ඔන්ලයින් පනතට එරෙහිව මන්ත්‍රී සුමන්තිරන්ගෙන් නැවතත් පෙත්සමක්

131

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අංක 09 දරන මාර්ගගත ආරක්ෂණ පනත නීතියක් ලෙස සම්මත වූ බව සහතික කරමින් කථානායකවරයා විසින් පසුගිය පෙබරවාරි 1 වැනිදා අත්සන් තැබීම අභියෝගයට ලක්කරමින් තමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින් වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේදී එය නැවත සලකා බලන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඊයේ (21දා) ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත පෙත්සමක් ගොනු කළේය.

එකී පනත් කෙටුම්පත කථානායකවරයා විසින් අත්සන් තැබීමෙන් පසුව නීතියක් බවට පත්වී ඇති බැවින් එම පෙත්සම විභාගයට ගැනීමේ නීතිමය බලයක් නොමැති බවට නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගත් ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න හා අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පසුගිය මස 29 වැනිදා එම පෙත්සම ප්‍රතිකෂේප කර තිබිණි.

එකී විනිසුරු මඬුල්ල සිය පෙත්සම විභාගයට ගැනීමට හෝ අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්ෂේප කොට ඇත්තේ කරුණු නිසි ලෙස වටහා ගැනීමකින් තොරව බව පෙනී යන බැවින් සිය පෙත්සම පිළිගෙන නැවත සලකා බලා විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සිය පෙත්සම මඟින් ඉල්ලා තිබිණි. මෙම පෙත්සමේ ද වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා කථානායකවරයා නම් කර තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment