රඟපෑමෙන් ඈත් වෙලා නැහැ
හිත ළඟ හිනැහුනා දාල ගියේ නැහැ

දෙව්නක පෝරගේ පසුගිය කාලයේ ප්‍රේක්‍ෂකයන් අතරට ආවේ සිනමාවෙන් සහ ටෙලි නාට්‍ය කලාවෙන්. ඔන්න ආපහු දෙව්නක අලුත්ම වැඩකට ලෑස්ති වෙනවා. “මට ආදරෙයි රත්තරං” තමයි දෙව්නකගේ අලුත්ම වැඩේ. ඇත්තටම මේ වැඩේ මොකක්ද? ඒක දැනගන්න නම් දෙව්නක කියන මේ කතාව කියවලා බලන්නම වෙනවා.

දෙව්නක මොකක්ද මේ “මං ආදරෙයි රත්තරං” කියන්නේ?

ඒක මගේ අලුත්ම ගීතය. මෙහි පද රචනය අකාෂ් තාරුක පෙරේරාගෙනි.

මෙහි මුල් කොටස පද රචනය කළේ මමයි. හෂිනි වෙනුවෙන් තමයි මේ ගීතය ලිව්වේ. සංගීතය ෂෙනාල් මද්දුමගේ. හෂිනිට තමයි මේ වැඩේ සම්පූර්ණ වටිනාකම ලැබෙන්න ඕනෑ. මොකද එයා තමයි මේ ගීතයට මෙලඩි එක දාල මගේ හඬ පුහුණු කරල ගීතය ගායනා කෙරෙව්වේ. මේ ගීතය මේ මාසයේ හෝ මැයි මාසයේ මුලදී එළිදක්වනවා.

මං ආදරෙයි රත්තරං ළඟදීම එළිදක්වනවා

පසුගිය කාලයේ කළ “ආයෙ මං තනිවීලා” ගීතයට ලැබුණු ප්‍රතිචාර මොන වගේ ද?

ඒ ගීතය හෂිනි එක්ක තමයි නිර්මාණය කළේ. ඇත්තටම ඒ ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හින්දම තමයි මම නැවත සංගීතයට යොමු වුණේ. එදා ඉඳලා මම සංගීතය හදාරපු කෙනෙක් නෙමෙයි. මම රංගනය හැදෑරුවාට සංගීතය හැදෑරුවේ නැහැ. සංගීතයට මගේ කටහඬ පවා පුහුණු කළේ හෂිනි. ඊට පස්සෙ මම ප්‍රණාම් කියලත් ගීතයක් කළා. ඒ ගීතය භාෂා පහකින් තමයි නිර්මාණය කළේ. ඒ ගීතය නිර්මාණය කළෙත් මමයි, හෂිනියි අංජලි රාජ් කුමාරුයි. ඒ ගීතය සංගීතවත් කළෙත් ෂෙනාල් මද්දුමගේ.

දැන් රඟපෑමෙන් ඈත් වෙලා ද?

රඟපෑමෙන් ඈත්වෙලා නැහැ. මම අවසන් වරට රඟපෑ ‘හිත ළඟ හිනැහුණා’ නාට්‍යයෙන් පස්සෙ අධ්‍යාපන වැඩකටයුතුවලට මූලිකත්වය ලබාදුන්නේ. ඒ හින්ද මම පොඩි කාලයකට රංගනයෙන් ඈත් වුණා. ඒ හින්ද කට්ටිය හිතුවද මන්දා මම රංගනය අතහැරලා කියලා. මම රංගනය අතහැරියේ නෑ. හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණ ගමන් මම භාර ගන්නවා.

පසුගිය කාලයේ රඟපෑ නාට්‍යවලට ලැබුණු ප්‍රතිචාර?

ඇත්ත වශයෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මම ගොඩක්ම කැමැති ‘නම්බර් නයින්’ නාට්‍යයට තමයි. මම එහි රඟපෑවේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයා සමගයි. උදාරි සහ ධනංජය සමගත් එහිදී වැඩ කළා. අධ්‍යක්‍ෂණය කළේ චරිත් අබේසිංහ. මම ඒ සඳහා මෙතඩ් ඇක්ටින් කියන ශෛලිය භාවිතා කරන්න උත්සාහ කළා. අදටත් නම්බර් නයින් නාට්‍යය ගැන කට්ටිය අහනවා.

මං ආදරෙයි රත්තරං ළඟදීම එළිදක්වනවා

‘හිත ළඟ හිනැහුණා’ දාල ගියේ ඇයි?

‘හිත ළඟ හිනැහුණා’ මම දාල ගියේ නැහැ. මම ඒ නාට්‍යය භාරගන්න කොටම කිව්වා කොටස් සියයකට විතරයි රංගනයෙන් දායක වෙන්නේ කියලා. මුලදී එහි අධ්‍යක්‍ෂණ කාර්යය සිදු කළේ ධනුෂ්ක රත්නායක මහත්මයා. ධනුෂ්ක මහත්මයා කිව්වා නෑ මල්ලි අපි ටිකක් කරමු කියලා. ඔහුගේ බැඳීමට තමයි මම වැඩේ භරගත්තේ. මගේ අධ්‍යාපන කටයුතු හින්දා අන්තිමේ එයින් ඉවත් වුණේ.

දැන් කොහොමද අධ්‍යාපන වැඩකටයුතු?

අධ්‍යාපන වැඩකටයුතු කරගෙන යනවා. මේ දිනවල බෞද්ධ දර්ශනය පිළිබඳව පශ්චාත් උපාධියක් හදාරනවා. මම තවදුරටත් චිත්‍රපට අංශය පිළිබඳවත් වැඩිදුර හැදෑරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

සිනමාවට අත තියන්න ද සූදානම?

ඔව්, මම ගොඩක්ම කැමැති සිනමාවට. සිනමාවට තවම මට අලුත් ආරාධනාවක් ලැබුණේ නෑ. ඉදිරියේදී බලමු.

තරුණ කලාකරුවන්ගේ සංසදයේ වැඩකටයුතු කොහොමද?

ඇත්තටම ඒක ආරම්භ කළේ මමයි, ආකාෂ් තාරුක පෙරේරයි, විදුරවි කුඹුකගෙයි එකතු වෙලා. එම සංවිධානයෙන් අපි වැඩසටහන් කිහිපයක් කළා. මෙමගින් අපි මාර්තුවේ ජ්‍යෙෂ්ඨයන්ට සම්මාන ලබා දුන්නා. ඊට අමතරව අපි ගොඩක් බෞද්ධ වැඩ කටයුතු කළා. නත්තල් බැති ගී සංදර්ශනයකුත් ඉදිරිපත් කළා.

තරුණ කලාකරුවන්ගේ සංසදයක් පිහිටුවන්න අදහස් කළේ ඇයි?

මුලින්ම මගේ අදහස තිබුණේ අපේ කලාවට වැඩදායී පිරිසක් බිහි කරන්න ඕනෑ කියලා. කලාවට එන්න කැමති ගොඩක් පිරිසක් අපේ රටේ ඉන්නවා. ඔවුන්ට අතදීමක් වශයෙන් තමයි මෙය පිහිටුවා ගත්තේ. තව අපේ පරපුර තව දුරටත් ඉදිරියට ගන්න තමයි මට ඕනෑ වුණේ.

කලා ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?

මට හිතෙනවා මම තව නිර්මාණ කළා නම් හොඳයි කියලා. මට ලැබුණු ගොඩක් ආරාධනා මම පැහැර හැරියා. මම ඔක්කොම එකට බදාගෙන කරන්න ගත්තොත් එකක්වත් කරගන්න බැරි වෙයි කියලා හිතලයි එහෙම කළේ. ඒ හින්දා මම ගොඩක් නිර්මාණවලට බෑ කිව්වා. නමුත් මට හිතෙනවා ඒ නිර්මාණ භාර ගත්තා නම් තව පොඩ්ඩක් පොලිෂ් වෙලා රංගන ශිල්පියෙක් විදිහට මීට වඩා දුරක් යන්න තිබුණා කියලා.

නිමන්ති නැන්දගෙනුයි, ප්‍රභාත් මාමාගෙනුයි ලැබෙන සහයෝගය?

ඒ දෙන්නා තමයි පුංචි කාලයේ මාව ක්‍ෂේත්‍රයට අරගෙන ආවේ. මම මුලින්ම ක්‍ෂේත්‍රයට ආවේ පිටසක්වල කුමාරයයි පැංචෝ හතයි චිත්‍රපටයෙන්. ඊට පස්සෙ මම සිහින වසන්තයක්, ගැහැනු ළමයි කියන ටෙලි නාට්‍ය දෙකට සම්බන්ධ වුණා. නිමන්ති කියන්නේ මගේ නැන්දා.

එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

නැන්දා මාමාගේ නිර්මාණවලට ආරාධනා කරන්නේ නැති ද?

කතා කරනවා. මම ඒගොල්ලන්ගේ අන්තිමටම කළේ අහස් මාලිගා ටෙලි නාට්‍යය. ඊට පස්සෙ මං හිතන්නේ ඒගොල්ලො කරපු නිර්මාණවල මට ගැළපෙන චරිතයක් තිබුණේ නැහැ. තිබුණා නම් අනිවාර්යයෙන්ම මට කතා කරනවා.

ජයන්ත චන්ද්‍රසිරිගේ ඔබ රංගනයෙන් දායක වුණු ඝරසරප ගැනත් කතා කළොත්?

මම හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ඝරසරප චිත්‍රපටය හින්දයි ආපහු මට මිනිස්සු අතරට යන්න පුළුවන් වුණේ. අද මම වෘත්තීය රංගන ශිල්පියෙක් කියලා හඳුන්වනවා නම් ඒ එතුමාගේ ඝරසරප චිත්‍රපටය හින්දයි.

මේ වෙනකොට ඔබේ වෘත්තිය?

මේ වෙනකොට මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment