ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානවල වැදගත්කම

297

මේ මස මුලදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, දිගු කලක් බලා සිටි අපේක්ෂිත ණය අනුමැතිය සුරක්ෂිත කර ගැනීමට හැකි විය. ගිය වසරේ රට මුහුණ දී සිටි දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ණය ගෙවීම නතර කිරීමට සිදු විය. හේතුව කුමක් වුවත් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පැරිස් සමාජයේ සාමාජිකයන් සහ අනෙකුත් ණය හිමියන් සමඟ ඇති කර ගත් එකඟතා මත රට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සක්‍රිය කිරීමට නුදුරු අනාගතයේදී බලාපොරොත්තු වේ. විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සංකීර්ණ ක්‍රියාවලියකි. මෑත කාලයේ සාකච්ඡාවට යොමු වූ තවත් මාතෘකාවක් නම්, ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ආර්ථික මර්මස්ථානවල වැදගත්කම.

බස්නාහිර පළාත

ආර්ථික මර්මස්ථාන ජාතික ආරක්ෂාව සහ ආර්ථික කළමනාකරණය සඳහා පදනම සපයයි. 2020 වසරේ සේවා ක්‍රියාකාරකම් අනුව බස්නාහිර පළාත සියයට 39.6 ක ඉහළම දායකත්වය වාර්තා කළේය. කොළඹ, කළුතර සහ ගම්පහ බස්නාහිර පළාත් දිස්ත්‍රික්ක තුන ජාතික දළ දේශීය නිෂ්පාදිතයට සියයට 42.6 ක (2021) දායකත්වයක් සපයයි. ලෝකයේ හොඳම වරායන් විසි පහෙන් එකක් වන කොළඹ වරාය, කොළඹ වරාය නගරය, ගාලු මුවදොර ආසන්න ප්‍රදේශවල පිහිටා ඇති ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, ලංකා බැංකු මූලස්ථානය, හිල්ටන් හෝටලය, ෂැංග්‍රි-ලා ගොඩනැගිලි සහ නෙළුම් කුලුන ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන ලෙස සැලකේ. මෙවැනි වත්කම් ආරක්ෂාව සඳහා ජාතික උපාය මාර්ගයක් අනුගමනය කළ යුතුය. අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සහ අපනයන සැකසුම් කලාපය පිහිටා ඇත. තවද ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය සහ කෙරවලපිටිය විදුලි බලාගාරය වැනි ආර්ථික මර්මස්ථාන මෙම දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. එබැවින් මෙම වත්කම් අනාගත පරපුරට වැදගත් වනු ඇත. තවද මෙම යටිතල පහසුකම් ජාතික සමෘද්ධිය සඳහා තිරසාර පරිසරයක් සපයයි. ආර්ථීක ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක වන විට ලාභ හෝ පාඩු ලබන ජාතික වැදගත්කමක් ඇති වත්කම් ආරක්ෂා කිරීම රාජකාරි ක්‍රියාවලියක යුතුකමක්. තවද මධ්‍යම හා මහා පරිමාණ කර්මාන්ත ප්‍රධාන වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දක්නට ලැබේ. එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) කොළඹ, කළුතර සහ ගම්පහ බස්නාහිර පළාත් දිස්ත්‍රික්ක ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

වයඹ පළාත

මීට අමතරව වයඹ පළාත ජාතික දළ දේශීය නිෂ්පාදිතයට සියයට 11 ක (2019) දායකත්වයක් සපයයි. වයඹ පළාත කෘෂිකාර්මික කටයුතු සඳහා වැඩි දායකත්වයක් ලබා දී ඇත. ප්‍රධාන අපනයන බෝගවලින් එකක් සහ දේශීය පරිභෝජන බෝගයක් ද වන පොල් වගාව ආර්ථිකයට ප්‍රධාන දායකයෙකි. ශ්‍රී ලංකාවේ විශාලතම තාප බලාගාරය වන “ලක්විජය” නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මෙම පළාතේ පිහිටා ඇත. බස්නාහිර පළාතෙන් පිටත පිහිටා ඇති මෙම ආර්ථික මර්මස්ථාන ග්‍රාමීය උන්නතිය කලාපීය නංවාලීමට දායකත්වයක් ලබා දෙයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්

ශ්‍රී ලංකාවේ වැදගත් අපනයන භෝග වන තේ, රබර් මධ්‍යම සහ සබරගමුව පළාත්වල වගා කෙරේ. මධ්‍යම පළාත දළ දේශීය නිෂ්පාදිතයට සියයට 11 ක දායකත්වයක් සපයයි. මෙම පළාතේ සහ ආසන්නයේ විශාලතම මහවැලි ජල විදුලිය නිපදවන ආර්ථික මර්මස්ථාන වන වික්ටෝරියා කොත්මලේ සහ රන්දෙණිගල වේලි සහ ජලාශ පිහිටා ඇත. එම යටිතල පහසුකම් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියක ආරක්ෂා කරන ආකාරය වැදගත් වේ.

නැගෙනහිර සහ දකුණු පළාත්

තෙල් ටැංකි 103 කින් සමන්විත බෙංගාල බොක්ක වෙත විවෘත වන ලෝකයේ පස්වන ගැඹුරුම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය ලංකාවේ නැගෙනහිර පළාතේ ඇති ආරක්ෂක සහ ආර්ථික මර්මස්ථානයක් වේ. මීට අමතරව භූ දේශපාලනික වශයෙන් වැදගත් ඉන්දියන් සාගර සීමාවේ වැදගත් නාවික මාර්ග මංතීරුවක් ආසන්නයේ පිහිටී හම්බන්තොට වරාය, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා ඇති තවත් ආරක්ෂක සහ ආර්ථික මර්මස්ථානයක් වේ.

සුරක්ෂිතභාවය සහ ඉහළම ප්‍රමුඛත්වය

වැදගත් ආර්ථික මර්මස්ථාන ආරක්ෂා කිරීම සඳහා සාධක කිහිපයක් භාවිත කළ හැකිය. සමහර අවස්ථාවලදී මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්ති විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ වැදගත්කමක් ඇති මර්මස්ථාන කෙරෙහි බලපෑම් කළ හැකිය. විදේශ ආයෝජන ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අත්‍යවශ්‍ය සාධකයකි. විදේශ ආයෝජන මෙම ආර්ථික මරුමස්ථාන නංවාලීමට සමහර අවස්ථාවලදී දායකත්වයක් ලබා දෙයි. යටිතල පහසුකම් සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ප්‍රාග්ධනය සැපයීම සහ ක්‍රියාවලිය තුළ රැකියා අවස්ථා නිර්මාණය කිරීම මගින් රටට ආර්ථික විභවයන් කරා ළඟා වීමට උපකාර වේ. සෑම විටම මෙම ආර්ථික මර්මස්ථාන සම්පූර්ණයෙන්ම නව වෙළෙඳපළ අවස්ථාවක් නිර්මාණය කරයි. ඉහළ වටිනාකමක් ඇති වඩාත්ම තීරණාත්මක ජාතික වත්කම් සඳහා යම් ආකාරයක සුරක්ෂිතභාවය සහතික කිරීමට රජයේ ඉහළම ප්‍රමුඛත්වය යොමු කළ යුතුය. විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ භූ – දේශපාලනික වශයෙන් වැදගත් වරාය, බලාගාර, වැදගත්. ගොඩනැගිලි, ගුවන් තොටුපළ, තෙල් ටැංකි සහ ජාතික වැදගත්කමක් ඇති මර්මස්ථාන සුරක්ෂිත කළ යුතුය.

ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment