සුද්ද කළයුතු ක්‍රිකට් කුණු කාණුව

965

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මේ වන විට මෙරට ක්‍රිකට් ආයතනය නමැති කුණු කාණුව අවුස්සා, පැත්ත පෙරළා සුද්ද පවිත්‍ර කරමින් සිටී. ඒ සඳහා ඔහු පළමුවෙන්ම කරන ලද්දේ මෙකී ක්‍රිකට් කුණු කාණුව පාර්ලිමේන්තුව දෙසට හැරවීමයි. ඇමැතිවරයාට පාර්ලිමේන්තුව හොඳට හුරු පුරුදු පිට්ටනියකි. රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු වරම් ලබා එම පිටියට පිවිසියේ 2010 වසරේදීය. ඒ අනුව ඔහු මේ වන විට එහි හොඳට පදම් වී අවසන්ය. ඒ අනුව ඔහු මේ වන විට තමන්ගේම අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රිකට් ආයතනය සමග ලෝක කුසලානයක අවසන් මහ තරගය සේ වැරෙන් පහරදෙමින් ප්‍රේක්ෂක කාගේත් ඔල්වරසන් මැද ක්‍රීඩා කරමින් සිටිනු පෙනේ.

මෙකී පාර්ලිමේන්තු පිටියේ සිටින මන්ත්‍රීවරුන් දෙසිය විසිපස්දෙනා බේරේවැවට දැමිය යුතු යැයි ප්‍රසිද්ධ කියමනක් මේ වන විට ජනගත වී හමාරය. එහෙත් අපට පෙනෙන්නේ රොෂාන් රණසිංහ බේරේට නොදැමිය යුතු බවය. එහෙත් ඔහු ටික කලක් මේ ක්‍රිකට් කුණු කාණුවෙහි ලැග සිටියේය. ඔහු ක්‍රීඩා, යෞවන සහ වාරිමාර්ග ඇමැතිවරයා ලෙස වැඩ භාර ගන්නේ 2022 මැයි මස 23 වැනිදාය. එදා පටන් ඔහු ද මීට පෙර පත්වූ ක්‍රීඩා ඇමැතිවරුන්ගේ ගොඩටම වැටිණ.

එහෙත් ඔහු දැන් අප පෙර කී ක්‍රිකට් කුණු කාණුවෙන් ගොඩ පැමිණ නෙළුමක් සේ පිපී ඇති බව පෙනෙයි. රොෂාන් රණසිංහ මේ ක්‍රීඩා ඇමැතිකම භාරගෙන ක්‍රියා කළ ආකාරය පාර්ලිමේන්තුවේ ෆයිල් ලිහමින් කියනු මුළු රටම දැක්කේය. ඒ අනුව ඔහු ක්‍රිකට් දූෂිතයන්ට එරෙහිව මුල සිටම ඉදිරි පාදයේ ක්‍රීඩා කර ඇති බව පෙනීයයි. දැන් ඔහු මේ කරන්නේ පිමි කිහිපයක් පැන දූෂිත පරිපාලනයන්ට එරෙහිව එළවා එළවා පහරදෙනවා වැන්නක්ය. ඔහුගේ හෝ ක්‍රිකට්වල හෝ කරුමයට ප්‍රධාන විනිසුරු මේ පිම්ම ගැන පැහැදීමක් නැති බව සංඥා කෙරිණ. ඒ අතරේ පිටියෙන් එහා ප්‍රධාන තරග තීරකයෙක් ගැනද කියැවේ. ඒවා පාර්ලිමේන්තු පිටියේදී එක පෙළට දිග හැරෙද්දී විපක්ෂය පැත්තෙන් නියම චියර් එකක් ලැබිණ. ඔවුන් ක්‍රිඩා ඇමැති බැට් කරන විට කූල් වතුරම අදිනු පෙණින. ඇමැතිවරයාට දහඩිය දැමූ විට පාට පාට තුවාවලින් දහඩියද පිහිදා හැරීය. කොහොම වෙතත් කවුරු කවුරුත් එක්වී ඒ ගනු ලැබූ පියවර ඉතාම ප්‍රශංසනීයය. කාලෙකින් දකින්න නොලැබෙන තරගයක් පාර්ලිමේන්තු පිටියේ අපි දුටුවෙමි. එය දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් පරාජයෙන් ඔද්දල් වී ගිය ගතිය තරමක් පහ කළේය.

වත්මන් ක්‍රිකට් පරිපාලකයන් තමන්ගේ මුග්ධකම, අශිෂ්ටත්වය, දූෂිත භාවය මීට කාලයකට පටන්ම පෙන්වමින් සිටියේය. එහි කූටප්‍රාප්ති ගණනාවක්ම විය. ඔස්ටේ්‍රලියාවේදී පැවැති විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් වන විට ඔවුන් එහි අර්ධ ශතකයට පමණ ළඟා වී සිටියේය. ක්‍රිකට්වලට ලැබෙන මුදල්වලින් ඔවුහු සුර සැප වින්දහ. මුදල් යහමින් සාක්කුවලට දමා ගත්තෝය. ක්‍රිකට් මුදලින් ඔවුහු විදෙස් සංචාරවලට පළමු පංතියේ ගුවන් ආසන වෙන් කර ගත්හ. තම හිත මිතුරන් නිළියන්ද ඔඩොක්කුවේ වාඩි කර ගෙන තරග නැරඹීය. කරන්නට ඇති කෙළි සෙල්ලම් සිතැඟි පරිදි සිදු කරගත්හ. විශ්‍රාම සුවය විඳීම සඳහා ද ක්‍රිකට් ඒඩ් නමින් බඩ්ඩක් අටවා ගෙන තිබිණ. ඉන් නොනැවතී මේ ආතල් සියල්ලම දිගටම කරගෙන යෑම පිණිස තම දූෂිත අඬු පඬු දික්කර මිලට ගත හැකි සියලුම තැන් අල්ලා අවසන් කළේය. එම අල්ලා ගැනීම් කොතරම් සුක්ෂමව කර ඇත්තේද කියා පෙනී යන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ වැඩි බලයක් හිමි ජේ. ෂා ද අල්ලා ගත්තේය. මෙහි කනගාටුම කරුණ නම් ඇමැති රොෂාන් සඳහන් කළ කිරි කළයේ කාරණයයි. එකී කිරි කළයට තවමත් ගොම එක්වී නැති බව අපගේ නම් හැඟීම ය.

කෙසේ වෙතත් මේ අන්ත දූෂිත තත්ත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගැනීම ආරම්භ කළ යුතුම කාරණයකි. ඊට ඇමැති රොෂාන් පෙරමුණ ගැනීම වටී. ඔහුට ඔහුගේ පිට කොන්දක් තිබීම ගැන පැසසිය යුතුය. එහෙත් ඔහුට පෙර ක්‍රිකට් සුද්ද කිරීමට ඇමැතිවරුන් ඕනෑ තරම් සිටියේය. නාමල් රාජපක්ෂට ද ඒ සඳහා අවස්ථාවක් උදා විය. එවිට ඔහුගේ බාප්පා රටේ ජනාධිපති ය. තාත්තා අගමැති ය. චූටි බාප්පා මුදල් ඇමැති ද විය. එහෙත් ඇමැති නාමල් ද ක්‍රිකට් සුද්ද කළේ නැත. එහි ප්‍රතිඵල දැන් භුක්ති විඳිමින් සිටී. ඇතැම් තරගවලදී අපේ ක්‍රිකට් කණ්ඩායමේ එකොළොස් දෙනාම එකතු වී ලකුණු හැට හැත්තෑවක් තළා ගන්නේ ද ඉතා අමාරුවෙන් වීම ඊට හොඳම සාක්ෂියක්ය.

කොහොම වෙතත් ක්‍රිකට්වලට ආදරය කරන මෙරට සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට අවශ්‍ය ජයග්‍රහණයන් ය. ඒ සඳහා ඇමැති රොෂාන් මේ පෙන්වා තිබෙන මාර්ගය යහපත් ය. දූෂණයෙන් තොර නිලවරණ පවත්වා නිසි වගකීම් සහිත කළමනාකාරීත්වයක් යටතේ ක්‍රිකට් මේ කුණු කාණුවෙන් ගොඩ ගත යුතුම වේ. ඊට දැන් නොබියව සිංහයෙක් සේ අවංක උත්සාහයක නිරත වන බව පෙනෙන මේ තරුණ ඇමැතිවරයා සමග එකට හිටගැනීම ප්‍රශ්නයක් නැති බව දැනට අපගේ හැඟීමය.

advertistmentadvertistment
advertistmentadvertistment