‘මේ ඇත්තන් මාමකැච්චක් අමාරු තැන ජීවත්වෙන්නේ. මොන එකෙක් හරි මංගච්චලා ණය පොජ්ජක් මන්දො කරනවා කියනකොට හනි හනිකම මංගච්චලා ඔය තැන මන්දො කරගන්නවා. හැබැයි දැන් මන්දො කරගන්නවා වාගේ නෙවෙයි ගෙවුම් පොජ්ජ මන්දො කරනකොට ලොකු පොලියකුත් ඒ තැන මන්දො වෙනවා.’ යනුවෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විස්තර කර තිබුණේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙන් තම ප්‍රජාව පීඩා විඳින ආකාරය ගැනය.

‘අවුරුදු තුනක් වගේ වෙනවා ණය අරන්. පුළුවන් තරම් බැද්දේ ගිහින්, පොළේ ගිහින් ගෙව්වා. ගොවිතැන් කළාට වැඩකුත් නෑ, එක අවුරුද්දක පොහොර තිබුණේ නෑ. රත්තරන් බඩුත් ගෙවලා දැම්මා. ඊට පස්සේ ඇවිල්ලා බණිනවා, කරදර කරනවා. කොහෙන් හරි හොයන්න කියනවා. කොහෙන් හරි හොයලා දෙන්නේ කොහොමද? අපි කැලේ ගිහින්, බෙහෙත් බඩු හොයලා තමයි ජීවත් වෙන්නේ ඉතින්. එයාලා ඉතින් ඇවිල්ලා සෑහෙන්න දොස් කියලා යනවා. කොහෙන් හරි හොයලා දෙන්න කියලා. ජීවත් වෙන්නේත් හරි අමාරුවෙන්නේ, අපි කොහෙන්හරි හොයා දෙන්නේ කොහොමද? අපට එහෙන් ෆෝම් වගයක් තමයි දුන්නේ අත්සන් කරන්න. අපි ඉතින් අකුරු දන්නේ නැති නිසා බලන්නේ අරහෙ මෙහෙ නෑ. මං වට තුනක්ම ගත්තා. ගෙව්වා. ලක්ෂයක් ගත්තොත් එකහමාරක් ගෙවනවා. දැන් ගෙවාගන්න බැරිම තැනකට පත්වෙලා ඉන්නේ. උන්හිටිතැන් නැතිව තමයි දැන් ඉන්නේ. මේ ඉඩමේ බලපත්‍රය පවා ලෝයර් කෙනෙක් ළඟ අත්සන් අරන් තියලා තියෙන්නේ.’ එසේ කියන්නී, ඌරුවරිගේ ප්‍රේමලතාය. ඇයට ණය කොන්දේසි ඇතුළු කරුණු සඟවමින්, ණය උගුලක ඇයව සිර කරගෙන තිබුණේ, මෙරට ප්‍රමුඛම පෙළේ මූල්‍ය ආයතනයකින් මිස, ප්‍රජා මූල්‍ය සංවිධානයකින් නොවන බව සිහිතබාගැනීම මේ කතාව තේරුම් ගැනීමට වැදගත් වනු ඇත.

අපට දුක්බර ක්ෂුද්‍රමූල්‍ය කතාවලින් පමණක් මේ පිටුව පුරවා දමන්නට හැකි වුණත්, ඉන් එහාට ප්‍රශ්නය විනිවිද දැකිය යුතුය. මේ අප කියන්නට උත්සාහ කරන්නේ, ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම වෙනුවෙන් ගෙන ආ නව පනත් කෙටුම්පත ගැනය. එම පනත් කෙටුම්පත ගොඩනැගී ඇත්තේ මහා පොදුජන ඛේදවාචකයක් සහ ඒ මත 2018- 2021 කාලසීමාවේ ක්‍රියාත්මක වූ ජනතා අරගලයක් මතය. ප්‍රථමයෙන් සඳහන් කළ ආදිවාසී ප්‍රජාව පමණක් නොව, සිංහල ග්‍රාමීය ගැමි ගොවි ජනතාව, උතුරේ පීඩිතයන්,
මලයග දෙමළ ප්‍රජාව අතර සිටින පීඩිතයන් මෙන්ම ධීවරයන් සහ නාගරික පීඩිත ජන කොට්ඨාස පවා මේ ණය ක්‍රමවලින් පීඩා විඳිමින් සිටී. අර්බුද සමයක පණ ගැටගසා ගැනීමටම මුදල් නොමැති මොහොතක ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය විසඳීම රජයේ වගකීමක්ව පවතී.

කෙටුම්පත

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ගැසට් කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 27 වැනිදා දිනැතිව ඔක්තෝබර් 30 වැනිදාය. ‘ශ්‍රී ලංකා ක්ෂුද්‍රමූල්‍ය ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද, මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යපාරයේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහාද, 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවත් කිරීම සඳහා සහ ඒ සම්බන්ධ හෝ ඊට අනුශංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.’ කෙටුම්පත අනුව මෙම පනත යටතේ ශ්‍රී ලංකා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය යනුවෙන් හඳුන්වන නව අධිකාරියක් පිහිටුවනු ලබයි. මේ අධිකාරිය සඳහා නිල බලයෙන් මහ භාණ්ඩාගාරයේ, මහ බැංකුවේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පත් වන අතර මුදල් අමාත්‍යවරයාට සහ මහ බැංකු අධිපතිවරයාට නියෝජිතයන් දෙදෙනකු බැගින් හතරදෙනකු පත් කළ හැකි වේ. පනතේ ප්‍රකාශිත අරමුණ ක්ෂද්‍රමූල්‍ය ණය සේවා සපයන සංවිධාන නියාමනය කිරීම උදෙසා වන රාජ්‍ය ආයතන විධිමත් කර ණය ලබන්නන් ආරක්ෂා කරගැනීම වුව, එයින් ප්‍රජාමූල්‍ය සංවිධාන ඉලක්කගත වී තිබෙන නිසා, පනතේ අරමුණු ඉටු නොවීමේ ඉඩක් ඇත.

ක්ෂුද්‍රමූල්‍ය වින්දිත සහ ප්‍රජාමූල්‍ය- මූල්‍ය සේවා සංවිධාන එකතුව පසුගිය මාසයේදී නිකුත් කළ නිවේදනයෙහි මේ ගැන සඳහන් වේ.

‘යෝජිත පනත ක්‍රියාත්මක වීමෙන් ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන මූල්‍ය කොම්පැණි බලාත්මක වී, ක්ෂුද්‍ර මූල්‍ය සඳහා විකල්පයන් ලෙස ක්‍රියාත්මක වෙන ප්‍රජාමූල-මූල්‍ය කාන්තා සංවිධාන දුර්වල වී එම සංවිධානවල පැවැත්ම පිළිබඳ අර්බුදයක් ඇති වනවා පමණක් නොව, ක්ෂුද්‍රමූල්‍ය වින්දිතයන් මෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට තම මූල්‍ය සේවා තමන් විසින්ම සකස් කරගැනීමට ඇති විවෘත ප්‍රජාමූල-මූල්‍ය අවකාශ්‍ය අහෝසි වී යයි.’

ආචාර්ය අමාලි වෙදගෙදර මෙම විෂය ගැන ඉහළම අධ්‍යනයන් සිදු කළ විද්වත් ක්‍රියාකාරිනියක් වන අතර ඇය ඒ ගැන මෙසේ අදහස් දක්වා තිබුණි.

‘2018 ක්ෂුද්‍රමූල්‍ය අර්බුදයට ලක් වූ කාන්තාවන්ගේ අරගලය ඇතුළත තමයි ආණ්ඩුව කීවේ 2016 ක්ෂුද්‍රමූල්‍ය පනතේ යාන්ත්‍රණය නියාමනය කරන්නට මදි බව. ඒ නිසා අධිකාරී පනතක් ගේනවා කිව්වා. අවුරුදු 5කට පස්සේ ඒ පනත ඉදිරිපත් වෙලා තියෙනවා. ආණ්ඩුව කියනවා පවතින ක්ෂුද්‍රමූල්‍ය නියාමන කාර්යයට ඒකෙන් විසඳුමක් ලැබෙනවා, පාරිභෝගිකයන්ට ආරක්ෂණ රාමුවක් සැලසෙනවා, ක්ෂුද්‍රමූල්‍ය අර්බුදයට උත්තර ලැබෙනවා කියලා. හැබැයි අපි දකිනවා මේකෙන් ප්‍රධාන වශයෙන්ම ක්ෂුද්‍රමූල්‍ය අර්බුදය ඇති කරපු විශාල සමාගම් නියාමනයෙන් ඉවත් කරලා. ඔවුන්ව නිදහස් කරලා. අපට ලොකු ගැටලුවක් ඇති වෙනවා, ක්ෂුද්‍රමූල්‍ය අර්බුදය ඇති කරපු අයට බලාපන්නේ නැත්නම් මොනවද මේ පනතෙන් අර්බුදය විසඳන්නේ කියලා.’

ප්‍රජාමූල්‍ය සංවිධාන

ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට තවත් කැකිල්ලේ විසඳුමක් වූ ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරී පනත

මේ කතාවේ ඉතිරි කොටස් කියන්නට පෙර, ප්‍රජාමූල මූල්‍ය සංවිධාන ගැන විස්තර කළ යුතුය. ක්ෂුද්‍රමූල්‍ය ණය අර්බුදය විශාල භීතිකාවක් ගම් තුළ නිර්මාණය කරද්දී, මූල්‍ය කොම්පැණිවලට විරෝධයක් මෙන්ම තමන්ව උගුලක සිර කර ඇති බව අවබෝධයක් සහ වැටහීමක් ගම්මුන්ට ලැබෙද්දී ඒ ජනතාවට ඇති ප්‍රධාන විකල්පය වන්නේ ප්‍රජාමූල මූල්‍ය සේවාවන්ය.

ප්‍රජා මූල්‍ය සංවිධාන ගැන වැලිගෙපල ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමයේ රේණුකා මහත්මිය විසින් ආචාර්ය අමාලි වෙදගෙදර වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඇය සිය අත්දැකීම් ඇසුරෙන් පැහැදිලි කළාය.

‘අලුතින් ආපු කොම්පැනිවලට අපේ සාමාජිකයන්ට ණය දෙන්න බැරි වුණා. හැබැයි ගමේ ඉන්න ඔක්කොම සාමාජිකයෝ අපේ නෙමෙයි නේ. අපි ළඟ හිටියේ නැහැනේ හැම කාන්තාවක්ම. එතකොට විශාල වශයෙන් කාන්තාවෝ ක්‍ෂුද්‍රමූල්‍යවලට අහුවෙන්න පටන් ගත්තා.

ණයක් ගන්න ඉන්නවානම් කොම්පැණිවලින් තරම් ලේසියෙන් අපෙන් ණයක් ගන්නට බැහැ. ණය ගෙවීමේ හැකියාව වර්ධනය, ණය විනය ගොඩ නඟන එක, සාමාජිකත්වය ලබා ගත් දා සිට වෙන දෙයක්, ණය ලබා ගන්න කලින්. ණය මූලිකත්වය කරගත්ත කාන්තාවෝ අපිත් එක්ක එකතු වුණේ නැහැ. ණයක් පමණක් අවශ්‍ය අයට මූල්‍ය කොම්පැනි පහසු ප්‍රවේශයක් වුණා. කොම්පැනි කරගෙන ගියපු ණය දීම තුළ අපිට ලොකු අභියෝගයක් තිබ්බේ අපි දීර්ඝකාලීන වැඩක්නේ කරන්නේ. කුඩා කණ්ඩායම් ක්‍රමවේදය දීර්ඝකාලීනයි. මෙතන එහෙම එකක් නැහැ. එවෙලේ කණ්ඩායමක් හැදිලා එවලේම ණය ගන්න පුළුවන්. ඒක බලපෑවා අපේ සාමාජිකයන්ටත්, අපේ සාමාජික ප්‍රමාණය අඩු වෙන්න.

කම්පැණි ලියාපදිංචි කරලා තියෙන්නේ, එක්කෝ මහබැංකුව යටතේ, එහෙමත් නැත්නම් මූල්‍ය කොම්පැනියක් යටතේ. විශාල මූල්‍ය කොම්පැනියක කෑල්ලක් හැටියට තමයි මේ ආයතන ගමට එන්නේ, ඒ කොම්පැනිවල අනු ශාඛා. දුප්පත්කමින් ගොඩ එන එක මිනිස්සුන්ගේ වැඩක්. ප්‍රජාවගේ වැඩක්. කොම්පැනියක වැඩක් නොවෙයි. මේ පුංචි පුංචි සංවිධානවල කාන්තාවෝ කීයක් හරි හොයාගෙන ඒක ණයට දීලා කරපු වැඩෙන් දිවි නහගන්න තරම් දෙයක් වුණේ නැහැ. අනිත් එක ගෙවාගන්න බැරි ණය කාටවත් දීලත් නැහැ. ණයවලට හිර වුණෙත් නැහැ. කුඩා කණ්ඩායම් දැන් අවුරුදු 25ක් විතර කවුරුත් බලන්නේ නැතුව ලස්සනට වැඩ කරගෙන ආවා හැම තැනකම. අපේ සංවිධානවලට විරුද්ධව පැමිණිලි ගිහින් තියෙනවාද? මිනිස්සු පොලිසි ගිහින් තියෙනවාද? ඒ මොකුත් නැහැ. මිනිස්සු කියලා නැහැ අපේ ණය ගෙවන්න බැහැ කියලා. ගෙවන්න බෑ කියන්න හේතුවකුත් නැහැ, ඒවා අපේම සල්ලි. ඒ ගැන මිනිස්සුන්ගේ හැඟීම තියෙනවා. මේ ණය අරගෙන මිනිස්සු මොනවා හරි දෙයක් කරගෙන තියෙනවා. ලියාපදිංචි මූල්‍ය ආයතන තමයි මේ ප්‍රශ්නේ ඇති කළේ.

එක සැරයක් ආණ්ඩුව ගෙනාවා ක්ෂුද්‍ර මූල්‍ය පනත කියලා. කාලයක් පැවතිච්ච අපේ වගේ සංවිධානවලට සල්ලි පොඩ්ඩක් හරි තියෙනවානේ. ඕක දැකලා, අපිට අනිවාර්යයෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය පනතේ ලියාපදිංචි වෙන්න කිව්වා. දිස්ත්‍රික්කයකට ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධීකාරකවරයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පත්කරලා එව්වා අධීක්ෂණය කරන්නැයි කියලා. බලෙන් අපිට මේක කියනකොට, අපිත් නීත්‍යනුකූල නැතිවෙලා, මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අවුලක් නේ, ඒ නිසා අපේ සංවිධානය පනතේ ලියාපදිංචි වුණා. නිලධාරීන් තේරුම් ගන්නේ නැහැ. ක්ෂුද්‍ර මූල්‍ය කරන ආයතනයි, අපේ සංවිධාන අතරයි තියෙන වෙනස.

ප්‍රජාමූල මූල්‍ය කාන්තා සංවිධාන, මරණාධාර සමිති, සමුපකාර සමිති, මහිලා සමිති, අන්‍යොන්‍යාධාර සමිති ගමේ ආර්ථිකය ස්වාධීනව නංවාගනිමින් ණය ලබාදෙමින් එකිනෙකාව ආරක්ෂා කරන්නට නැගී සිටියදී, දැන් ගැමි සංවිධානයකට දරාගත නොහැකි කොන්දේසි ගණනාවක් තුළ එම සංවිධාන සිර කරන්නට නව පනත උත්සාහ කරයි.

ප්‍රජාමූල මූල්‍ය සංවිධාන 2016 පනත් කෙටුම්පතෙන් මෙන්ම, මෙම නව පනත් කෙටුම්පතෙන්ද ඉලක්කගත වී තිබෙන්නේය.

ක්ෂුද්‍රමූල්‍ය අර්බුදය යනු කුමක්ද?

2018 දී ක්ෂුද්‍රමූල්‍ය ණය අර්බුදය පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ හුවාන් පැබ්ලෝ බොහොලවුස්කි පළ කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් මිලියන 2.4ක් ක්ෂුද්‍රමූල්‍ය ණයවලින් පීඩා විඳී. 2021 වෙද්දී 200කට වැඩි පිරිසක් ජීවිත නසාගෙන තිබුණි.

ලංකාවේ විධිමත් බැංකු හෝ ණය සේවා සපයන ආයතනවලින්, ණයක් ලබා ගැනීමට තරම් වැටුපක්, දේපළක් හෝ තැන්පතු නොමැතිකමින් පීඩා විඳින අයට ඉතා ඉහළ පොලියට ණය ලබා දීම ක්ෂුද්‍රමූල්‍ය ණය අර්බුදයේ කේන්ද්‍රීය හරයයි. බොහෝ විට කාන්තාවන් මේ අර්බුදයට මුහුණ දෙන්නේ ඉහළ පොලියට සහ ඉතාම අවාසි සහගත කොන්දේසිවලට ලබා දෙන ණය ගෙවාගත නොහැකි වෙද්දීය.

චන්දන පොකුණ ගම්මානයේ රම්‍යලතා මෙසේ කියන්නීය.

ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට තවත් කැකිල්ලේ විසඳුමක් වූ ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරී පනත

‘අපි බැංකුවකට ගියාම අපිව දැක්ක ගමන් බැංකුවල ඉන්න මිනිස්සු බලන්නේ නෑ. අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ණය දෙන්න අත්සන් කරන්නේ නෑ. බැංකුවලින් වී කිරන මුදලාලිලාට දෙන්නේ පොලී නැතිව. අපට ආරංචි ආවා. අපිත් (ක්ෂුද්‍ර මූල්‍ය) ණය ගත්තා. වගා හානි වුණාම ඒක ගෙවන්න තව ණය ගත්තා. ඉඩකඩම් පවා තියමින් ණය ගෙවන්න ගත්තා. ණය ගෙවාගන්න බැරි වුණා. ඉස්සෙල්ලාම 25,000 වගේ දෙනවා. ඒගොල්ලන් ක්‍රමයෙන් අන්දාගන්නවා ලස්සනට. ඊට පස්සේ වැඩි මුදල් දෙනවා කිව්වා. දවසට රුපියල් 3000 ගෙවන තරමට ණය ගත්තා. ටික කාලයක් ගෙවාගෙන ගියා. පස්සේ ළමයින්ට අධ්‍යාපනය නැති වුණා, ගොඩක් ප්‍රශ්න ඇති වුණා. එයාලා කීවේ සීයට 18 වගේ පොලී කියලා. ඒත්, අපව රවට්ටලා ඊට වඩා පොලී අරන්. අපි දැන් ණය ගෙවීම නැවැත්තුවත් ප්‍රශ්නයක් නෑ. දැනටමත් ණය ගෙවලායි තියෙන්නේ.’

මෙය බරපතළ සමාජ අර්බුදයක් බවට පත් විය. අප සමග අදහස් දැක්වූ ඇතැම් අය කීවේ, තමන් සතුව තිබෙන සබන් කෑල්ලක්, ගෙදර ආහාර පිසීමට පාවිච්චි කරන බඳුනක් හෝ අතට හසුවෙන ඕනෑ දෙයක් අරගෙන ගොස් – එය විකුණා කීයක් හෝ එකතු කරගෙන ගෙදරට ණය එකතු කරන්නට පැමිණ සිටින අයගෙන් බේරෙන්නට උත්සාහ කරන කාන්තාවන් ගැන කතාන්දර වේ. ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් වෙනුවෙන් වැඩ කරන ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස නිතර කියන්නේ, තමන්ගේ දරුවාට ‘අම්මා ගෙදර නැහැ’ කියන්නට උගන්වා ණය ඉල්ලන්න එන ‘මහත්තුරුන්ගෙන්’ ගැලවෙන්නට කුස්සියේ සැඟවෙන මවකගේ පෞරුෂයම ඉන් විනාශ වෙන බවය. එතැනින් පසු මාතෘ – පුත්‍ර සම්බන්ධය වැනසී, සමාජ අර්බුදයක් දක්වා එය ගමන් කරන හැටි ඔහු නිතර කියන්නේය.

මේ ක්ෂුද්‍රමූල්‍ය අර්බුදය තේරුම් ගැනීමේදී ඉතාම ජනප්‍රිය මිථ්‍යාවක් වන්නේ මේ අර්බුදය නිර්මාණය කර ඇත්තේ ඉතාම අවිධිමත්, අටවාගත් ණය දෙන ආයතන සහ පෙර කී ආකාරයේ අකාර්යක්ෂම ණය ලබා ගන්නා අය නිසා ඇතිවූ අර්බුදයක් බවයි. ඉහත අදහස් දැක්වූ රේණුකා මහත්මිය ප්‍රශ්න කර තිබුණේත් ඒ අදහසය.

මේ ගැන ක්‍ෂුද්‍ර මූල්‍ය වින්දිත සහ ප්‍රජාමූල මූල්‍ය සේවා සංවිධාන එකතුව මෙසේ ලියා ඇත.

‘ක්‍ෂුද්‍රමූල්‍ය අර්බුදය පිළිබඳ ජනප්‍රිය කතිකාවට අනුව එය ඇති කිරීමට දායක වී ඇත්තේ අවිධිමත් අංශයේ මුදල් පොලියට දෙන සංවිධාන සහ පුද්ගලයන් විසිනි. එහෙත්, ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ විධිමත් තොරතුරු සතුව ඇති ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන්නන්ගේ සංගමය සතු තොරතුරු පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අධික වශයෙන් නිකුත් කර ඇත්තේ විශාල පරිමාණයේ මූල්‍ය සමාගම් සහ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ලෙස මහ බැංකුවේ ලියාපදිංචි සංවිධාන බවයි.’

‘මුදල් අමාත්‍යාංශ 2018 වාර්තාවට අනුව රාජ්‍යය මැදිහත්වීමෙන් 2018 ක්‍රියාත්මක වූ අර්ධ ණය කපා හැරීමේදී ණය පාහැරීම නිසා අහිමි වූ ප්‍රාග්ධන සහ පොලී කොටස් ලබා ගැනීමට ඉල්ලුම් කළ ක්ෂුද්‍ර මූල්‍ය සහ මූල්‍ය කොම්පැණි 37 අතර ණය ගැතියන් ඉහළ සංඛ්‍යා දක්වා ඇති බහුතරයක් මූල්‍ය සමාගම් වේ.’

2018 මුදල් අමාත්‍යාංශ වාර්ෂික අවස්ථාවේ 148 පිටුව බලන්නෙකුට ඒ ඒ සමාගම්වලින් දුන් ණය ප්‍රමාණයන් ටක්කෙටම බලාගන්නට හැකියාව ලැබේ. ඊටත් අමතරව මේ වෙද්දී ණය අය කරගැනීමට එවැනි මූල්‍ය සමාගම්වලින් විශාල වශයෙන් නඩු පැවරීමත් සිදු කරමින් සිටී. සමථ මණ්ඩල, දිසා අධිකරණ සහ නව කුඩා හිමිකම් පිළිබඳ උසාවි ඉදිරියට මේ අර්බුදයට මුහුණදෙන වින්දිතයන් පෝළිමේ එන්නේ උගුලෙහි තමන්ගේ ජීවිත සම්පූර්ණයෙන් සිර කර ගනිමිනි.

ආචාර්ය වෙදගෙදර මෙසේ කියන්නීය.

‘මේ ප්‍රශ්නය ඇති කරපු අයට බලපාන්නේ නැත්නම් මේ පනතෙන් ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ කොහොමද. අර්බුදය ගැන ගොඩක් තියෙනවා මිනිස්සුන්ගෙ නොදැනුවත්භාවය නිසයි මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නේ කියලා. මූල්‍ය සාක්ෂරතාව වගේ දේවල් උත්තර විදියට කියනවා. හැබැයි මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නේ අඩු ආදායම්ලාභී කාන්තාවන්ට ණය නිකුත් කිරීම ලාභදායී ව්‍යාපාරයක් ලෙස කරගෙන යෑම. එතකොට ඒක වෙන්නේ මිනිස්සුන්ගෙ තියෙන නොදැනුවත්කම හරි මූල්‍ය සාක්ෂරතාවේ අඩුවක් නිසා නෙවෙයි. මේ පනත ඇතුළේ පේනවා අනතුරේ වින්දිතයන්ට දොස් කීමක් වෙන්නේ.’

විසඳුම්

ක්ෂුද්‍ර මූල්‍ය සේවා සැපයීම මූල්‍ය සේවාවන්ට තහනම් කිරීම, ණය විගණනයක් පවත්වා අසාදු ක්ෂුද්‍ර මූල්‍ය ණය අවලංගු කිරීම, ප්‍රජාමූල මූල්‍ය සංවිධාන ශක්තිමත් කිරීම, ප්‍රජාමූල- මූල්‍ය සංවිධාන සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා තිබුණු ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව සක්‍රීය කර ශක්තිමත් කිරීම, ණය අපරාධයක් කිරීම වැළැක්වීම, ගෙවීමට නොහැකි ණය අය කර ගැනීමට අධිකරණය අවභාවිතාවේ යෙදවීම වැළැක්වීම, නීතියෙන් බලාත්මක කරන ලද ණය පාරිභෝගිකයන් සඳහා ආරක්ෂණ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම යන ඉල්ලීම් ක්ෂුද්‍රමූල්‍ය වින්දිත සහ ප්‍රජාමූල- මූල්‍ය සේවා සංවිධාන එකතුව ඉල්ලා ඇත.

එම සංවිධානයට අමතරව, ‘ගෙවන්න බෑ – ගෙවන්නේ නෑ’ යන තේමාවෙන් යුතුව ක්‍ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය ක්‍රියාකාරීව කටයුතු කරයි. ඔවුන් නීතිඥවරුන් සමග එක්ව විකල්ප පනතක් සඳහා යෝජනා 27ක් ඉදිරිපත් කර තිබේ. මෙම කෙටුම්පත අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමනයට අධිකාරියක් යෝජනා කර තිබුණත්, එය දැන් තිබෙන කෙටුම්පතට සමාන නැත. අධිකාරියේ සංයුතියට මහ බැංකුවට අමතරව ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්, ජනතා කවුන්සිලවල නියෝජිතයන් ආදිය පවා යෝජනා කර තිබේ. වසර දෙකකට වරක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීම සහ අත්තනෝමතික ලෙස ණය ලබාදීමෙන් වැළැක්වීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඔවුන් යෝජනා කර ඇත.

එම සංවිධානයේ කැඳවුම්කරු නිරෝෂා ගුරුගේ මෙසේ ප්‍රකාශ කර තිබුණි.

‘ණය වින්දිතයන් හිමියන් ප්‍රධාන වශයෙන් ඉල්ලුවේ ණය අහෝසි කරන්න කියලා. ගෙවන්න බැහැ කිව්වේ නිකම් නෙවෙයි. ගෙවන්න බැරි නිසයි බැහැ කීවේ. මිනිස්සුන්ට සාධාරණයක් වෙන පැත්තට නෙවෙයි, ආයතනවලට සහ සමාගම්වලට කඩේ යන විදියට තමයි මේ පනත ගෙනෙන්න හදන්නේ. සමාගම් පාලකයන්ව සාක්කුවේ දාගෙන ඉන්නේ.’

ඉතිරිකිරීම් බැංකුව

ඉහත සඳහන් වූ ඉතිරිකිරීම් බැංකුවේ කතාවත් මෙයට වැදගත්ය. එය විකුණා දැමීමට නියමිත බැංකුවකි. එහෙත්, ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයේදී වැදගත් භූමිකාවක් ඉටු කරන්නකි ලංකා බැංකු සේවක සංගමය පසුගිය කාලසීමාවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල ප්‍රකාශ කළේ මෙසේය.

‘ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව ප්‍රමුඛ බැංකුවේ ප්‍රාග්ධනය සහ ජනසවිය අරමුදල ඇතුළු දේවල් එකතු කරලා හදපු සීයට සීයක් රාජ්‍ය බැංකුවක්. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලාභ පරමාර්ථ කරගත් තනි පුද්ගලයන් දුන්නාම තමයි ගැටලු ඇති වෙන්නේ. මෙම බැංකුව ග්‍රාමීය ප්‍රදේශවල ඉතා සහනදායී පොලියට ණය මෙහෙයවපු බැංකුවක්. මේ බැංකුව වසා දැමීම ක්ෂුද්‍ර මූල්‍ය අංශයට පහරක්. රටේ ආර්ථිකයේ සීයට 60ක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. 2022-2023 කාලසීමාවේ එවැනි ව්‍යාපාර හැකිලුණා. ඒ ආර්ථිකය ගොඩනගන්නට මේ බැංකුවෙන් කරපු විශාල වැඩ කොටසක් තියෙනවා. ස්වයං රැකියා, ග්‍රාමීය ප්‍රදේශවල ගෘහස්ථ කර්මාන්ත ආදියට ණය මුදල් ලබා දීමට පාර වැහුණාම ඒවා වෙනුවට ආදේශ වෙන්නේ ඉහළ පොලී අනුපාත එක්ක ලාභ හොයාගෙන එන පුද්ගලයෝ. මමත් පෞද්ගලික බැංකුවක වැඩ කරන්නේ. මම දන්නවා පෞද්ගලික බැංකුවල පරමාර්ථය ලාභ ලැබීම.’

ඇත්තටම ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විසඳීම හුදෙක් නියාමන අධිකාරියක් නිර්මාණය කිරීමකිනුත් එහාට දැකිය යුත්තකි. ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමේ පුළුල් දෘෂ්ඨියක් ඇතිව කළ යුත්තකි. ඒ දැක්ම හෝ වුවමනාව ආණ්ඩුවට නැත. ග්‍රාමීය අර්බුදය අන් කවරදාටත් වඩා ආර්ථික, සමාජයීය හා දේශපාලන වශයෙන් වික්ෂිප්තභාවයක සිටී. එවැනි මොහොතක, කිසිම සංවාදයක් හෝ ජනවරමක් නැතිව මේ පනත ගෙන ඒම කිසිදු විසඳුමක් නොවන්නේය. දැන් අවශ්‍ය වන්නේ වඩා පුළුල් දැක්මක් ඇති පාලකයන්ය.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment