පිරමීඩ වංචාවක් ගැන සී.අයි.ඩී.යට පැමිණිලි

2562
ශාමේන් ඇලෝසියස්

කිසිසේත් සිදුකර නැති පිරිමීඩ ජාවාරමක් සම්බන්ධ කර ගනිමින් තම ආයතනයේ නම අවභාවිත කිරීම සම්බන්ධව වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඇල්කොම් රෙක්කුට්මන්ට් (ALcom – Recruitment) අධ්‍යක්‍ෂිකා ශාමේන් ඇලෝසියස් මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා සයිබර් අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය හමුවකට එක්වී අදහස් දැක්වූ ඇය මෙසේද කීවාය.

දිගු කාලයක සිට හොඳ පිළිගැනීමක් සහිත රැකියා සඳහා පිරිස් විදේශගත කිරීමෙන් අපට හොඳ කීර්ති නාමයක් ලැබී තිබෙනවා. මගේ හිමිකාරිත්වයෙන් පවතින මෙම ව්‍යාපාරය 1960 ගණන්වල ආරම්භ කළ මගේ සැමියාගේ පියා එතුමාගෙන් පසුව මගේ සැමියා මෙම ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියා. අද ලංකාවේ ප්‍රමුඛ පෙළේ විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කරන ආයතනයක් ලෙස ඉහළ පිළිගැනීමක් අපට ලැබී තිබෙනවා. අපි විදේශයන්හි රජයේ රැකියා සඳහා පමණයි වෘත්තිකයන් යවන්නේ. විශාල ප්‍රමාණයක වැටුපකට වෛද්‍යවරුන් විදේශගත කරනවා. එමෙන්ම වෛද්‍ය ක්‍ෂේත්‍රයේ අනෙකුත් අංශවල සේවකයන් සඳහා ද අවස්ථාව ලබා දෙනවා. ඒ අතර හෙදියන්, අතුරු වෛද්‍ය සේවයේ නිරත වූවන් ද වෙනවා. ඊට අමතරව ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, හෙලිකොප්ටර් සහ ගුවන් යානා කාර්මික ශිල්පීන්, නීති වෘත්තිකයන්, යුද, ගුවන් සහ නාවික හමුදාවන්හි සේවය කළ විශ්‍රාමිකයන් සඳහාත් විදේශ රැකියා අවස්ථා ලබා දෙනවා. ඒ කීර්ති නාමයට කළු පැල්ලමක් ඇති කිරීමට යම්කිසි පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. ඔවුන් පිරිමීඩ ජාවාරමක් සඳහා අපේ ආයතනයේ නම අවභාවිත කරමින් කටයුතු කරනවා. අපේ වෙබ් අඩවියත් ඒ සඳහා අවභාවිත කරනවා. අපේ ආයතනය ඒ කිසිම නීතිවිරෝධී ජාවාරමකට සම්බන්ධ නැහැ. විදේශ රැකියා ක්‍ෂේත්‍රය තුළින් රටට විදේශ විනිමය ලබා දෙන්න විශාල සේවයක් කරමින් ඉන්නවා.

මෙම පිරමීඩ ජාවාරම ඔන්ලයින් ගෲප්, වට්ස් ඇප්ස්, ටෙලිග්‍රෑම් ආදී සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව අතරට යමින් තිබෙනවා. යම් අයෙක් අපේ ආයතනයේ නමින් යම් ප්‍රතිලාභයක් ඉල්ලා සිටිනවා නම් ළඟ ඇති පොලිස් ස්ථානයට හෝ අප ආයතනයේ 0777325421ට දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment