වීදුරු කටුවකින් බිරිඳගේ ගෙල කැපූ සැමියා පොලිස් වෙඩි කා රෝහලේ

675

වීදුරු බෝතලයක් කඩා වීදුරු කටුවකින් බිරිඳගේ ගෙල කපා තුවාල සිදුකළ පුද්ගලයකු පාලනය කිරීම සඳහා සිදුකළ වෙඩිතැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ වාද්දුව, මොල්ලිගොඩ, සමාන්තර පාරේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සිය බිරිඳට හිරිහැර කරන බවට ලද දුරකථන ඇමතුමක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් ඇති අතර සැකකරු බිරිඳ සමග දෙමහල් නිවසක ඉහල මාලයේ රැඳී සිට ඇත. පොලිසිය එම නිවෙසට යන අවස්ථාවේ සැකකරු සිය බිරිඳ පහළ මහලට ඇදගෙන විත් වීදුරු බෝතලයක් කඩා ඇයගේ ගෙල ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයකට පහරදී ඇති බව පැවසේ.

පොලිසිය සමග ඇති වූ කතාබහකින් පසු ඔහු පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇතත් සැකකරු පාලනය කරගැනීමට හැකි වී නැත. පසුව පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර දෙකකින් පසු එම පුද්ගලයා රෝහල් ගත කර ඇත. තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් අතකට සහ වෘෂණ කෝෂයකට වෙඩි ප්‍රහාර එල්ලවී ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment