කඩවත රෙදි සාප්පුවේ සෙප්පුව සුද්ද කරලා වතුර ටැංකියේ හැංගිලා

309

සැකකරු පැය 48ක් රැඳවුම්  භාරයේ තබා ගැනීමට නියෝග

පොලිසිය විසින් සොයාගත් සොරා ගන්නා ලද මුදල්.

කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක මුදල් සේප්පුව කඩා රුපියල් දෙකෝටි හැත්තෑ දෙලක්ෂ දහනමදහසකට අධික මුදලක් කොල්ල කෑ පුද්ගලයකු එම ආයතනයේ වහළය මත පිහිටි ජලටැංකියක සැඟව සිටියදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ කඩවත පොලිසිය එක්ව 15 වැනිදා අත්අඩංගුවට ගෙන 16 වැනිදා මහර අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය හතළිස් අටක් රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.

මෙම නිමි ඇඳුම් ආයතනයේ සේවකයන් අලුත් අවුරුදු නිවාඩුවට දින කිහිපයකට ආයතනය වසා දමා තිබූ අවස්ථාවේ මෙම සැකකරු එම ආයතනයට යාබද ගොඩනැඟිල්ලක් දිගේ ඉහළට නැඟ නිමි ඇඳුම් ආයතනයේ වහළයට ගොඩවී එම වහළයෙන් ආයතනයට බැස මුදල් සෙප්පුවක් සොයා එය ග්‍රයින්ඩරයකින් කපා එහි තිබූ මුදල් මෙසේ සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.

අදාළ සැකකරු සෙප්පු බිඳීම සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු විදුලි සැපයුම් ලබා ගැනීමට වුවමනා ‘වයර් කෝඩ්’ පවා පිටතින් රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි.

14 වැනිදා ආයතනයට ඇතුළුවූ සැකකරු සිතා ඇත්තේ 18 වැනිදා දක්වා එම ආයතනය වසා ඇති බවයි. නමුත් 15 දා උදෑසන නැවත නිමි ඇඳුම් ආයතනයේ සේවකයන් ආයතනයට පැමිණීමත් සමග කලබලයට පත් සැකකරු සොරාගත් මුදල් බෑගයක දමා එම ආයතනයේ ඉහළ මාලයේ කබඩ් එකක සඟවා ඒ අසලම ඇති වෙනත් ගොඩනැඟිල්ලක ජල සැපයුම ලබාදෙන ප්ලාස්ටික් ජල ටැංකියකට බැස සැඟව සිට ඇත්තේ ආයතනයේ සේවකයන් පිටව ගිය පසු යළි මුදල් බෑගය රැගෙන එම ස්ථානයෙන් පලා යෑමේ අරමුණින් බව පොලිසිය කියයි.

ආයතනයේ සේවය සඳහා උදෑසන පැමිණි සේවක පිරිස ආයතනයේ සෙප්පුවක් කඩා සිදු කර තිබූ කලබැගෑනිය පිළිබඳව වහාම පාලන අධිකාරිය දැනුවත් කර කඩවත පොලිසිය දැනුවත් කිරීමෙන් පසු කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ කැලණිය දූෂණ හා අපරාධ මර්දන අංශයේ නිලධාරීන් පැමිණ නිමි ඇඳුම් ආයතනයේ සිදු කළ මූලික විමර්ශනවලින් පසු එම ආයතනය ආසන්නයේම ඇති වෙනත් ගොඩනැඟිල්ලක ජල ටැංකියක සැඟව සිටි සැකකරු එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් සඟවා තිබූ මුදල් බෑගය පොලිසිය විසින් සොයාගෙන ඇත.

කුරුණෑගල ප්‍රාදේශයේ පදිංචි වයස අවුරුදු 32ක විවාහක පුද්ගලයකු වන අදාළ සැකකරු රාගම, එf`ඩ්රමුල්ල ප්‍රදේශයේ සිය බිරිඳගේ නිවසේ සිට පැමිණ මෙම මුදල් සොරකම සිදු කර ඇති බවත් මෙම සැකකරු කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය බැංකුවක් කඩා මුදල් සොරකම් කිරීමේ වරදට

බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණ සතියක් ඇතුළත නිමි ඇඳුම් ආයතනයේ මුදල් සොරකම සිදුකර තිබූ බවත් පොලිසිය පවසයි.

කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ගමගේ, උප පොලිස් පරීක්ෂකවරුන් වන දෙහිදෙණිය, ප්‍රේමසිරි, සැරයන් (60689) රණසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (84427) චතුරංග, (77930) ගයාන්, (85816) ප්‍රනාන්දු, (32392) කසුන්, (92476) දුණුකාර, පොලිස් රියැදුරු (88786) කුමාර යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ. අදාළ සැකකරු ඇතුළු නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිසිය වෙත භාරදී ඇත.

කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා, අපරාධ අංශයේ ස්ථානාධිපති නිරෝෂන් ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරති. සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කැලණිය මංගලා මදුරප්පෙරුම, බියගම – සුදත් පුබුදු කීර්ති, දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. එම්. විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment