ශ්‍රී ලංකාව අද ස්කොට්ලන්තය මුණගැසේ

269

කාන්තා 20-20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

2024 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අද තරග වැදීමට නියමිතය.

තරගාවලියේ 8වන තරගය ලෙස අබුඩාබිහි සෙයික් සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.00ට එම තරගය ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා සහ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම් අතර මීට පෙර 2022 වර්ෂයේදී එක තරගයක් ක්‍රීඩාකර ඇති අතර එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 109ක ජයක් හිමිකර ගැනීමට හැකිවිය.

අද ආරම්භ වීමට නියමිත සෙසු තරග වන්නේ නෙදර්ලන්තය සහ වනුවාටු, උගන්ඩාව සහ ඇමෙරිකාව, එක්සත් අරාබි එමීර් සහ සිම්බාබ්වේ අතර තරග වේ.

තරගාවලිය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා අයර්ලන්තය අතර තරගය අයර්ලන්ත කණ්ඩායම ජයගත් අතර, ස්කොට්ලන්තය හා උගන්ඩාව අතර තරගයේ ජය ස්කොට්ලන්තයටත්, වනුවාටු හා සිම්බාබ්වේ අතර තරගයේ ජය වනුවාටු කණ්ඩායමටත් හිමි විය.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 67 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 122ක් රැස් කළ අතර තායිලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 55ක් පමණි.

තායිලන්ත ඉනීම පන්දු වාර 16.2 ක් තුළ නිමා වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3 ක් ලබා ගත් අතර තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද ඇය සම්මාන ලැබුවාය.

කණ්ඩායම් 10ක් එක්වන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටය කාණ්ඩ දෙකකින් පැවැත්වෙන අතර එක් කණ්ඩායමක් තරග 4කට ක්‍රීඩා කළ යුතු වෙයි. තරග 20කින් සමන්විත එම වටය මැයි 3 වැනිදා දක්වා ටොලරන්ස් ඕවල් සහ සෙයික් සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය. අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් මැයි 5 වැනිදා අවසන් පූර්ව වටයේ තරග වදින අතර අවසන් මහා තරගය මැයි 7 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් වටයේ තරග සෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී ශ්‍රී ලංකා පිල ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වදින අතර ඇමරිකාව, තායිලන්තය, උගන්ඩාව සහ ස්කොට්ලන්තය එම කාණ්ඩයට අයත් වෙයි.

සිම්බාබවේ, වනුවාටු, එක්සත් අරාබි එමීර්, අයර්ලන්තය සහ නෙදර්ලන්තය ‘බී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment