අවංක දේශපාලනය තුළින් ස්වයංපෝෂිත රටක් බිහිකිරීම අපේ අපේක්‍ෂාවයි

35

ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් තිස්ස විතාරණ

ලංකා සමසමාජ පක්‍ෂය විනාශ කිරීමට අධිරාජ්‍යවාදී හා දේශීය දැඩි කුමන්ත්‍රණ ආවත් අප පක්‍ෂයේ සාමාජිකයන්ගේ දැඩි කැපවීම මත එය විනාශ කිරීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ 2024 වසරේ මැයි දින උත්සවය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨ පරිශ්‍රයේ පැවැති අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස විතාරණ මහතා, අපේ රටේ ඉතාමත් අමාරුවෙන් දිවංගත ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා වැනි ජ්‍යෙෂ්ඨ නායකයන් විසින් ඇතිකළ ඉතා ඉපැරණි ලංකා සමසමාජ පක්‍ෂය එහෙම විනාශ කරන්න දෙන්න බැහැ. අප පක්‍ෂය තුළ ආගම් භේද, ජාති භේද නැහැ. අපේ පක්‍ෂයේ අවංක පරමාර්ථය අවංක දේශපාලනයක් තුළින් රටේ අහිංසක ජනතාවගේ දුක් පීඩාවලින් තොර ස්වයංපෝෂිත රටක් ඇති කිරීමේ අපේක්‍ෂාවයි අපේ පක්‍ෂයේ දැඩි අධිෂ්ඨානය බවද ඒ මහතා පැවැසීය.

අපේ රටේ සෑම දිස්ත්‍රික්කයකම අප පක්‍ෂයේ ශාඛා කාර්යාල තියෙනවා. ඕනෑම කෙනකුට අප පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්න පුළුවන්. අද වර්තමාන පාලනය තුළින් ජන ජීවිතය අන්තිමටම කඩා වැටිලා විනාශ වෙලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයටම පත්වෙලා. අප පක්‍ෂයේ අවංක අපේක්‍ෂාව පිරිසිදු දේශපාලනයක් තුළින් ජනතාවගේ අහිංසක අපේක්‍ෂාවන් ඉටුකර අප රට ස්වයංපෝෂිත හා කිසිම රටකට ණය නැති රටක් නිර්මාණය කිරීමේ අවංක අරමුණ බවද මහාචාර්යවරයා පැවැසීය.

එහිදී මහාචාර්ය සමන් වීරක්කොඩි මහතා අදහස් දක්වමින්, දිවංගත ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා වැනි අවංක පිරිසිදු දේශපාලනඥයන් විසින් අහිංසක කම්කරු ජනතාව වෙනුවෙන්ම ආරම්භ කර ඇති ලංකා සමසමාජ පක්‍ෂය ආරක්‍ෂා කිරීම රටට ආදරය ඇති සියලුම ප්‍රගතිශීලී ජනතාවගේ වගකීම බවද සියලුම කුමන්ත්‍රණවලට එරෙහිව අප කටයුතු කිරීම බවද ඒ මහතා පැවැසීය.

පවතින පාලනය තුළින් අද ජනතාව දැඩි අපහසුතාවයකට, පීඩනයකට පත්වෙලා සමස්ත ජනතාවම අසරණ වූ අවස්ථාවකයි අපි ඉන්නේ. ජීවත් වෙන්න බැරි තැනටයි අපි සියලු දෙනාම පත්වෙලා ඉන්නේ. මෙම තත්ත්වයෙන් මිදෙන්න නම් දේශපාලන වෙනසක් තුළින් රට වෙනසකට පත් විය යුතුයි. එහෙම නැති වුණොත් අපි සියලු දෙනාම වැඩි කාලයක් යන්න කලින් විනාශ වෙනවා. එම නිසා දේශපාලන වෙනසක් තුළින් අපගේ වටිනා රට බේරාගෙන ස්වයංපෝෂිත රටක් බිහි කිරීමට අපි සියලු දෙනා ඇප කැපවීම අවශ්‍යම කාලයක් බවද මහාචාර්ය සමන් වීරක්කොඩි මහතා පැවැසීය.
ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment