතේ පෙනී සිටියේය.

ඉන්පසු අවුට්කෝල්ට් “නිව්යෝර්ක් හෙරල්ඩ්” ප්‍රකාශනයට සම්බන්ධ වූ අතර 1902 දී ඔහුගේ දෙවන කාටූන් චරිතය වූ ‘Buster Brown’ එහි නිර්මාණය කළේය. පසුව පුවත්පත්වලින් විශ්‍රාම ගිය අවුට්කෝල්ට් වසර 10 ක කාලයක් සිතුවම් නිර්මාණයෙහි නිරත විය. සති දහයක් අසනීප තත්ත්වයෙන් සිටි අවුට්කෝල්ට් 1928 සැප්තැම්බර් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. අවුට්කෝල්ට්ගේ “කහ ළමයාගේ” උරුමය ඔහු වෙත සදාකල් පවතිනු ඇත.

රුවන් තරස්වින්

advertistmentadvertistment
advertistmentadvertistment