කාදිනල්තුමා දැවැන්ත සංහාරයක් වළක්වපු නායකයෙක් – රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

102

ප්‍රහාරය ගැන තොරතුරු ලැබුණු දත්ත මකාදාලා – විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

පාස්කු ප්‍රහාරයට දේශපාලන මැදිහත්වීමක් තිබූ බවට සාධාරණ සැකයක් තිබෙනවා – අනුර කුමාර දිසානායක (ජාජබ)

පාස්කු ප්‍රහාරයට එදා හිටපු ජනපති හා අගමැති වගකිව යුතුයි – පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

රටේ තරුණ තරුණියන් අන්තගාමී තැනට යෑමට ඉඩ නොතබා නිවැරදි මාර්ගය අවබෝධ කරදීම සැමගේ වගකීමක් බව රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ විවාදයේ දෙවන දිනය වූ ඊයේ කරුණු දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

විවාදය ආරම්භ කරමින් කතා කළ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල :

කාදිනල්තුමා දැවැන්ත සංහාරයක් වළක්වපු නායකයෙක් - රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

පාස්කු ප්‍රහාරය ගැන සාධාරණයක් තවම ඉටුවෙයි කියලා හිතන්න බැහැ. තවම ඉන්නේ ගෝඨාභය ජනපතිගෙ ගෝලයෝ. කාදිනල් හිමියන් ජීනීවා යනවා කියන්නේ ඒකයි. ජිනීවා යෑම රටට විශාල අපකීර්තියක්. යුද්ධය නිසා විශාල අපකීර්තියක් වුණා. ජාත්‍යන්තර පරීක්‍ෂණ පැමිණීම රටට හොඳ නෑ.

අපේ ආණ්ඩුව මේ පාස්කු ප්‍රහාරය ගැන සම්පූර්ණ පරීක්‍ෂණ පවත්වනවා. විශේෂ අධිකරණ පිහිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගන්න අපේ රටේ හොඳ විමර්ශන පැවැත්වෙනවා. නමුත් ඒකට දේශපාලනය ගෑවුණොත් පරීක්‍ෂණ ඉවරයි.

ප්‍රහාරය ගැන තොරතුරු බුද්ධි අංශයට ආවා. ප්‍රහාරය වූ දින තුන් පාරක් මේ ගැන තොරතුරු ඇවිත් තියෙනවා. අපේ බුද්ධි අංශ නිහඬ වුණා. මේ සිද්ධිය වෙන්න බුද්ධි අංශ ඉඩ ඇරියා. ඉන්දියාවෙන් තොරතුරු ඇවිල්ලත් ඒ ගැන බැලුවෙ නෑ. ලැබුණු දත්ත මකා දාලා.

ඉන්දියාව අද ආර්ථික දියුණුවට ශක්තිය යොදා තිබෙනවා. තව ටික කලකින් ලොව ලොකුම ආර්ථිකය ඇති දෙවන රට වෙනවා. එෆ්.බී.අයි. එකත් කිව්වා ප්‍රහාරය ගැන සියලු තොරතුරු ලබාදී ඇති බවට.

මේ වැරැදි කරපු අයට මෙලොව උසාවියෙන් බැරි වුණාට පරලොව උසාවියෙන් දඬුවම් ලැබෙනවා.

රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු :

කාදිනල්තුමා සිද්ධියෙන් පසුව දැවැන්ත සංහාරයක් වෙන්න ගිය අවස්ථාවයක් වළක්වපු නායකයෙක්. අපේ පැතිවල ඇතිවෙන්න ගිය ගැටුම් වැළැක්වුවා. වින්දිතයන්ට සෙතක් හා යුක්තිය ඉටුකිරීමට මෙන්ම සත්‍ය දැනගැනීම කාදිනල්තුමාගේ අරමුණයි.

නමුත් මේ පිළිබඳ හරි කරුණු අනුව තීරණවලට එනවානම් හොඳයි. නැවත වතාවක් මෙවැනි සිද්ධි ඇති නොවීමට වගබලාගත යුතුයි. නමුත් සිද්ධිය පිටුපස ඇතිදේ දැන ගැනීම අවශ්‍යයි. මේ සඳහා කාටවත් ඇඟිල්ල දිගු නොකර සත්‍ය තොරතුරු මත ක්‍රියාත්මක විය යුතුයි. තරුණයන් අන්තගාමී තැනට යෑමට ඉඩ නොතැබිය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ) :

පාස්කු ප්‍රහාරයට දේශපාලන මැදිහත්වීමක් තිබූ බවට සාධාරණ සැකයක් තියෙනවා. 2015 සිට රාජපක්ෂ කඳවුරේ ප්‍රධාන ව්‍යාපෘතිය වුණේ මුස්ලිම් අන්තවාදය හා සිංහල ජාතිය වඳ කිරීම පිළිබඳවයි. මුස්ලිම් ජනයාට එරෙහිව දැඩි විවේචන එල්ල වුණා. එහි උච්චස්ථානය තමයි පාස්කු ප්‍රහාරය.

කාදිනල්තුමා දැවැන්ත සංහාරයක් වළක්වපු නායකයෙක් - රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

2019 අප්‍රේල් 22 වනවිට රටේ ජනපතිවරණයේ ප්‍රතිඵළ ලියවී අවසන්. ඒ නිසා මේ ක්‍රියාවලියේ සැකමුසු තැන් තිබෙනවා. ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීමත් ගැටලුවක්. ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පාලකයන් ද චූදිතයන් වෙනවා. ඕනෑම ප්‍රහාරයක දී ප්‍රහාරයන් වළක්වා ගැනීමට අසමත් වූවන් ඉන්නවා. මේ ප්‍රහාරයේ දී මේ දෙපාර්ශ්වයම ඒකාබද්ධව ක්‍රියාත්මක වූවාද යන ප්‍රශ්නය තියෙනවා. මෙවැනි සිද්ධි ඉදිරියටත් සැලසුම් වෙනවා නම් රට අනාරක්ෂිතයි. වව්නතිව්වල බෝම්බය පිපිරුණු අවස්ථාවේ දී එහි පරීක්‍ෂණ වෙනතකට හැරවීම ගැන ගැටලු තියෙනවා.

මාතලෙන් අත්අඩංගුවට ගත් පොඩි සහරාන්ට ප්‍රහාරයේ වගකීම භාර ගන්න කියලා බුද්ධි අංශ නිලධාරියෙක් බලපෑ් කළාද? සාරා ජස්මින් මිය ගියාදැයි සැකයක් තියෙනවා. සාරා ජස්මින්ව ප්‍රහාරයෙන් පසුවත් දැක තිබෙනවා. ඇයව රාජ්‍ය යාන්ත්‍රණය මගින්ම අතුරුදන් කළාදැයි සැක පවතිනවා.

මෙය රාජ්‍ය පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්.

පාස්කු ප්‍රහාරයෙන් පසු ජනවරමකින් බලයට පත් ජනාධිපති ගෝඨාභය ජනතාව පළවා හැරියා. අගමැති මහින්දවත් පළවා හැරියා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඔලුගෙඩිවලින් ආණ්ඩුව ස්ථාපිත වී තිබුණට ජනවරමක් නියෝජනය කරන්නේ නෑ.

විධිමත් පරීක්‍ෂණයක් කරන්න මේ දේශපාලන අධිකාරියට බැහැ. ප්‍රහාරකයන් හා ප්‍රහාරය වළක්වා ගැනීමට සිටි කණ්ඩායම් ඒකාබද්ධව මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ප්‍රහාරය එල්ල වූවාද යන්න සෙවිය යුතුයි. මෙය නිරාකරණය කර ගැනීම අතිශය වැදගත්. හමුදාව, බුද්ධි අංශ මත පමණක් තම ජීවය තිබෙන පාලකයකුට මේ පරීක්‍ෂණ කරන්න බෑ.

එදා කාදිනල් හිමියන්ට දැඩි ප්‍රශංසා කළා. අද ගල් ගසා මරා දැමීමට තරම් ප්‍රකාශ කරනවා. ඒ කාදිනල්තුමාගේ ප්‍රකාශ තම දේශපාලන ගමනට බාධාවක් වන නිසයි.

මාස 9ක් ඉබ්‍රාහිම්ව අත්අඩංගුවේ පසුවුණා. අපේ 2015දියි අපේක්ෂකයා වුණේ. ඊට පසුව රජයේ ඇමැතිවරු අවස්ථා ගණනාවකදී සම්මාන දුන්න හොඳ ව්‍යාපාරිකයෙක්. ඔහු අවුරුදු දෙකක් රිමාන්ඩ් වුණා. දැන් වසර දෙකක් එළියේ ඉන්නවා. ඔහුට නඩුවක් ගොනුකර තිබෙනවාද? චෝදනාවක්වත් ගොනුකර ගන්න බැරිවෙලා. ඉබ්‍රාහිම් මැතිරීමෙන් පළක් නෑ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා :

රටේ ඔත්තු සේවා 2015න් පසුව දුර්වල වුණා. ඔවුන්ව අත්අඩංගුවට ගැනීම් හා ඉවත් කිරීම් නිසා දුර්වල වුණා. කාට චෝදනා කළත් බුද්ධි අංශ දුර්වල කිරීම නිසා පාලකයන් තමන්ටත් ඇඟිල්ල දිගුකර ගත යුතුයි. මේවා පත් කළ කොමිෂන්වලත් කියවුණා. අදට වුවත් යම් යම් අන්තවාදී සිද්ධි විය හැකියි. ඒවා සොයා බැලීමට ඔත්තු සේවා තිබිය යුතුයි. මේවා දැන්වත් නිවරදි වී තිබෙනවාද නෑ. තොරතුරු සියල්ල තිබිලත් නිලධාරීන් පාස්කු ප්‍රහාරයේ දී නිහඬ වුණේ ඇයිද කියන ප්‍රශ්නය අදටත් තියෙනවා. මොන පරීක්‍ෂණ කළත් ඔත්තු සේවා දුර්වල කිරීමේ වගකීම ගන්නේ කවුද?

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් (ද්‍රජාසං) :

පාස්කු ප්‍රහාරය 2019 ක්‍රියාත්මක වුවද මේ ප්‍රහාරය පිටුපස සිටින පිරිස් 2005 සිටම රට තුළ තියාගෙන සිටියා. දිගින් දිගටම අපි පෙන්නුවත් ගණන් ගත්තේ නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල (ශ්‍රීලපොපෙ) :

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවකු සොයමින් අපේ රටේ දේශපාලකයන් දුවන දිවිල්ල නවත්වන්න තවම සිංහයකු සොයා ගන්න බැරි වුණා. හාවා නිදා සිටියදී තල් අත්තකට බොරලු කැටයක් වැටුණු විට ලෝකය පෙරලෙනවා කියමින් අනිත් සතුන්ද සමග දුවපු හාවා නවත්වන්න හැකි වුණේ සිංහයකු හමුවීම නිසයි. එහෙම සිංහයකු නුදුරු අනාගතයේදීම බිහිවිය යුතුයි. සොනික්… සොනික්… ලෙස බුද්ධි අංශයේ නිලධාරීන් යොදා ගත් හඳුනා ගැනීමේ නම් ප්‍රසිද්ධ කිරීම සුදුසු නෑ.

කාදිනල්තුමා දැවැන්ත සංහාරයක් වළක්වපු නායකයෙක් - රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් :

එදා හිටපු ජනපති හා අගමැති අද දෙපැත්තක හිටියත් මේ සිද්ධියට මේ දෙන්නා වගකිව යුතුයි. ගෝඨාභය හරි කාටහරි ගැටගහන්න පුළුවන්ද කියලා දැන් බලනවා. ආගම් දෙකක් අතර ගැටුමට වඩා විකාර රූපි පහත් තත්ත්වය තමයි මේ පෙන්වන්නේ. එදා හිටපු අගමැති, ජනපති 2015 සිටම මේ අවුල ඇති කළා.

පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ) :

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් යැයි කියමින් එක එක අය අත්අඩංගුවට ගත්තා. රිෂාඩ් බදියුදීන් මහතාවත් අත්අඩංගුවට ගත්තා. පාස්කු ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු අයට දඩ මුදල් පැනවූවා.

පාර්ලිමේන්තුව අද (26 දා) පෙරවරු 9.30ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment