අලුත් නම යටතේ එන පැරණි මගෝඩිකම

896

තියෙන කරදර මදිවාට මැලේරියාවත්, ඩෙංගු උණත්, මී උණත් ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන්ගෙන තිබේ. IMF ණය වාරිකයේ පළමුවන කොටස ලැබෙනවාත් එක්කම සොබාදහම අප සම්බන්ධයෙන් මේ ආකාරයෙන් හැසිරෙන්නේ නම් එය විශාල වරදකි. ඒ අස්සේ කොරෝනා වෛරසයද යළි පැතිර යන බව කියති. කොවිඩ් 19 ට අයත් අලුත්ම වෛරස් ස්වරූපයක් මීට දෙසතියකට පමණ පෙර ඉන්දියාවේදී එළි බැස්සේය. එය ලංකාවට නොඑව්වොත් ලොකු අසාධාරණයක් වනු ඇතැයි ස්වභාවධර්මයා කල්පනා කරනු ඇති. කොරෝනා වසංගතය නිසා අපේ රටට කෙලවෙලාම ගිය අයුරු දන්නේ මේ රටේ මහ බැංකුවත් එදිනෙදා වේල පිරිමසාගෙන කන ජනතාවත් පමණි. මහ බැංකුව ඒ බව දන්නේ සංඛ්‍යාත්මක දත්ත වලිනි. එදා වේල ජනතාව ඒ බව දන්නේ අත්දැකීමෙනි. මැලේරියාව යනු ලංකාවෙන් තුරන් කර දමන ලද උණ රෝගයකි. ලංකාව විශාල වන ගහනයක්ව තිබූ යටත් විජිත සමයේදී මැලේරියාව පවුලේ සාමාජිකයකු මෙන් මේ රටේ ජනතාව සමග ජීවත් විය. ජනගහන පාලනයටද එය දායක වූයේ මැලේරියාව දිගින් දිගටම තිබුණොත් රෝගියා මියයන බැවිනි. ලාදුරු යනු ලෝකයෙන් තුරන් කරන ලද රෝගයකි. එහෙත් පසුගිය දිනවලදී ලංකාවේ ඇතැම් තැන්වලින් ලාදුරු මතුවිය. සාමාන්‍යයෙන් සෑම වැහි කාලයකට පසුවම වසංගත රෝග පැතිරීම නිශ්චිත කාරණයකි. මී උණ හැදුන විට රෝගියාගේ මරණය සිදුනොවන්නේ ඉතාම කලාතුරකින්ය. ලංකාව ගොඩඑන්නට හදන හැම මොහොතකම මොකක් හෝ මළ හෝන්තුවක් ඉදිරියට පැන එම ගමන වළක්වා දමයි. කොවිඩ් නොව මොන ලෙඩේ පැතිරුණත් මෙවර නම් රට නොවැසිය යුතුය. රට වසන්නැයි කෙඳිරි ගාන දොස්තර වසංගතය මේ දිනවල නැත. හැබැයි රට වසන්නැයි හඬ නැගු සෞඛ්‍ය පරීක්ෂක වසංගතය එහෙමම තිබේ. හදිසියක් වුණොත් මේ අයට ටොකු දෙකක් දී නිහඬ කරවීම ජනතාව භාරගත යුතුය.

ලෙඩ රෝග වසංගත යනු ලංකාවට අමුතු දෙයක් නොවේ. ඉන්දියාවට හැදෙන හැම ලෙඩක්ම ලංකාවටද හැදෙන්නේ දෙරට අතර පවතින සහෝදර පදනමිනි. ඉන්දියාවේ කිසියම් පළාතක භූමි කම්පාවක් සිදුවුණත් එය ලංකාවටද ඉතා හොඳින් දැනෙන්නේ මේ කියන සහෝදර පදනම නිසාය. එහෙත් අද අප කතා කරන්නට කල්පනා කළේ ඉපැරණි ඉන්දු ලංකා සහෝදරත්වයේ වෛරස් සහ බැක්ටීරියා සම්බන්ධය ගැන නොව අපේ රටේ සමෘද්ධි දීමනාව සම්බන්ධයෙන් කෝපා කමිටුවේදී හෙළිවූ කරුණු කිහිපයක් ගැනය. දැනට සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල් වලින් 33% ක් හෙවත් පවුල් හාර ලක්ෂ හතළිස් නවදාස් හැත්තෑ නවයක්ම එම සහනාධාරය ලැබීමට සුදුසුකම් නැති පවුල් බව හෙළිවී තිබේ. මෙය තනිකරම තාක්ෂණික දෝෂයකි. සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු පවුල් හරියාකාරව නිරාකරණය කරගැනීම සඳහා අපට වැඩපිළිවෙළක් නැත. අප දන්නා පරිදි මේ රටේ සමෘද්ධි දීමනාව ක්‍රියාත්මක වන්නේ දේශපාලනඥයා සමෘද්ධි නිලධාරියා සහ ග්‍රාමසේවක පදනම් කරගෙනය. මේ තුන්දෙනාගෙන් දේශපාලනඥයා යනු බොහෝ අවස්ථාවලදී මැටි මෝලෙකි. සමෘද්ධි නිලධාරියා සහ ග්‍රාම නිලධාරියා කරන්නේ ඉහත සඳහන් මැටි මෝලාගෙන් මැටි ලබාගෙන ඒවා බෝල කර කර ඉඳීමය. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල කසිප්පු මුදලාලිටත් සමෘද්ධි දීමනාව ලැබේ. එයට හේතුව කසිප්පු මුදලාලි නිසි හඳුනාගැනීමක් නැති, ආදායම් බදු නොගෙවන, තම නිෂ්පාදන වෙනුවෙන් Showroom එකක් පවත්වාගෙන යන කෙනකු නොවීමය. ඔහුගේ රැකියාවට නිසි පිළිගැනීමක් තිබුණේ නම් ඒ සඳහා tax ගෙවිය යුතුය. ඔහුට Showroom එකක් තිබුණේ නම් එයටද tax ගෙවිය යුතුය. කසිප්පු මුදලාලිට මූල්‍ය සමාජය තුළ නිසි පිළිගැනීමක් ලැබෙන්නේ නිසි බදු ගෙව්වොත් පමණි. ඔහු බදු නොගෙවන තාක් කල්ද, රාජ්‍යය විසින් පිළිගනු නොලබන රැකියාවක නියුතුවීම නිසාද සමෘද්ධි නිලධාරියා සහ ග්‍රාම නිලධාරියාට සිදුවන්නේ රස්සාවක් නැති අපතයකු ලෙස ඔහු හඳුනාගැනීමටය. රස්සාවක් නැති අපතයකුට ස්ථිර වශයෙන්ම සමෘද්ධිය හිමිය. හැබැයි මේ කියන කසිප්පු මුදලාලි ලබන ආදායමෙන් 1% වත් නොලබන ඇතැම් බුලත් විට කඩකාරයන්ට සමෘද්ධිය ලැබෙන්නේ නැත. එයට හේතු කිහිපයක් තිබීමට පුළුවන. එක්කෝ බුලත්විට මුදලාලි සමග ආරවුලක් ග්‍රාමසේවකට තිබේ. එබැවින් ග්‍රාම සේවක සමෘද්ධි ලාභීයත්වය සඳහා බුලත් මුදලාලි නිර්දේශ නොකරයි. එහෙමත් නැත්නම් සමෘද්ධි නිලධාරියාට බුලත් විටකාරයා සමග ආරවුලක් තිබීමටද පුළුවන. එවිටද බුලත්විට කාරයාගේ සමෘද්ධි දීමනාවට කෙලවේ. බුලත්කාරයා සමග පළාතේ දේශපාලනඥයා අමනාප නම් තත්ත්වය ඉතාම භයානක වනු ඇත. එවිට බුලත් කාරයාට පමණක් නොව ඔහුගේ නෑදෑ හිතවතුන්ටවත් සමෘද්ධි දීමනාව නොලැබේ. මේ රටේ ඇති එකා සහ නැති එකා හඳුනාගැනීම ඉතා දුෂ්කරය. නැති එකා ලෙස පෙනී සිටින එකා ඇතැම් විට සල්ලි පොලියට දීමද සිදුකරයි. මේ පට්ට හොරුන් හඳුනාගෙන සමෘද්ධි දීමනාව ඒ සඳහා වැඩිම සුදුසුකම් දරන අය වෙත යෑම වැළැක්වෙන්නේ සමෘද්ධිය අවශ්‍යය අය සහ සමෘද්ධිය අවශ්‍යය නැති අය වෙන්කර ගැනීමේ විගණන ක්‍රමයක් අපට නැති බැවිනි. රටේ සමෘද්ධි ලාභීන්ගෙන් 33% ක් ඒ සඳහා සුදුසකම් නැති අය නම් සිදුවී ඇති ව්‍යසනය විශාලය. එනම් බඩගින්නේ නොසිටින 33% කට වැඩිපුර ආහාර ලැබීමත් බඩගින්නේ සිටින 33% ට කිසිසේත්ම ආහාර නොලැබීමත්ය. මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට නම් අපේ රටේ සමෘද්ධි ව්‍යාපාරය විශාල විනිවිදභාවයක් සහිත ව්‍යාපෘතියක් බවට පත්කළ යුතුය. මෙවැනි විනිවිදභාවයක් ඇති කළොත් සමෘද්ධි ව්‍යාපාරය තුළ සැඟවී නොයෙක් මගෝඩිකම් කරන දේශපාලනඥයන්ද රජයේ නිලධාරීන්ද හඳුනාගැනීමේ අවස්ථාව අපට ලැබෙනවා ඇත.

සමෘද්ධි දීමනාව යනු හාල් පොතේ ප්‍රක්ෂේපනයකි. මෙයට අවුරුදු හැට හැත්තෑවකට පෙර මේ රටේ සිටින දිළිඳු ජනයා වෙනුවෙන් හාල් කූපන් පොත් ක්‍රමයක් හඳුන්වාදී තිබිණ. 1977 දී යූ.එන්.පී. ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු හාල් පොත තිබූ තැනට ජන සවිය නමැති ව්‍යාපාරයක් ආදේශ විය. ජනසවියෙහි අරමුණ වූයේ එදා වේල කන්න නැති දුගී ජනයා ආණ්ඩුවේ ආධාර මුදලින් කෙළින් කර තබාගැනීමය. 1994 දී චන්ද්‍රිකා බලයට පැමිණි පසු ජනසවිය ව්‍යාපාරය සමෘද්ධිය බවට පත්විය. අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ කොතරම් අලුත් නම් තැබුවත් ඒ නමින් ඇති වැඩේ පරණ වැඩේම නම් කිසිදු ප්‍රයෝජනයක් නැති බවය. සමහරවිට මේ විෂය ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට ඉදිරියේදී අපට ඉඩ ලැබෙනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment