වසර 26 කට පෙර භාරතීපුරම් 8 දෙනාගේ ඝාතනයට – හිටපු ඕඅයිසී ඇතුළු පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ

382

මීට වසර විසි හයකට පෙර කන්තලේ භාරතීපුරම් ගම්මානයේ පදිංචි නිරායුධ දෙමළ වැසියන් අටදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව භාරතීපුරම් පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනකු එම චෝදනාවට වරදකරු බවට තීන්දු කළ උතුරුමැද පළාත්බද හිටපු මහාධිකරණ විනිසුරු සහ වර්තමාන කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා එම විත්තිකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනාට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ කන්තලේ පොලිස් කොට්ඨාසයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්.එම්. රණරාජා බංඩාර, උප පොලිස් පරීක්ෂක ජී.එල්. සෝමරත්න, පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බංඩාර, කේ.එම්. නිහාල් ප්‍රේමතිලක, ආර්.ආර්. සෝමරත්න බංඩාර මැදිවෙල යන පිරිසටයි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස පොලිස් නිලධාරීන් 7 දෙනකු සිටි අතර දෙදෙනකු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙසද මහධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. මෙලෙස නිදොස් කොට නිදහස් කර මුදාහැරීමට නියේග කළේ පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බංඩාර සහ කේ.එම්. මයුරසේන යන දෙදෙනායි.

මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටිමින් 1998 වසරේ ජනවරි මස 31 දා හෝ ඊට අසන්න දිනක ත්‍රිකුණාමලය මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම් හිදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

භාරතීපුරම් පොලිස් ස්ථානයට බලහත්කාරයෙන් රැගෙනවිත් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යැයි චෝදනා කරමින් යම් කිසි සන්නද්ධ කණ්ඩායමක් මෙම දෙමළ වැසියන් හට වෙඩි තබා මරා දැමුණු මිනී මැරීමේ නීති විරෝධී රැස්වීමේ සාමාජිකයන් ලෙස චේතනාන්විතවම විත්තිකාර පොලිස් නිලධාරීන් සිට ඇතැයි නඩු විභාගයේදී ඔප්පු විය. ඝාතන සිදුවී වසර 26 කට පසුව නඩුවේ තීන්දුව මෙලෙස පෙරේදා (26දා) ප්‍රකාශයට පත් කෙරුණු අතර මෙම නඩුව මුල් අවස්ථාවේ විභාගයට ගැනුණේ ත්‍රිකුණාමලය මහාධිකරණයේදීය. පැවති ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් විත්තිකරුවන්ගේ ද ආරක්ෂාව උදෙසා මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කරනු ලැබුවේ එවකට හිටපු අගවිනිසුරුවරයාගේ නියෝගයක් අනුවය.

බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බව මහාධිකරණය ප්‍රකාශයට පත් කළ විගස විත්තිකාර භාරතීපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා හෘදයාබාධයකින් විත්ති කූඩුවේ ඇද වැටුණු අතර සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා ඔහු වහාම අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට පොලිස් සහ බන්ධනාගාර සහ අධිකරණ නිලධාරීහු කටයුතු කළහ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චාන්දනී හටංගල මහත්මිය ඇතුඑ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment