මීගමුවේ ස්පා කතුන් 2කට ඒඩ්ස්

322

මේ කරුම රස්සාවට ආවේ ජීවත් වෙන්න බැරිකමටයි….

මීගමුව පොලිස් කොට්ඨාසයේ නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන 53කින් අත්අඩංගුවට ගත් කාන්තාවන් 137 දෙනා අතරින් දෙදෙනකු ඒඩ්ස් රෝගයෙන් පෙළෙන බව වෛද්‍ය පරීක්‍ෂණයකින් හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

මීගමුව, සීදුව, කොච්චිකඩේ ප්‍රදේශවල හදිසියේ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකදී මෙම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය. විවිධ ආයතනවල රැකියා කරන මුවාවෙන් පැමිණ මෙම කාන්තාවන් සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන බව හෙළිවී ඇත.

මෙම කාන්තාවන්ගේ පහස ලබාගැනීමට පැමිණි තරුණයන් අටදෙනකු ද වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමු කර තිබේ.

ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව කියන කාන්තාවන් දෙදෙනා වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට රෝහලේ රඳවාගෙන ඇත.

මේ අතර බාල වයස්කාර දැරියක ද මෙම සම්බාහන මධ්‍යස්ථානයක සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මේ අතර නීති විරෝධී අන්දමින් පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 35ක් වසා දැමීමට ද පොලිසිය කටයුතු කර ඇත.

මෙම සම්බාහන මධ්‍යස්ථාන වසා දමා ඒවාට සවිකර තිබූ නාමපුවරු ගලවාගෙන යෑමට ද පොලිසිය පියවර ගෙන ඇත.

මීගමුව පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත් වෙයි.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment