අනුලා සෑය ප්‍රතිසංස්කරණ ගිවිසුම අවලංගු කරන්න – මල්වතු මහනාහිමිගෙන් ජනපතිට ලිපියක්

596

ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලාදේවි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් අතර ඇති කර ගත් බව කියන දස වසරක ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

අනුලා සෑය ප්‍රතිසංස්කරණ ගිවිසුම අවලංගු කරන්න - මල්වතු මහනාහිමිගෙන් ජනපතිට ලිපියක්

ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භක ස්ථානය ලෙස සැලකෙන ඓතිහාසික වටිනාකමකින් යුත් මිහින්තලේ අනුලා සෑය, මිහින්තලා රජමහා විහාරස්ථානය යටතේ පාලනය වන විහාරස්ථානයක් බවත්, එහි භාරකාරත්වය මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමිපාණන් යටතේ පවතින බවත් මෙම ලිපියෙන් දන්වා තිබේ. එහෙත් මේ වන විට මහනායක හිමිවරුන්ගෙන් හා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව එම අනුලා සෑය සංවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් දස වසරක ගිවිසුම්ගතව ඇති බවත් මහනායක හිමිපාණන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එම ගිවිසුම අවලංගු කිරීමටත්, එහි සංවර්ධන කටයුතු මහනායක හිමිවරුන්ගේ සහ මිහින්තලා රජමහා විහාරාධිපති හිමිපාණන්ගේ නිසි අනුදැනුමක් මත විනිවිද භාවයකින්, මෙම ඓතිහාසික ස්ථානයේ උරුමය ආරක්ෂා වන පරිදි ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත්, මල්වතු මහා නාහිමිපාණන් ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment