ඩුබායි ධනුකගේ ගෝලයෝ තිදෙනෙක් අත්අඩංගුවට

202

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල කල්ලියක් මෙහෙය වන ඩුබායි ධනුක නැමැති පාතාල මැරයාගේ ප්‍රධාන පෙළේ ගෝලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් සතුව තිබී රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් සහ මුදල් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් අතර මෝදර ප්‍රදේශයේ පාසලක සේවය කරන සේවකයකුද සිටින බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් සහ වේල්ලවීදිය ප්‍රදේශවල කළ මෙහෙයුමක දී මෙම ජාවාරම්කරුවන් සහ හෙරොයින් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ජාවාරම්කරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 60ක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කර ඉපැයූ රුපියල් ලක්‍ෂ 50කට ආසන්න මුදලක්ද සොයාගෙන තිබේ.

සැකකරුවෝ මැද කොළඹ හේනමුල්ල සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවෝය. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ධනුක නමැති ජාවාරම්කරු විසින් මෙරටට එවන හෙරොයින් තොග කොළඹ පුරා බෙදාහැරීමේ කාර්ය මෙම ජාවාරම්කරුවන් විසින් සිදුකර ඇත.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment