මෙතක් කලක් මහ බැංකුව වසරක් පාසා නිකුත් කළේ වාර්ෂික වාර්තාවකි. එහෙත් නව මහ බැංකු පනතත් සමග එම වාර්තාවේ නමේ මෙන්ම ආකෘතියේ ද වෙනසක් සිදුව ඇත. ඒ අනුව 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ මහ බැංකුව නිකුත් කරන පළමු ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය – 2023, සහ ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 99 වැනි වගන්තිය යටතේ මහ බැංකුව නිකුත් කරන පළමු ප්‍රකාශනය වන මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් – 2023 යන වාර්තා දෙක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඉකුත් අප්‍රේල් 25 දින සිදු විය. මේ අවස්ථාවට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන ඉවට් ප්‍රනාන්දු හා නෙලුමානී දවුලුගල යන මහත්මීන්, මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සහ මුදල් අමත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු මහ බැංකුවේ තවත් උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

මහ බැංකු වාර්තාව යනු විද්‍යාර්තීන් රැසක් ඇතුළු බොහෝ පිරිසක් පරිශීලනය කරන වාර්තාවකි. උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ද මෙය අධ්‍යයනය කරන වාර්තාවකි. එහෙත් නව මහ බැංකු පනතත් සමග මේ වාර්තාවේ නම සහ එහි ආකෘතියේ වෙනසක් සිදුව ඇති නිසා මේ නව වාර්තාව පළමු වරට නිකුත්ව ඇති මේ අවස්ථාවේ එහි ස්වරූපය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්ය. මේ අනුව මෙහි මුල් වාර්තාව වන වාර්ෂික ආර්ථික විවරණය පරිච්ඡේද තුනකින් සමන්විත වේ. ඒ මෙසේයි.

  1. වන පරිච්ඡේදය මගින් සාර්ව ආර්ථික ප්‍රවණතා සහ මූල්‍ය පද්ධතියේ තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරේ
  2. වන පරිච්ඡේදය මගින් මුදල් ප්‍රතිපත්ති රාමුව, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ ක්‍රියාමාර්ග, විදේශීය අංශයේ ප්‍රතිපත්ති සහ මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඇතුළත් වන පරිදි මහ බැංකුවේ ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කෙරේ.
  3. වන පරිච්ඡේදය මගින් ගෝලීය ආර්ථික පරිසරය සහ දේශීය ආර්ථිකය ඇතුළත් සාර්ව ආර්ථික ඉදිරි දැක්ම ඉදිරිපත් කෙරේ.
මහ බැංකු විවරණ වාර්තාවෙන් ආර්ථිකය ගැන කියන අලුත්ම කතාව

මෙවර මහ බැංකුවේ වාර්ෂික ආර්ථීක විවරණයෙහි කාලීනව වැදගත් මාතෘකා යටතේ විශේෂ සටහන් හතක් අඩංගු වන අතර, මහ බැංකුව විසින් හා ඊට අදාළව ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂාංග සටහනක් ද ඇතුළත් වේ. එසේම පසුගිය වසර 5 සිට 10 දක්වා තෝරාගත් වාර්ෂික දත්ත සහිත සංඛ්‍යාලේඛන පරිශිෂ්ටයක් සහ 1970 වසරේ සිට තෝරාගත් වාර්ෂික දත්ත සහිත සංඛ්‍යාලේඛන පරිශිෂ්ටයක් ද මෙම වාර්තාවට ඇතුළත්ය. මුද්‍රිත වාර්තාවට අමතරව මාර්ගගතව පරිශීලනය කළ හැකි කොටසක් ද ඇත. ඒ අනුව වැඩිදුර ඓතිහාසික දත්ත ද අන්තර්ගත, සංඛ්‍යා සටහන් 142ක් ඇතුළත් සංඛ්‍යාලේඛන පරිශිෂ්ටයේ සහ සංඛ්‍යා සටහන් 11ක් ඇතුළත් විශේෂ සංඛ්‍යාලේඛන පරිශිෂ්ටයේ මාර්ගගත සංස්කරණය භාෂා ත්‍රිත්වයෙන් එක්සෙල් පැතුරුම්පත් ආකෘති මගින් ද ප්‍රකාශයට පත් කර ඇත. ඊට අදාළ QR කේත සහ සංඛ්‍යා සටහන් සඳහා ප්‍රවේශ වන සබැඳි වාර්ෂික ආර්ථික විවරණයේ මුද්‍රිත වාර්තාවේ දක්වා ඇතැයි මහ බැංකුව කියයි.

මහ බැංකුව අලුතින් නිකුත් කර ඇති දෙවන වාර්තාව මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් ප්‍රකාශනයයි. කොටස් පහකින් සමන්විත වේ. 1. පළමු වන කොටසෙහි මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විස්තර දැක්වෙන අතර එහි සංක්ෂිප්ත මූල්‍ය විවරණයක්, විගණකාධිපති වාර්තාව, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ආදායම් සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශ ඇතුළත් ය. 2. දෙවන කොටසෙහි දේශීය මිල ස්ථායීතාව පවත්වා ගෙන යෑම, මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම, සියලු දෙනාටම ප්‍රතිලාභ හිමි දියුණු මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම, ව්‍යවහාර මුදල් මෙහෙයුම් කළමනාකරණය, ජාත්‍යන්තර කටයුතු, නියෝජිත කාර්යයන් සහ මහ බැංකුවට පැවරී ඇති වෙනත් වගකීම් යනාදිය ආවරණය කරමින්, 2023 වසරේ දී මහ බැංකුව සිදු කළ මෙහෙයුම් ඇතුළත් වේ. 3. තෙවන කොටසින් අවදානම් කළමනාකරණය සහ අනුකූලතාව, අභ්‍යන්තර විගණනය, මානව ප්‍රාග්ධනය සහ පරිපාලනය ඇතුළු මහ බැංකුවේ අභ්‍යන්තර කළමනාකරණ කටයුතු පැහැදිලි කර ඇත. 4. සිව්වන කොටසෙහි පාලක සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල සාමාජිකයන්, පාලක මණ්ඩල අනු කමිටු, ප්‍රධාන විධායක නිලධාරීන් සහ මහ බැංකුවේ වෙනත් කමිටු පිළිබඳව ඇතුළත් කර තිබේ. 5. පස්වන කොටසින් මහ බැංකුව මගින් නියාමනය සහ අධීක්ෂණය කරනු ලබන ආයතනවල තොරතුරු, මහ බැංකුවේ ප්‍රකාශන සහ දත්ත බෙදා හැරීම, ප්‍රාදේශීය කාර්යාල සහ ආයතනික තොරතුරු ඉදිරිපත් කර ඇත. මේ තොරතුරු අප සටහන් කළේ මින් ඉදිරියට නව මහ බැංකු පනත අනුව නිකුත් වන මේ වාර්තා දෙකේ ආකෘතිය පිළිබඳ හඳුන්වා දීමට වන අතර එම වාර්තා පරිශීලනය කර ආර්ථිකය සහ මහ බැංකුව පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නම් ඒ අවබෝධය තිබීම වැදගත් වේ.

මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණයෙන් පිළිබිඹු වන පරිදි ගිය වසරේ (2023) ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සාරාංශයක් ද මහ බැංකුව විසින් නිකුත් කර ඇත. එහි මෙසේ සඳහන් වේ.

‘නිදහසෙන් පසු ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ආර්ථික පසුබෑමෙන් අනතුරුව 2023 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළේය. ආර්ථිකයේ පාර්ශ්වකරුවන් කෙටිකාලීනව දුෂ්කරතාවලට මුහුණ දුන්න ද, රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද තීරණාත්මක ප්‍රතිපත්ති ගැළපුම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් සාර්ව ආර්ථික ස්ථායීතාව යළිත් බොහෝ දුරට ස්ථාපිත කිරීම සඳහා සහාය සැපයිණි. ආර්ථික අර්බුදය තවදුරටත් තිව්‍ර වීම වළක්වාලීමට සහ යථා තත්ත්වයට පත්වීමේ තිරසාර මාවතක් ඔස්සේ ආර්ථිකය හැසිරවීම සඳහා මෙම ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය විය. විවිධ අවදානම් රැසක් පවතින වාතාවරණයක් තුළ, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සහ ණය තිරසාරත්වය යළි අත්කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කැපවීම සමඟ පුළුල් මහජන පිළිගැනීමක් පැවතීම අත්‍යවශ්‍ය වේ.’

මහ බැංකුව කියන මේ කරුණු අනුව ආර්ථිකය හමුවේ තවදුරටත් අවදානම් රැසක් ඇත. ආර්ථික අර්බුදයෙන් මිදී ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා දැනට කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යෑමට අවශ්‍ය වන අතර ණය තිරසාරත්වය (ණය ගෙවාගෙන යෑමේ හැකියාව) යළි ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වේ. 2022 අප්‍රේල් 12 වැනිදා විදේශ ණය ගෙවීම තාවකාලිකව නතර කිරීමට රජයට සිදු වූයේ මේ කියන ණය තිරසාරත්වය නොමැති වීම නිසාය. කෙසේ හෝ මේ කටයුතු සඳහා මහජන සහාය ද අතවශ්‍ය වන බැවින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය වැනි ආයතන මීට වඩා විනිවිධභාවයෙන් කටයුතු කිරීම ද ඉතා වැදගත් වනු ඇත.

ආර්ථික ගැළපුම් ක්‍රියාවලිය මගින් 2023 වසර තුළ දී යහපත් ප්‍රතිඵල අත්කර ගනිමින් 2022 වසරේ දී වාර්තා වූ සියයට 70 ක් පමණ වූ ඉහළම උද්ධමන මට්ටම්වල සිට ගිය වසර (2023) අවසානය වනවිට උද්ධමනය තනි ඉලක්කමක මට්ටමට පාලනය කර ගැනීමට සමත්ව ඇත. එමගින් මුදල් ප්‍රතිපත්තිය සාමාන්‍යකරණය කිරීමට අවස්ථාව සැලසුණු බව මහ බැංකුව කියයි. ඒ අනුව, කාර්තු හයක් මුළුල්ලේ අඛණ්ඩව පැවති දීර්ඝතම ආර්ථික පසුබෑමෙන් (සංකෝචනයෙන්) පසුව 2023 වසරේ දෙවන භාගය තුළ දී ආර්ථිකය ධන වර්ධනයක් (ආර්ථික ප්‍රසාරණයක්) වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව ගිය වසරේ (2023) පළමු කාර්තුවේ සියයට 10.7 ක සහ දෙවන කාර්තුවේ සියයට 3 ක ඍණ ආර්ථික වර්ධනයෙන් පසුව තුන්වන කාර්තුවේ දී ධන සියයට 1.6 ක සහ සිව්වන කාර්තුවේ දී ධන සියයට 4.5 ක ආර්ථික වර්ධනයන් වාර්තා කිරීමට සමත්ව ඇත. මේ නිසා 2023 වසරේ සමස්ත ආර්ථික වර්ධනයේ පසුබෑම ඍණ සියයට 2.3 ක් දක්වා අඩු වී ඇත. එම ඍණ ආර්ථික වර්ධනය නියෝජනය කරමින් ගිය වසරේ (2023) දී කෘෂිකර්ම අංශය සියයට 2.6 ක ධන වර්ධනයක් ද කර්මාන්ත අංශය සියයට ඍණ 9.2 ක වර්ධනයක් සහ සේවා අංශය ඍණ සියයට 0.2 ක වර්ධනයක් ද වාර්තා කර ඇති බව මහ බැංකු ආර්ථික විවරණයේ සඳහන් වේ.

ආර්ථික අර්බුදයෙහි මූලය ලෙස එම ආර්ථික විවරණ වාර්තාවේ දැක්වෙන්නේ දිගු කාලයක් මුළුල්ලේ පවතින සමස්ත රාජ්‍ය අයවැය හිඟය සහ විදේශීය ජංගම ගිණුමේ හිඟය යන ද්විත්ව හිඟයන්ය. 2023 වසරේ දී ඒවා නිවැරදි වීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ගිය වසරේ දී රජයේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා කර ඇත. විදේශීය ජංගම ගිණුමේ ද අතිරික්තයක් වාර්තා කර තිබේ. අර්බුදකාරී කාලපරිච්ඡේදය තුළ දී සම්පූර්ණයෙන් ම පාහේ පිරිහීමට ලක් වූ විදේශීය සංචිත 2023 වසර තුළ දී ක්‍රමයෙන් නැවත වර්ධනය විය. අඩු ආනයන ඉල්ලුම මධ්‍යයේ, සංචාරක සහ අනෙකුත් සේවා අපනයන අංශයෙන් ලද ඉපයීම් මෙන්ම සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ද සමඟ විදේශ විනිමය ප්‍රවාහ වැඩිදියුණු වීම සිදුව ඇත. ආර්ථික අර්බුදය සමයේ පැවති විදේශ විනිමය සීමිත වීමේ ගැටලුවෙන් මිදීම සඳහා එය සහායක් විය. මහ බැංකුව විසින් විදේශ විනිමය ශුද්ධ පදනමින් මිලදී ගැනීම සහ බහුපාර්ශ්වික හවුල්කාර ආයතනවලින් ලද මූල්‍ය පහසුකම් මගින් නිල සංචිත වර්ධනය කරගැනීම සඳහා සහාය ලැබී ඇත. මෙම ප්‍රවණතා සහ වැඩිදියුණු වූ වෙළෙඳපොළ විශ්වාසයත් සමඟ 2023 සහ 2024 වසරේ මුල් කාලයේ දී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම ද සිදුව ඇත. මේ වාර්තාවේ කියන්නේ රජයේ විදේශීය ණය කළඹ ප්‍රතිව්‍යුහගත කිරීමේ සාමුහික ප්‍රයත්නය තුළින් එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමත් සමඟ රට තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය ඉඩකඩ සැලසෙනු ඇති බවයි. දැන් අප සිටින්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එම ණය හිමියන් අවසන් එකඟතා ඇති කර ගැනීමේ ක්‍රියාවලියේය. එය කලට වෙලාවට අවසන් කර ගැනීමට අප සමත් වුවහොත් අයිඑම්එෆ් ණය වැඩසටහනේ තෙවන ණය වාරිකය ලබා ගනිමින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමේ ගමන් මගේ ඉදිරියට ගමන් කිරීමට හැකිවනු ඇත.

මේ අතර, ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් කිරීමත් සමඟ රජයේ සුරැකුම්පත් ඵලදා අනුපාතිකවලට අදාළ අවදානම් අධි මිල පහළ යෑම හේතුවෙන් වෙළෙඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහළ ගිය බව ද මහ බැංකුවේ පළමු ආර්ථික විවරණ වාර්තාව කියයි. වෙළෙඳපොළ පොලී අනුපාතවල මෙම පහළ යෑම සහ වැඩිදියුණු වූ වෙළෙඳපොළ අපේක්ෂා හේතුවෙන් 2023 වසරේ ජූනි මාසයේ සිට පෞද්ගලික අංශයට ලබාදෙන ණය අඩු වීමේ ප්‍රවණතාව වෙනස් වී ඇත. මේ අනුව පෞද්ගලික අංශයට ලබාදෙන ණය වර්ධනය වීම, රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩි වීමට සහ ආර්ථික වර්ධනය වේගවත් වීමට හේතුවකි. මේ අනුව මේ වසරේ (2024) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 3 කින් පමණ වර්ධනය වනු ඇතැයි මහා බැංකුව මෙම නවතම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත. මේ අනුව ඒකපුද්ගල ආදායම ගිය වසරේ (2023) වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් 3830 සිට මේ වසරේ (2024) දී ඇමෙරිකානු ඩොලර් 4075 දක්වා වැඩිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මේ බව නවතම මහ බැංකු ආර්ථික විවරණ වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ඉදිරි කාලය තුළ දී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ අඩු උද්ධමනකාරී පරිසරයේ ප්‍රතිලාභ අඛණ්ඩව ආර්ථිකය වෙත ගලා යෑම හේතුවෙන් 2024 වසර තුළ දී ආර්ථිකය සියයට 3 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපේක්ෂිත මට්ටමට වඩා වේගවත්ව සංචාරක අංශය යථා තත්ත්වයට පත්වීම මගින්, අනෙකුත් ආශ්‍රිත අංශ වෙත ද ධනාත්මක බලපෑම් ඇති කරමින්, නුදුරු කාලීන වර්ධන ප්‍රවණතාව සඳහා සහාය සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආනයන සීමා ඉවත් කිරීම. ණය පිරිවැය සහ අමුද්‍රව්‍ය මිල අඩු වීම වැනි මෑත කාලීනව දක්නට ලැබුණු ධනාත්මක වර්ධනයන් හේතුවෙන් කර්මාන්ත අංශය ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉහත සඳහන් කළ ප්‍රවණතා සහ පසුගිය කාලයේ දී ඉදිකිරීම් නවතා දැමූ රජයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම මධ්‍යයේ, ඉදි කිරීම් අංශයේ යථා තත්ත්වයට පත්වීමක් එම අංශයේ ඉදිරි ආර්ථික දර්ශක මගින් පෙන්නුම් කෙරේ. කෘෂි අංශයේ වැඩිදියුණු වූ කාර්යසාධනය පෙන්නුම් කරමින්, මෑතක දී අවසන් වුණු 2023/24 මහ කන්නය තුළ දී ප්‍රධාන බෝග ක්ෂේත්‍ර ධනාත්මක ඵලදාවක් වාර්තා කර ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, දැනට පවතින දත්ත අනුව අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් බලපෑමක් ඇති නොවන්නේ නම් මෙම ධනාත්මක ප්‍රවණතාව වසරේ ඉතිරි කාලපරිච්ඡේදය තුළ දී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.’

මේ අනුව පැහැදිලි වන්නේ අභියෝග රැසක් මධ්‍යයේ වුවත් ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අපේක්ෂා ඇතිකරගත හැකි බවයි. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල සැලකිය යුතු මට්ටමේ ඉහළ යෑමක් තිබේ. සංචාරක පැමිණීම් වර්ධනය සහ සංචාරක ඉපයීම් වර්ධනය වීම හරහා ආර්ථිකයේ සමස්ත ඉල්ලුම වර්ධනය වීමට සහාය ලැබෙනු ඇත. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ රාජ්‍ය මූල්‍ය අවකාශයෙහි අපේක්ෂිත වැඩිදියුණු වීම මගින් නුදුරු කාලීන වර්ධන ගමන් මග සඳහා සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වැටුප්වල අපේක්ෂිත ක්‍රමික ගැළපුම් මගින් ද ඉල්ලුම් වර්ධනය සඳහා උපකාරයක් සැලසෙනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි. මේ අනුව ආර්ථික වර්ධනය වේගවත් වීම සඳහා සුබවාදී අපේක්ෂා පැවතිය ද මෙය මැතිවරණ වර්ෂයක් බව ද අපට අමතක කළ නොහැකිය. ඒ නිසා සාර්ව ආර්ථික ස්ථායීතාවය නැවත තහවුරු වී ඇති බව පෙනී ගියත් අපේක්ෂිත මැතිවරණ මධ්‍යයේ මේ වසර (2024) තුළ ආර්ථිකයේ වර්ධනය සඳහා ප්‍රතිපත්තිවල නිශ්චිතතාව සහ අඛණ්ඩතාව ඉතා වැදගත් වන බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. අපටත් කීමට ඇත්තේ ඉදිරි මැතිවරණයෙන් කවර රජයක් බලයට පත් වුවත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට සහාය සැලසෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් නම් යම් නිශ්චිත බවක් සහ දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතු බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment