අස්වැසිල්ලක් නැති වූ අස්වැසුම…

970

සමෘද්ධි, වැඩිහිටි දීමනා සහ වකුගඩු රෝගීන්ට ගෙවන දීමනා ඇතුළු මෙතෙක් ක්‍රියාත්මක වූ වෙනත් සුබසාධක ගෙවීම් ක්‍රම සියල්ල වෙනුවට අලුතින් ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇත්තේ ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයයි. මේ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන්ට ජූලි මාසයේ දී පළමු ප්‍රතිලාභී ගෙවීම සිදු කිරීමට නියමිතව තිබේ. ප්‍රධානතම කාර්යය වන්නේ මේ නව ක්‍රමය යටතේ නිවැරදි ප්‍රතිලාභීන් හඳුනාගෙන ඔවුන්ට සහන සැලසීමයි. මේ කාර්යය වැරදුනහොත් සියල්ල වතුරේ යනු ඇත. එසේ නම් අත්‍යවශ්‍යම දෙය වන්නේ සහන ලැබිය යුතු නියම සුදුස්සන් මුලින්ම හඳුනාගෙන ඔවුන්ට මේ මුදල් ප්‍රතිලාභ ලබා දීමයි. ඒ සඳහා ඔවුන් නිවැරදිව හඳුනාගත යුතු වන අතර ඒ සඳහා නිවැරදි ක්‍රියාවලියක් තිබිය යුතු වේ. ඒ ක්‍රියාවලියේ තිබෙන ප්‍රශ්න නිසා මේ වන විට නිවැරදි ප්‍රතිලාභීන් පිරිසක් තෝරා ගෙන නොමැති බවට මේ දිනවල බොහෝ චෝදනා එල්ල වෙමින් තිබේ. රජය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පවා මේ ගැන විවේචන ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මූලිකව පවසන්නේ ද ‘සුදුස්සන්ට දීල නැහැ නුසුදුස්සන් ට දීල ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ’ යනුවෙනි.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා වන සුදුස්සන් හඳුනා ගැනීම සඳහා වන ක්‍රියාවලිය අනුගමනය කරමින් ප්‍රතිලාභී නාම ලේඛනයක් රජය විසින් පසුගිය ජුනි 20 වැනිදා ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඒ නම් ලැයිස්තුව ප්‍රදර්ශනය කිරීමත් සමගම සහන ලැබෙන්නේ කාටද සහ අයදුම් කළ නමුත් සහන ලබාදීම සඳහා තෝරාගෙන නැත්තේ කවුද යනවග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින්ම දැනගැනීමට ලැබිණි. මේ සමගම පොදුවේ රජයට, මුදල් අමාත්‍යාංශයට සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට මෙන්ම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ද දැන් අස්වැසිල්ලක් නැති වී ඇත. රජයට නැගෙන ප්‍රධාන චෝදනාව නම් සහන සැලසීම සඳහා වන ප්‍රතිලාභීන් නිවැරදිව තෝරාගෙන නොමැති බවයි. ඒ අනුව ජනයා චෝදනා කරන්නේ ප්‍රතිලාභ ලැබිය යුතු සුදුස්සන් ප්‍රතිලාභී නාම ලේඛනයට තේරී නොමැති බවත් ඇතැම් නුසුදුස්සන් ඒ සඳහා ඇතුළත් වී ඇති බවත්ය. එය එසේ සිදු වී ඇත්නම් එය බරපතල ප්‍රශ්නයකි. එසේ නම් නිසි ලෙස විමසා බලා මේ ප්‍රතිලාභී නාමලේඛනය තෝරාගත් ක්‍රියාවලිය නැවත පසුවිපරමට ද ලක් කළ යුතුව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා කියන්නේ එහි කොන්දේසි ඉටු කිරීමේ දී අවදානමට ලක්වෙන කණ්ඩායම් සහ අඩු ආදායම්ලාභී දිළිඳු පිරිස් වෙත සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි. එහෙත් සැබෑ ලෙසම සහන සැලසිය යුතු පිරිසට එම සහන නොලැබෙන්නේ නම් එම සහන සැලසීමෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව ද කිව යුතුව තිබේ. ඒ නිසා මේ නැගෙන විරෝධතා ගැන රජය බරපතල ලෙස අවධානය යොමුකර සිදු වී ඇති වැරදි නිවැරදි කිරීමට පියවර ගත යුතුව තිබේ. එසේ නොකළොත් අස්වැසුමෙන් අස්වැසිල්ලක් නැති වනු ඇත.

දිළිඳු ජනතාවට සහන සැලසීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමයෙන් සහනාධාර ලැබීමට නියමිත බව කියන නම් ඉවත් වූ විශාල පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඉකුත් ජුනි 26 වැනිදා අභියාචනා භාරදීමට පැමිණීමත් සමග දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙහිදී එම පිරිස් සිදු කළ ප්‍රධාන චෝදනාව නම් මෙතෙක් සමෘද්ධි ඇතුළු විවිධ සහනාධාර ලැබුණු ජනතාව සහ සහනාධාර ලැබීමට සුදුසු ජනතාව සහනාධාර හිමි ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවත් සහ සහනාධාර ලැබීමට නුසුදුස්සන් අදාළ ප්‍රතිලාභී නාම ලේඛනයට ඇතුළත්ව ඇති බවත්ය. මේ සඳහා තේරී නැති අයට අභියාචනා භාරදීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණෙන ලෙස දැනුම් දීම නිසා විශාල පිරිසක් එකවර පැමිණීමෙන් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අංක ලබාදී කිහිපදෙනා බැගින් කැඳවා අභියාචනා භාරගත් බව ද දැනගැනීමට ලැබිණි. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අභියාචනා සහ විරෝධතා භාර නොගත් බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන් තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි ජනයා ද චෝදනා කර තිබිණි. මාර්ගගත ක්‍රමයට එම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කරන ලෙසට ද එහි නිලධාරීන් ජනයාට දැනුම් දී තිබිණි. ඇතැම් ග්‍රාමීය ජනයාට මාර්ගගත ක්‍රමයට එම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට දැනුමක් හෝ පහසුකම් නොමැති බව ද රජය තේරුම්ගත යුතුය. කෙසේ හෝ මේ ගැන චෝදනා ඉදිරිපත් වීම නිසා මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාළ අභියාචනා සහ විරෝධතා භාරගන්නා ලෙස අදාළ උපදෙස් දී තිබේ. ඒ අනුව මාර්ගගත ක්‍රමය භාවිතා කළ නොහැකි අයට දැන් තම විරෝධතා හෝ අභියාචනා තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් පුද්ගලිකවම ගොස් භාර දිය හැකි වේ. එසේම මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 1924 හදිසි ඇමතුම් අංකයට සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා ඇමතුම් ලබාදිය හැකි වේ.

ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අවසාන ප්‍රතිලාභී නම් ලැයිස්තුව නොවන බවත් ඒ සඳහා අභියාචනය කිරීමට හෝ විරෝධය පෑමට හැකියාව ඇති බවත් මේ වන විට රජය ප්‍රකාශ කර ඇත. විවිධ කණ්ඩායම්වල දේශපාලන බලපෑම්වලට හසු නොවී, අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු දෙනාම ජූලි 10 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා ලබාදීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පසුගිය ජුනි 27 වැනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය. කෙසේ වෙතත් දැනට එල්ල වී ඇති චෝදනා අනුව මෙම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියෙන් පමණක් මේ ගැටලු නිවැරදි කරගත හැකි ද යන්න නම් ප්‍රශ්නයකි. එම ක්‍රියාවලියේදී අඩුපාඩු සිදුව ඇති බව ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කිරීමත් සමඟ අස්වැසුම සුබසාධන වැඩපිළිවෙළට ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අසාධාරණයට ලක්වූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ සම්බන්ධ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය තවත් දින දහයකින් එනම් ජුනි 30 සිට ජූලි මස 10 වැනිදා දක්වා දීර්ඝ කරන බවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබිණි. එය අසාධාරණයට ලක් වූවන්ට තරමක අස්වැසිල්ලකි. එහෙත් චෝදනා ඉදිරිපත් වී ඇති පරිදි මේ වැඩසටහනේ සිදු වී ඇති බව කියන බරපතල වැරදි නිවැරදි කර ගැනීමට මෙය ප්‍රමාණවත් ද යන්න නම් ගැටලුවකි. අප නම් සිතන්නේ මේ ක්‍රියාවලිය ගැන නැවත විමර්ශනයක් කර සිදු වී ඇති බවට චෝදනා එල්ල වන වැරදි නිවැරදි කර ගැනීම වඩාත් සුදුසු වන බවයි.

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරු ද මේ සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රකාශ සිදු කරමින් සිටිති. එහෙත් මේ නව ක්‍රමවේදය යටතේ දිළිඳු පවුල් සහ ප්‍රතිලාභී තැනැත්තන් තෝරාගත් නිර්ණායක මොනවා ද යන්න අදාළ බලධාරීන් රටට ප්‍රකාශ කළ යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න කර තිබුණේ එම ප්‍රතිලාභීන් තෝරා ගත්තේ සමීක්ෂණයක කුමන දත්ත මතද යන්නයි. ‘මේක අස්වැසුමක් නොවේ, ඇස්බැන්දුමක්. රටේ දුප්පත් ජනතාව ලක්ෂ 70 ක් සිටියදී ලක්ෂ 12 කට සහන සැලසීමේ අරමුණ කුමක්ද?’ යනුවෙන් ද ඔහු ප්‍රශ්න කර තිබිණි. මේ නිසා මෙතරම් විරෝධතා මතුවීමෙන් බොහෝ දෙනෙකුට නැගෙන ප්‍රශ්නයක් වන්නේ මේ ප්‍රතිලාභී පවුල් සහ තැනැත්තන් තෝරාගත් නිර්ණායක මොනවා ද යන්න සහ එම නිර්ණායක කෙතරම් නිවැරදි ද යන්නයි.

රජය නම් මේ සම්බන්ධයෙන් පවසන්නේ විවිධ ප්‍රචාර හෝ පුද්ගල බලපෑම් මත කලබලයට පත් නොවී තමන්ගේ නම, දැනට ප්‍රකාශයට පත්කර ඇති ලේඛනයට ඇතුළත් වී නොමැති නම් හෝ නුසුදුස්සෙකුගේ නම ඊට ඇතුළත්වී ඇත්නම් ඒ සම්බන්ධ විමසීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකර ගැනීමට කාරුණික වන ලෙසත්, අයැදුම්කරුවන්ට මතුව ඇති ඕනෑම ගැටලුවක් ප්‍රාදේශීය ලේකම්වරයා මගින් විසඳාගත හැකි බවත්ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

අස්වැසුමට ඇතුළත් වී නැති අය ජූලි 10ට පෙර අභියාචනා කරන්න
– මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

අස්වැසිල්ලක් නැති වූ අස්වැසුම…

‘අස්වැසුම’ ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන්න. අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරනවා.

ආර්ථික සවියක් අවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන පිළිබඳ ඇතැම් පාර්ශ්වයන් සමාජය තුළ ගෙන යන වැරදි ප්‍රචාර හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති නාම ලේඛනය කිසිසේත්ම අවසන් ලේඛනය නොවෙයි.

අපට පසුගිය කාලයේ රටක් ලෙස විශාල ආර්ථික පසුබෑමකට මුහුණ දීමට සිදු වුණා. එම තත්ත්වයෙන් රට යළි ගොඩගැනීමේ ප්‍රධාන අංගයක් ලෙස දිළිඳු ජන කොටස් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කළා. සාමාන්‍යයෙන් අපේ රටේ මෙතෙක් පැවතුණේ යම් සමාජ සුබසාධක වැඩසටහනකට ඇතුළත්වන පුද්ගලයන් එතැනින් සවිබල ගැන්වී, ආර්ථිකය සවිමත් කර ගන්නවා වෙනුවට සදාකල්ම එම සහන මත යැපීමේ ක්‍රමවේදයක්. නමුත් මෙම වැඩසටහන එතැනින් එහාට ගිය වැඩසටහනක්.

සුබසාධක ප්‍රතිලාභ පනත ප්‍රකාරව අදාළ සුදුස්සන් තෝරා ගැනීම සිදු කෙරුණා. මෙම සුදුස්සන් තෝරා ගැනීම ක්ෂේත්‍ර 06ක් සහ ඊට අදාළ දර්ශක යටතේ තමයි සිදු වුණේ. ඒ අනුව සුදුසුකම් ලාභීන්ගේ ලේඛනයක් මේ වන විට කෙටුම්පත් කර තිබෙනවා. එය කිසිසේත්ම අවසාන නාම ලේඛනය නොවෙයි. අභියාචනා කාලයෙන් පසු අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ අවසන් නාම ලේඛනය සකස් කිරීමට අපි අපේක්ෂා කරනවා. එහිදී කිසිවකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපට උපදෙස් දී තිබෙනවා. මේ අතර වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ලබන ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ද ඉදිරියේ දී නිකුත් කිරීමට අපේක්ෂා කරනවා.

අස්වැසුමේ වැරදි හදන්නේ නැත්නම් සාධාරණය පතා අධිකරණයට යනවා

අස්වැසිල්ලක් නැති වූ අස්වැසුම…

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්

සුදුස්සන්ට දීල නැහැ. නුසුදුස්සන්ට දීල. ඒක තමයි අස්වැසුම වැඩසටහනේ ප්‍රධාන ප්‍රශ්නේ. මේ තෝරා ගැනීමේ ක්‍රියාවලියේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒ සඳහා නිර්ණායක වගයක් දාල තියෙනවා. ඔය ඇප් එකට දාන නිර්ණායක වගයක් දීල තියෙනවා. මේක ඇප් එකකින් තමයි කරේ. ගමේ දුප්පත් මිනිස්සුන්ට ඇප්වලින් වැඩ කරන්න තේරෙන්නෙත් නැහැ. ඇප් එක අරන් ගෙවල්වලට ගියේ සිසුන්. මේ අය දෙන ෆෝර්මැට් එකටනේ ගිහින් තොරතුරු ගන්න ඕන. එතකොට ඒකේ තියෙන තොරතුරු වැරදි නම් ඉතිං ලැබෙන උත්තරයත් වැරදියි.

මම දන්නවා ඉතාම අන්ත දුගී දුප්පත් මිනිස්සුන්ට ලැබිල නැහැ. එහෙම අය හැමතැනම හමුවෙනවා. ඒ අයගේ ගෙවල්වලට ගියහමත් අන්ත දුගී කියල පැහැදිලියි. එහෙම අයගේ සහන කපල දෙන්න තරම් ගිය එකාගේ ඇස් පොට්ට ද කියල ප්‍රශ්නයක් තියෙනවනේ. පැල්පත දැක දැක සහනය කපනවා නම් කොහේ හරි ලොකු වැරැද්දක් තියෙනවා. අප විශ්වාස කරන්නේ එකක් ඇප් එකට දුන්න තොරතුරු වැරදියි. අනිත් කාරණාව ගිය මිනිස්සුන්ගේ නොදැනුවත්කම. ඒක කරනවට දුන්න දීමනාව ගන්න දවසකට වැඩි ප්‍රමාණයක් කරන්න කටයුතු කරන්න ඇති. ඒ අයට ඒ ආදායම ලැබෙනවා. එයාලට මේක හරිද වැරදිද කියන එක ප්‍රශ්නයක් නෑ. මේ ඇප් එක අනුව වැඩි ආදායම් ලබන අයට ලැබුණේ කොහොම ද කියන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වෙන්න නම් ඒ ගිය මිනිස්සුත් මේකේ මොකක් හරි විකෘතිතාවයකුත් කරලා තියෙනවා. ඇත්තටම අත්දැකීම් නැති සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ළමයි තමයි බහුතරය ගිහින් මේ තොරතුරු එකතු කිරීම කරේ. දැන් ඔය අභියාචනා බලනවා කිව්වට ඔය ඇප් එක ඇතුළේ නම් සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. මම මේ සමෘද්ධි ව්‍යාපාරයේ ඒ මිනිස්සු නියෝජනය කරමින් වසර ගාණක් තිස්සේ වැඩ කරලා තියෙනවා. ඒ නිසා සුදුසුම මිනිස්සුන්ට මේ සහනය ලැබෙන්නේ නැත්නම් අපි ඒ අසාධාරණයට ඉඩ දෙන්නේ නැහැ. අපි ලැබෙන හැම වෙලාවේම මේ ප්‍රශ්නය ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. මේ වැරැද්ද හැදුවේ නැත්නම් ස්ථිර වශයෙන්ම මේ අසාධාරණයට ලක් වූ අය වෙනුවෙන් අධිකරණයේ පිහිට පතන්න මමත් අපේ සමෘද්ධි වෘත්තීය සමිතියත් සූදානමින් ඉන්න බවත් කියන්න ඕන.

advertistmentadvertistment
advertistmentadvertistment