සිසුවිය මියගිය කළුතර පස්මහල් ගොඩනැඟිල්ල අනවසර ඉදිකිරීමක්

166

නීති පියවර ගන්න ඇමැතිගෙන් නියෝග

කළුතර නගරයේ පාසල් සිසුවියක ඇදවැටී මියගිය පස්මහල් ගොඩනැඟිල්ල නීති විරෝධීව ඉදිකර ඇති බවත් ඊට එරෙහිව කඩිනමින් නීති පියවර ගන්නා ලෙසත් නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට ඊයේ (14 දා) උපදෙස් දී ඇත. මේ සඳහා කළුතර නගර සභාවෙන්ද අනුමැතිය ලබාගෙන නොමැති බව හෙළිවී ඇත. එම හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකරන ලද එකක් දැයි සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගිය 11 වැනිදා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාට උපදෙස් දී තිබුණි. ඒ අනුව එම අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය මගින් විමර්ශනයක් කර එම හෝටලය නීත්‍යානුකූලව ඉදිකර නොමැති බවට වාර්තාවක් ලබාදීමෙන් පසු ඇමැතිවරයා මෙම පියවර ගෙන තිබේ.

අංක 402 ගාලු පාර කළුතර දකුණ යන ස්ථානයේ පිහිටි මෙම හෝටලය වර්ග මීටර් 300 කින් පමණ යුක්ත වේ. 2010 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම හෝටලය 2014 දී වැඩ අවසන් කර ඇති අතර ආපන ශාලාවක් හා ලැඟුම්හලක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට ද ඇමැතිවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් කර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment