පාරේ පානි පූරි විකුණූ ජයිස්වාල් මුම්බායි පිටියේ වීරයා වෙයි

622

පානි පූරි ඉන්දියාවේ ජනප්‍රිය ආහාරයකි. පානි යනු ජලයයි. පූරි හදන්නට අර්තාපල්, කඩල, මිරිස් කුඩු, ලූනු ආදී යොදා ගනී. ඉහත කී ජලය රස කළ ජලයකි. දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයන් පානි පූරිවල රස හඳුනනවා ඇත. විශේෂයෙන් එය වීදි ආහාරයකි. වීදි ආශ්‍රිතව හදන පානි පූරි කරත්ත දෙක තුනක් සාංචි විහාරය අසලට ද පැමිණීම සුලබය. එය පැසුණු ලොවි ගෙඩියකට වඩා විශාලය. මැංගුස් ගෙඩියක් තරම් නොවේ. කන කෙනා එක වරකට ඒවා දහයක් විතර කන්නේය.

පාරේ පානි පූරි විකුණූ ජයිස්වාල් මුම්බායි පිටියේ වීරයා වෙයි

එක පාරට පානි පූරි රස මතක් වුණේ ඇයි?

ඒ තරුණ ක්‍රීඩකයකු නිසාය. ඔහු යශස්වි ජයිස්වාල්ය. පෙරේදා රාත්‍රී පැවැති අයිපීඑල් තරගයේදී මුම්බායි ක්‍රීඩකයන්ගේ ගමට ගොස් ඔවුන්ගේ කනට ගැසූවා සේ පන්දු 62 කදී ලකුණු 124 ක් ලබාගත් ජයිස්වාල් ද කලෙක පානි පූරි හදා විකුණා තිබේ. ජයිස්වාල්ට පෙරද එවැනි දුක්ඛිත ජීවිතයක් ගත කළ අයකු මෙවර අයිපීඑල් පිටියේදී හමුවිය. ඒ රිංකු සිංග් ය. ඔහු කළේ ගෑස් සිලින්ඩර් කර ගැසීමය. ජයිස්වාල් ලකුණු 124 වාර්තා කළේ මුම්බායිහි ඔවුන්ටම අයිති සුප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේදීය. කැමරන් ග්‍රීන්, ජොෆ්රා ආචර්, පියුස් චව්ලා වැනි අය කොපමණ පන්දු යැව්වත් පෙරේදා දිනයේදී ජයිස්වාල්ව නතර කරන්නට ඔවුන්ට නොහැකි වුණි. හතරේ පහර 16 කි. හයේ පහර 8 කි. මුම්බායි පිටිය ජයිස්වාල් නිසා එකම ලකුණු සැණකෙළියකි.

වරෙක ජයිස්වාල් රදේශ් හි භාදෝහි සිට මුම්බායි වෙත මයිඩාන්හි ක්‍රිකට් පුහුණුව ලැබීම සඳහා ගියේය. එහිදී ඔහු කල්බාදේවි ප්‍රදේශයේ වෙළඳසැලක මුදලට වැඩ කළේය. ඒ කිරි අලෙවිසැලකය. කෙසේ හෝ ඔහුව ඉන් ඉවත් කෙරිණි. ඉන් පසුව ජයිස්වාල්ගේ ජීවිතය ගෙවුනේ කූඩාරමක් හෙවත් ටෙන්ට් එකක සෙවණ ලබමිනි. වසර 3කට ආසන්න කාලයක් ජයිස්වාල්ගේ ජීවිතය ගත වුණේ එම ටෙන්ට් එකේය. වියහියදම් සරි වුණේ පානි පූරි විකිණීමෙනි. මුම්බායි සහ යූපී අතර රංජි කුසලාන අවසන් පූර්ව වටයට පෙර ජයිස්වාල් ඒ බව ප්‍රකාශ කර තිබුණි. ඔහුට ඒ පිළිබඳව ඇත්තේ මෙවැනි මතකයකි.

“මම තාමත් හිතන්නේ එහෙමමයි. මම මගේ ජීවිතයේ අසාමාන්‍ය වෙනස්කම් කිසිවක් කර නැහැ. මම යන්නෙත් නැහැ. මට අවශ්‍ය මම මෙතෙක් කළ ආකාරයටම ඉදිරියට යන්න. මම දන්නවා ඔබට අවශ්‍ය දේ සාක්ෂාත් කර ගැනීමට කොපමණ මහන්සියක් සහ කැපවීමක් අවශ්‍යද කියල. මම බොහෝ ආශීර්වාද ලද්දෙකි. ඔබට ස්තුතියි, දෙවියනි, සහ ක්‍රිකට් ඔබට ස්තූතියි. බැරෑරුම් ලෙස,” ජයිස්වාල් පැවසීය.

දැන් ජයිස්වාල්ට නැවත පානි පූරි විකුණන්නට අවැසි වනු නැත. ජයිස්වාල් නියෝජනය කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර මහතා පවසන්නේ ජයිස්වාල්ගේ දක්ෂතා තව නොබෝ කලකින් ඔහු ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු වනු ඇති බවයි.

“ ඔහු ඉතා ඉක්මනින් ඉගෙන ගන්නවා. පුදුම උනන්දුවක් ඔහුට ක්‍රීඩාව පිළිබඳව තිබෙන්නේ. පුහුණු සැසියට අමතරවත් ඔහු පිතිකරණ පුහුණුවේ නිරත වෙනවා. අයිපීඑල් පිටියට පමණක් නොවේ. තව නොබෝ කලකින් ඔහු ඉන්දීය කණ්ඩායමටත් වටිනා ක්‍රීඩකයකු වේවි.”

ලෝකයේ හැම රටකම සුපිරි පිතිකරුවන් සටනට බසින අයිපීඑල් පිටියේ මේ වන විට වැඩිම ලකුණු ලාභියා මේ ජයිස්වාල් ය. ඔහු ඉනිම් 9 ක් තුළ ලකුණු 428 ක් රැස් කර ඇත. ඊළඟට වැඩිම ලකුණු ලාභීන් වන ෆැෆ් ඩුප්ලෙසි සහ ඩෙවොන් කොන්වේ ද ලකුණු 400 ඉක්මවා ඇත. එහෙත් ජයිස්වාල්ගේ වයස තවමත් අවුරුදු 21කි. ඩුප්ලෙසි 39 හැවිරිදි වීමට ආසන්නයේ ය. කෝලි ලා, ශර්මලා ජයිස්වාල්ගේ ලකුණු මට්ටම අසලකවත් නැත.

පෙරේදා ජයිස්වාල්ගේ ලකුණු 124 ට පසුව ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ නායක ජොස් බට්ලර් ලබා ගත් ලකුණු 18 ය. රාජස්ථාන් කණ්ඩායමේ මුළු ලකුණු එකතුව

212 කි. ජයිස්වාල් ඒ ලකුණු සංඛ්‍යාවෙන් 124 කටම හිමිකම් කීවේ කණ්ඩායමේ අඩකටත් වඩා ලකුණු ලබමිනි. වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ජයිස්වාල් ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් වැඩිම ලකුණු ලාභියා ද වූයේය.

පිටින් පේන තරම් දෙයක් පානි පූරි ඇතුළේ නැත. ඇඟිල්ලෙන් ඇන්න විට එය ඇතුළට යයි. පිටත ආවරණය කඩල, අර්තාපල් ලූනූ, මිරිස් කුඩු ආදී දේවලින් සැකසුණු මිශ්‍රණයකින් පෝෂණය වී ඇත. එහෙත් පානි පූරි විකුණූ ජයිස්වාල් නම් හිස් මිනිසකු නොවනු ඇත. ඔහු හිස් අවකාශයක බිහි වූ තරුවකි. ඔහුගෙන් ඉන්දියාවට අනාගතයේදී ගන්නට ඇති වැඩ එමට වනු ඇත.
කුෂාන්

advertistmentadvertistment
advertistmentadvertistment