රට පැන්න පාතාලයන් මත් ජාවාරමුන් 60ක් ගේන්න යයි

256

විදේශගතව සිටිමින් මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙළේ පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි.

ඩුබායි සහ ඉන්දියාව ඇතුළු රටවල් කීපයක සිට මෙරටට මත්ද්‍රව්‍ය තොගපිටින් එවන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 30 දෙනකු මේ වනවිට හඳුනාගෙන සිටින බව ද ඇමැතිවරයා පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට මේ වනවිටත් එම රටවල්වල රජයන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියි.

එමෙන්ම ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් 29 දෙනකු සහ ප්‍රංශයේ සැඟවී සිටින තවත් පාතාල නායකයෙක් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සියලු කටයුතු ක්‍රියාත්මක කර තිබෙන බව ද අමාත්‍යවරයා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාල මැරයන්ට එරෙහිව ගතයුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පවසන ටිරාන් අලස් මහතා මාස හයක් ගත වනවිට මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

රටක මත්ද්‍රව්‍ය ජාවාරම සියයට සියයක්ම නැති කරන්න බැහැ. ඒත් මම කියන්නෙ අපේ රටේ මත්ද්‍රව්‍ය ජාලය අපි සැලකිය යුතු ප්‍රමාණයකින් මර්දනය කිරීමට කටයුතු කරන බව යයි ද ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment