අරුම පුදුම මෙලොව පහළ වීම

268

“පව්කරුවන් ගලවන්නට ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ලෝකයට ආ සේක” යන කීම විශ්වාස වූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතු වූ කීමක්ය. ( 1 තිමෝති 1:15)

මුළුමහත් ලෝකවාසීන් විසින් ලෝක ඉතිහාසයේ බෙදීමක් ඇති වූ (එනම් ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ යනුවෙන්) මීට වසර 2000 කට පෙර සිදු වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව පහළ වීම සිහි කරනු ලබයි. මෙම සිදුවීම මෙතරම් වැදගත් ස්ථානයක් ගනු ලබන්නේ මන්ද? මෙය තවත් දරු උපතක් පමණක්ද? නැති නම් මෙහි ඊට වඩා යම් ගැඹුරු සත්‍යතාවක් ගැබ් වී ඇත්ද? මේ ගැන සොයා බලන විට ශුද්ධ වූ බයිබලයේ මෙම උපත පිළිබඳව සහ මෙලොව පහළ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන බොහෝ දේ අපට දැන ගත හැකි වේ. එපමණක් නොව මෙලොව ජීවිත කාලයේදී උන්වහන්සේට ඉතා සමීපව සිටි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ එතුමා ගැන පැවසූ දේ තුළින් ද මෙම සිදුවීමේ වැදගත්කම තවදුරටත් දැන ගත හැකි වේ. මෙම උපත සිදු වූ අවස්ථාවේදී සුර දූතයින් (දේවම දූතයන්) ලොවට ගෙනා පණිවිඩය ශු. ලුක් තුමාගේ ශුභාරංචියේ 2 වන පරිච්ඡේදයේ 10-11 වගන්තිවල මෙසේ සඳහන්ව ඇත. “දේව දූතයා එඬේරුන්ට කතා කොට භය නොවෙල්ලා බලව මුළු ලෝකයට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි ඔබට ගෙනෙමි, මක් නිසාද ස්වාමි වූ ක්‍රිස්තුස් නම් ගැලවුම්කරුවෙක් ඔබලාට දාවිත්ගේ නුවර අද උපන් සේක.” මෙම සුරදූතයන්ගේ පණිවිඩය එනම් “භය නොවන්න” වර්තමානයේ ජීවත් වන අපට ද මහත් සේ උපකාරී වනු ඇත. අද ලෝවැසියන් නොයෙකුත් භයෙන් පිරි ජීවිත ගත කරයි. එනම් අනාගතයට, පවතින ආර්ථික තත්ත්වයන් ගැන, දේශපාලනික වටපිටාවන් ගැන අද අපට බල නොපෑවත් බොහෝ රටවල සිටින අය යුද්ධ ගැන, ත්‍රස්තවාදී ක්‍රියාවන් ගැන භයෙන් ජීවත් වේ. ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව පහළ වීමේ කතා වස්තුව තුළ “භය නොවන්න” යන පණිවිඩය සුර දූතයන් එම සිදුවීමට සම්බන්ධ තවත් අයට ගෙන එන ලදි. ඒ අතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව මව වූ කන්‍යා මරියතුමියට උන්වහන්සේගේ මෙලොව පියා වූ යොසෙප් තුමාට දුගී දුප්පත් ජන සමූහයන් වූ එඬේරුන් හට එහි ප්‍රමුඛ ස්ථානයක් ගනී. කන්‍යා මරිය තුමියට සුර දූතයා උන්වහන්සේගේ උපත ගැන කී විට ඇයගේ භය වීම අපට තේරුම් ගත හැකිය. හෙරොද් රජ භය වූයේ ශාස්ත්‍රවන්තයින් ලොවට රජව උපන් තැනැත්තා ගැන රජ මාලිගාවට පැමිණ ඔහුගෙන් ඇසූ නිසා ඔහු කල්පනා කළේ ඔහු රජව සිටින විට තවත් රජෙක් බිහිවීම ගැනය. එය ඔහුගේ බලයට රජකම තර්ජනයක් ලෙස දැක ඔහු භය විය. ඉහත අප සඳහන් කළ යේසුස් වහන්සේගේ මෙලොව පහළ වීමේදී භය වූ අය සුරදූතයන්ගෙන් පණිවිඩ “භය නොවන්න” කියා මහෝත්තම දෙවිඳුන්ගෙන් ලැබුණද හෙරොද් රජ හට එවැනි පණිවිඩයක් නොලැබිණි. ඔහුගේ මුළු ජීවිත කාලයම ඔහුගේ බලයට ඇති වූ මෙම අභියෝගය ගැන භයින්ම ජීවත් විය. ඔහුගේ භය වීමේ ප්‍රතිඵලය මතෙව් 2:16 අපට දැකිය හැකි වේ. “එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක ඉතා උදහස්ව ඔවුන්ගෙන් හරියාකාරව දැනගත් කාලයේ හැටියට මනුෂ්‍යයන් යවා බෙත්ලෙහෙමෙහි ද එහි සියලු සීමාවල ද සිටි දෑ අවුරුදු වයස් වූ ඊට බාල වූද සියලු පිරිමි දරුවන් මැරෙව්වේය.” ඒ කරණ කොටගෙන එදා එම දේශය සෑම නිවසකම මහත් භීතියක් සහ මහ අඳෝනාවක් විය. එයට හේතු වූයේ තම රජකමට තර්ජනයක් ලෙස හෙරොද් රජ කිතු උපත දුටු නිසාය.

මුළු ලෝකයම සැමරූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව පහළ වී නැති නම් “නත්තල” කිතුනුවන් හට පමණක් සීමා වූ උත්සවයක් නොවේ. උන්වහන්සේ මෙලොව පහළ වූ විට මහෝත්තම දෙවිඳුන්ගේ සුර දූතයන් ප්‍රකාශ කළේ සකල ජනයා හට මංගල පුවත් ලෙසය. (ලුක් 2:10) එයින් අදහස් වනුයේ ලොව වැසි සියලු දෙනා හට, එනම් ආගමක්, ජාතියක්, කුලයක්, වර්ගයක්, වර්ණයක් අදාළ නොවේ. සුරදූතයන් ගෙනා පණිවිඩයේ සකල ජනයා හට ගැලවුම්කරුවෙක් මෙලොව පහළ වී ඇත. එලෙසම භයින් පිරි සෙනඟ එයින් මිදීමක් ගෙන දෙන උතුමෙක් අපට ඇත. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. ශු. යොහාන් 3:16

ඔබට ආසිරි ලත් සහ ප්‍රීතිමත් නත්තලක් වේවා!

දේවගැති
එරාජ් ද මැල්
මහරගම, නාවින්න, එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් දේවස්ථානය භාර පූජකතුමා

අරුම පුදුම මෙලොව පහළ වීම
advertistmentadvertistment
advertistmentadvertistment