මහැදුරුතුමනි ඔබ කළ මෙහෙය සදාකාලිකයි….. ඔබට නිවන් සුව!

1334

මහාචාර්ය නලින්ද සිල්වා සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් ආරක්‍ෂාවට පෙනී සිටි අභීත ජාතික වීරයෙක්
අභාවප්‍රාප්ත මහාචාර්ය නලින්ද සිල්වා වෙනුවෙන් පැවැති මතකවස්ත්‍ර පූජාවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන කියයි
ජාතික චින්තනය ජනගත කරන්න කළ මෙහෙය අපිරිමිතයි – බෙංගමුවේ නාලක නාහිමි
බෞද්ධ උරුමය වෙනුවෙන් තම පෑන හඬ අවදි කළා – ඕමාරේ කස්සප හිමි

මහැදුරුතුමනි ඔබ කළ මෙහෙය සදාකාලිකයි….. ඔබට නිවන් සුව!

දිවංගත ආචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ඊයේ පාංශුකූලය පිරිනැමුණු මොහොත

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා මෙරට සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් ආරක්ෂාව වෙනුවෙන් අභීතව කටයුතු කළ ජාතික වීරවරයෙක් සහ බෞද්ධ නායකයෙක් යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05දා) සවස කොළඹ 07 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී පැවැති අභාවප්‍රාප්ත මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ පාංශුකූල පිංකමට සහභාගි වෙමින් අදහස් දක්වමිනි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ අභාවප්‍රාප්ත නලින්ද සිල්වා මහතා වෙනුවෙන් පැවැති මතකවස්ත්‍ර පූජාවට මහා සංඝරත්නය හා සම්භාවනීය පිරිසක් සහභාගිවූ අතර එහිදී වැඩිදුරටත් කතා කළ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.

නලින් ද සිල්වා මැතිතුමා ගැන අපි පිංදෙන අවස්ථාවේදී හැම දෙනාගෙන්ම අවසරයි. නලින්ද සිල්වා මහතා ජාතිය පුබුදුවාලූ අපේ රටේ ආඩම්බරය. අප රට වැසියන්ට හා ලෝකයට බුදුදහම පෙන්වා දුන් උත්තමයෙක්. සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් එඩිතරව කැපවූ බෞද්ධ නායකයෙක්. මෙයින් අපේ රටට විශාල හිඩැසක් ඇති කරනවා. එවන් මොහොතක අපි බෞද්ධයන් ලෙස ගෞරවය දක්වා පින් දීම. අප එකතු වීම ජාතියේම ආඩම්බර නායකයෙක් ලෙස කටයුතු කරනවා. ජාතිය අඳුරට පත්වූ විට දැනුවත් කර ජාතියට පණ දුන්නා. සම්බුද්ධ ශාසනයට බුද්ධ චරිතය ආරක්ෂා කිරීමට නලින්ද සිල්වා මහතාගේ නම පමණක් නොව ඔහු ලියූ ලිපි ලක්ෂ ගණන් ජනතාවට කියවන්න ලැබුණා. රට වැසියාට තවත් ශක්තිය දිය හැකි මඟපෙන්වීමක් ලබා මුළු මහත් ජාතියේම ගෞරවය එතුමාට පුද කරමින් නිසසල නිවන් සැපත එතුමාට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

චින්තන පර්ෂදයේ සභාපති බෙංගමුවේ නාලක අනුනාහිමි:

නලින් ද සිල්වා මහතා රට ජාතිය ආගම වෙනුවෙන් තම ස්වාධීන මතය දාර්ශනිකව පළ කළා. වසර 40ක් එම කාර්ය තම ජීවිතය තුළින් අප මාතෘ භූමියට දායාද කළා. සමහරු එතුමාගේ දැක්ම නිවැරදිව දුටුවේ නැහැ. අපේ ජාතික අනන්‍යතාව වෙනුවෙන් පෙනී සිටියා. ජාතික චින්තනය ජන හදවත් තුළ ජනිත කරවන්නට අපේ කාලයේ ඔහු කළ මෙහෙවර අපිරිමිතයි.

ඕමාරේ කස්සප හිමියන්:

අනගාරික ධර්මපාලතුමා ජාතිය වෙනුවෙන් වැඩ කරන්න ගිහින් වින්ද දුක යම් තරමකට නලින් ද සිල්වා මහතාත් වින්දා. ඒ සියලු විඳ දරා ගැනීම් මැද අපේ ජාතිකත්වය බෞද්ධ උරුමය වෙනුවෙන් තම පෑන – හඬ අවදි කළා.

එරික් ගාමිණි ජිනප්‍රිය, ශ්‍යාම් නුවන් ගනේවත්ත ඡායාරූප – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment