අර්බුදයෙන් ගොඩඑන්න ඉන්දියාවේ සහාය ගන්න අලුත් යාන්ත‍්‍රණයක්

197

ශ‍්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන ආර්ථික සහයෝගීතාව සඳහා රාමුවක් සැකසීමට ශී‍්‍ර ලංකා මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා හා ඉන්දීය රජයේ මුදල් ඇමැතිනිය සහ විදේශ කටයුතු ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවලදී දෙපාර්ශ්වය අතර එකඟත්වයකට පැමිණ ඇත.

ශ‍්‍රී ලංකා මුදල් ඇමැතිවරයා සමග මේ සාකච්ඡා සඳහා ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් සහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් යන මහත්ම මහත්මීන් සහභාගී වී තිබේ. ඉන්දීය මුදල් අමාත්‍යාංශයේදී ඉකුත් මාර්තු 17 අදාළ සාකච්ඡා පැවැත්විණි.

දෙරට අතර මෙම ආර්ථික සහයෝගීතාව ඇති කර ගැනීමේ අරමුණින් ශ‍්‍රී ලංකා මුදල් ඇමැතිවරයා සමග ඉන්දීය මුදල් හා විදේශ කටයුතු ඇමැතිවරුන් නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වාගෙන යෑමට මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණ ඇත. දෙරට අතර එම නිරන්තර සංවාදය දිගටම පවත්වාගෙන යෑම සඳහා දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත සම්බන්ධීකරණ යාන්ත‍්‍රණයක් පිහිටුවා ගැනීමට ද එකඟ වී ඇත.

මෙම හමුව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල, ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලුකා කඳුරුගමුව යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙම ඉන්දීය සංචාරයේදී ශ‍්‍රී ලංකා රජය වෙත ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක කෙටිකාලීන ණය පහසුකමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ද සිදුවිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment