ලක් අම්මගේ වැඩ

1341

ජල බිල ඉහළ නැග ඇත. ඒ ගැන සාකච්ඡා කිරීමට කලින් උමරා සිංහවංශ මහත්මියගේ “ශ්‍රී ලංකා මහතා” හෙවත් Mr. Ceylon ගැන නැවත වතාවක් ඉතා සුළුවට සාකච්ඡා කරනු ලැබේ. උමාරා සිංහවංශගේ හඬ අසමසම ය. දෛනික අභ්‍යාසවලින් හැඩ කරන ලද ඒ හඬ හා සමාන තවත් හඬක් ඇත්නම් ඒ උමාරියා සිංහවංශ ට පමණි. උමාරාගේ නැගණිය වූ උමාරියා ලක් මාතාව විසින් ප්‍රසූත කරන ලද ඉතාම දක්ෂ ගායිකාවකි. මේ දරු ප්‍රසූතියේදී ලක් මාතාවට විශේෂ අමාරුවක් හටගත් බව දැනගැනීමට නැත. ජාතික ගීය පිළිබඳ බාල්දිය තම හිස මතට වැටීමෙන් පසු උමාරා සිංහවංශ සිය ෆේස්බුක් ගිණුම හරහා රට වැසියන්ගෙන් යම් ප්‍රමාණයක සමාවක් ඉල්ලා තිබේ. එය හෘදයාංගම මට්ටමේ සමාව ඉල්ලීමක් නොවුණද official මට්ටමේ සමාව ඉල්ලීමක් වූ බැවින් අපට හිත හදාගැනීමට පුළුවන. උමාරා අක්කා එසේ සමාව ඉල්ලන අතර උමාරියා නංගී ස්වකීය face book account එක හරහා ගේම ඉල්ලා ඇත. ජාතික ගීයේ ප්‍රශ්නයට වැඩි දේවල් මේ රටේ නැත්දැයි ඇය විමසා තිබේ. උමාරා සිංහවංශ වන තම සහෝදරිය රට නියෝජනය කරමින් සම්මාන රාශියක් දිනා ඇති බැවින් ඒ ගැන විමසන්නේ නැත්තේ මන්දැයි උමාරියා අසා ඇත. මෙය නොම්මර එකේ ගොන් කතාවකි. උමාරා සම්මාන දිනූ අවස්ථාවල ජනමාධ්‍යය සහ වෙනත් සිවිල් කොටස් ඒ ගැන විමසන්නට ඇති. එසේ නැතුව ඒ සම්මාන ගැන පොලිසියෙන් ප්‍රශ්න කරන්නේ නැත. අක්කා සම්මාන කොතරම් දිනුවත් ඇය දැන හෝ නොදැන ඇය අතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩී ඇත්නම් ඊට හිලව්වට සම්මාන ටික ඉදිරිපත් කිරීමට නොහැක. රොමාන් පොලාන්ස්කි යනු ප්‍රංශ නව රැල්ල නමැති සිනමා සම්ප්‍රදායේ පීතෘවරයෙකි. ලංකාවේ සම්මානනීය සිනමාකරුවන් වූ ධර්මසේන පතිරාජ, සුගතපාල සෙනරත් යාපා යනාදීහුද මේ කියන ප්‍රංශ නව රැල්ලේ දරුවෝ වෙති. ස්වකීය චිත්‍රපටවලට සම්මාන පිට සම්මාන දිනූ රොමාන් පොලාන්ස්කි දිනක් නව යොවුන් දැරියක් දූෂණය කළේය. මෙහිදී ඔහු දිනූ චිත්‍රපට සම්මාන පැත්තකට දැමූ පොලිසිය ඔහු අල්ලා අධිකරණයට ඉදිරිපත් කර ඊට අදාළ බාල වයස්කාර ස්ත්‍රී දූෂණයකට අදාළ සිර දඬුවම් ඔහුට ලබා දුන්නේය. අන්තිමට කොල්ලා අවුරුදු ගණනාවක්ම හිරේ පරිප්පු කා ගෙදර ආවේය. නොබෙල් සම්මාන ලාභියෙක් කාට හෝ පිහියෙන් ඇන මැරුවා යැයි සිතමු. එවිට මිනීමරුවා අත්අඩංගුවට ගැනීමේදී නොබෙල් සම්මානය ගැන සලකනු නොලැබේ. එබැවින් උමාරාගේ ජාතික ගී ප්‍රශ්නයේදී ඇගේ සම්මාන ගැන කෙනෙක් ප්‍රශ්න කරත් නම් ඔහු ස්ථිර වශයෙන්ම පිස්සෙකි. එබැවින් සිංහවංශ නැගෙණියද අන් අයගේ සිවිල් අයිතිවාසිකම්වලට අභියෝග නොකර කල්පනාවෙන් ජීවත් විය යුතුය.

ජල බිල නැග තිබේ. පෙට්‍රල් මිලද ඊයේ පෙරේදා ලීටරය රුපියල් 20 කින් ඉහළ නැග්ගේය.

විදුලි බල මණ්ඩලය අවස්ථා දෙකකදී විදුලි බිල නංවා ඇති බවත් ඒ අවස්ථා දෙකේදීම ජල බිල වැඩි නොකළ බවත් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය කියයි. විදුලි බිල වැඩිවීම නිමිත්තෙන් ජල බිල වැඩි නොකළාට වෙනත් අවස්ථා කිහිපයකදීම මේ රටේ වතුර සම්පාදකයෝ ජල බිල වැඩිකොට ඇත්තාහ. මෙවර ජල බිල වැඩිකර ඇති පිළිවෙළ අනුව අඩු ආදායම්ලාභීන්ට ප්‍රශ්නයක් වී නැත. එහෙත් වැඩි ආදායම් ලාභීන්ට එමගින් පොලු පහරක් වැදී ඇත. ජලය යනු මිනිස් ජීවිතයට බලපාන ප්‍රධානතම සාධකය වේ. බොන ජලය යනු කන කෑම හා සමානවම අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. මේ රටේ මධ්‍යම පන්තික ජනතාව මේ දිනවල සිටින්නේ ඉතාම අමාරුවෙනි. සමහරකුට සියදිවි නසාගැනීම සඳහා මී පාසානම් ටිකක් මිලට ගැනීමටවත් සල්ලි නැත. ජල බිල වැඩි කිරීම අඩු ආදායම්ලාභියාට සහ සමෘද්ධිලාභියාට නොදැනුනාට මධ්‍යම පන්තික ජනතාවට සෑහෙන තරම් ලොකුවට දැනෙනවා ඇත. මේ රටේ විශාල මධ්‍යම පන්තියක් තිබේ. ඊට යටින්, මධ්‍යම පන්තිය තරම් විශාල නොවූ දිළිඳු පන්තියක්ද, මධ්‍යම පන්තියට උඩින් ඉතා කුඩා ධනපති පන්තියක්ද ඇත. සාමාන්‍යයෙන් මේ රටේ ඉහළ සමාජ පරිසරයක් ඇති ජනයා පාවිච්චි කරන්නේ bottle water ය. ඒ නිසා ඔවුනට ජල බිලේ නැගීම නොදැනේ. එහෙත් මේ රටේ සිටින විශාල මධ්‍යම පන්තියට නම් ජල බිල නංවා ගහන ලද ගැහිල්ල ඉතාම දරුණුවට දැනෙනවා ඇත. ඒ අනුව ජල බිල පහත හෙළීමට හෝ මධ්‍යම පන්තිය අතට වැඩි මිලක් එන පරිදි කටයුතු කිරීම හෝ ආණ්ඩුව මගින් කළ යුතුය. පසුගිය දිනවල ඉන්ධන මිලද නැංගේය. ඒ ගැන මේ මොහොතේදීත් කතා කරනු ලැබේ. ඉන්ධන සහ ජලය යනු දෛනික ජීවිතයේ පැවැත්මට දැඩිව බලපාන සාධකයකි. අපගේ කල්පනාවට අනුව නම් ජල බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් විය යුතුය.

රටේ ජීවන වියදම දරුණුවටම ඉහළ ගොස් තිබේ. ජනයා අතට තවමත් වැඩි මුදල් එන්නේ නැත. එනම් ජීවන වියදම හා සැසඳෙන ආදායමක් ඔවුන්ට ලැබෙන්නේ නැත. මෙය මේ ආණ්ඩුවේ වරද නොව නිදහසින් පසු මේ රටේ පහළ වූ සියලු ආණ්ඩුවල වැරදි සමූහයක් ලෙස එක්වීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment