ඉමියුනොග්ලොබියුලින් වංචාව: කෙහෙළියගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි

205

නැවත කැඳවන බව සීඅයිඩීය දැනුම් දෙයි

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට බෙදාහරිමින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26 දා) පැය 7ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

ඊයේ පෙරවරු 9.00ට රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර සවස 5.00 වන තෙක් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

එසේම නැවත ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලබන බව ද ඒ සඳහා ඉදිරියේදී දිනයක් ලබා දෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම්දී ඇත. මෙම මහා අපරාධය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙරේදා (25 දා) පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම් දී තිබිණි. එහෙත් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි ඇමැතිවරයා ඊයේ පෙරවරුවේ එහි පැමිණියේය.

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගෙන තිබිණි.

ඒ අනුව මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

මෙම ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 06 දෙනෙක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.

මේ අතර මෙම මහා වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment