හම්බන්තොට චූලෝදරගේ සහ මාතර මහෝදරගේ ජල සටන!

1546

සමාජ – දේශපාලන සංවාද මණ්ඩපවල බලය පිළිබඳ සංවාද වාද විවාද පසුබස්වමින් ඉදිරියටම පැමිණ ඇත්තේ මේ වන විටත් දිස්ත්‍රික්ක ගණනාවකම ජනතාවට මුහුණ දීමට සිදුවී තිබෙන උග්‍ර ජල ප්‍රශ්නයත්, නියංසායත් පිළිබඳ කතිකාව ය. දිස්ත්‍රික්ක පහක් ගොදුරු වී තිබෙන නියංසාය පිළිබඳ අප පුවත්පත (අගෝ. 07 දිවයින) ඇතුළු විවිධ ජනමාධ්‍යවල තොරතුරු දක්වා තිබුණි. ජනතාවට පමණක් නොව වන උයන්වල සතා සිව්පාවුන්ට බීමට ජලය හිඟ බවද වාර්තාවල සඳහන් විය. නියඟය සහ වැස්ස යනු දේශපාලනයට අදාළ වූවක් නොවේ. එසේ වුවද වැස්ස හෙවත් වර්ෂාව මානව සංහතියේ අභිවර්ධනය උදෙසා භාවිත කිරීම පාලකයාගේ යුතුකම බව බුදුන් වහන්සේ ද අනුදැන වදාරා තිබේ. ලංකාවේ රජවරුන් අතරද ඒ උපදේශය තහවුරු වී තිබුණු බව ඉතිහාසය පෙන්වා දෙයි. බොහෝ අවස්ථාවල උපුටා දක්වනු ලබන මිහිමතට ඇද වැටෙන ජලයෙන් එක් බිඳක්වත් වැඩකට නොගෙන සාගරයට එක්වීමට ඉඩ දිය යුතු නොවේ යන පැරකුම්බාවන්ගේ වදන් කෙතරම් ගැඹුරු දර්ශනයක සංක්‍ෂිප්තයක්ද? ඉතිහාසයේ නිරිඳුන් එසේ ක්‍රියා කළ නිසාම ලංකාව වාරි කර්මාන්තයේ අග්‍රස්ථානයක් ලෙස ප්‍රකට විය. එහෙත් අපේ නූතන පාලකයන්ට වැව් බැඳීම තබා ඒ වැව් ජලය හෝ නිසි ලෙස ජනතාවගේ යහපතට යොදා ගැනීමට නොහැකි වී තිබේ.

අද අපේ පාලකයෝ ජලය ගැන විවාදයක ද පැටලී සිටිති. ජලය ඉල්ලා කෙරෙන උද්ඝෝෂණවලට ද පොලිස් ප්‍රහාර දී පලවා හරිති. ගොවියන්ට ජලය දීමට වඩා රටේ විදුලිය සැපයීම ඔවුන්ගේ න්‍යාය පත්‍රවල අංක එක බවට පත්ව තිබේ. ගොවියන්ට ජලය දිය යුතු යැයි ප්‍රසිද්ධියේ කීම කැබිනට් මණ්ඩලයේ සාමූහික පිළිවෙතක් බිඳීම ලෙස කල්පනා කරන පාලනයක් අද තිබේ. මේ වනවිට ජල පාලනය ගැන වාරිමාර්ග, ජල කළමනාකරණ ආදී අංශවල බලධාරීන්ට අධිචෝදනා පත්‍ර ද ඉදිරිපත්ව ඇත. විපක්‍ෂනායක සජිත් පමණක් නොව ගොවියන් ප්‍රමුඛ පොදු ජනතාව ද ඒ බලධාරීන්ට දෝෂාරෝපණ කරනු පෙනේ. එක් ගොවි වෘත්තීය සංවිධානයක නායකයෙක් ප්‍රකාශ කළේ කැබිනට්ටුවේ සිටින බත් කන ගොනුන්ට මේ ගොවි දුක නොදැනෙන බවකි. ඒ ගොන්නු කවරහු දැයි අපි නොදනිමු.

හම්බන්තොට චූලෝදරගේ සහ මාතර මහෝදරගේ ජල සටන!

මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේදී වැස්ස පමණක් නොව ගින්නද දේව හාස්කම් ලෙස සැලකූ අතර වැස්ස වලාහක දෙවියන්ට වන්දනා කළ බවද අපි දනිමු. විද්‍යාවේ දියුණුව කෙබඳු වුවත් කෘත්‍රීම වැසි ලබාදීම දුෂ්කරය. එහෙත් වැසි හා නියඟය පිළිබඳ යම් ප්‍රමාණයකට පුරෝකථනය කළ හැකි විද්‍යා තාක්‍ෂණ දැනුමක් අද තිබේ. ලංකාවේ ද කාලගුණ දෙපාර්තමේන්තුවක් තිබෙන අතර වාරිමාර්ග, මහවැලි ඇතුළු නිල බල සහිත ආයතන කීපයක්ම තිබේ. එහෙත් ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන අද එල්ලවන විවේචන චෝදනා ඉතා බරපතලය. සමනල වැව ජලාශය විදුලිබල නිල උරුමයට යටත් කර ගොවි අයැදුම්වලට අසංවේදී පාලන අධිකාරියක් බවට කෙරෙන විවේචනය කෘෂිකර්ම ඇමැතිවරයාගේම ඇතැම් ප්‍රකාශවලින් ද තහවුරු වේ. ඔහු පැවසුවේ එහි සිටින නිලයෝ දුරකථන ඇමතුමකට වත් ප්‍රතිචාර නොදක්වන්නෝ බවය. ආණ්ඩුවේම තවත් මෝල් වහන්සේ කෙනෙක් මාධ්‍යයකට පවසා තිබුණේ මේ රටේ ජනාධිපතිවරයා ගෙදර යැවූ අයට සමනල වැවට ගොස් ගොවීන්ට ජලය ලබා දීමට ඉල්ලීමක් කළ නොහැකි ඇයි දැයි කියාය. ඔහු ප්‍රශ්න කර තිබුණේ ගොවි ජනතාව වෙනුවෙන් අරගල නොකරන්නේ කුමක් නිසාද යනුවෙනි. මේ වර්ගයේ මැටි මෝල් දේශපාලන විකටයන්ට අද තිබෙන ගොවි ගැටලු නේම අරගල ද වටහා ගත නොහැකිය.

අප දන්නා තරමින් මේ රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මඟ පෙන්වීමටත් සහන සැලසීමටත් වාරිමාර්ග, මහවැලි වැනි ආයතනවල දැනුම් තේරුම් ඇති නිලධාරීන් ද ටික දෙනෙක් හෝ සිටිති. (මේ වන විට දක්ෂ නිලධාරීන් විශ්‍රාම ගොස් සිටින බවද වාර්තා වේ.)

කුමක් වුවත් රටේ පොදු ජනතා ප්‍රශ්න උග්‍ර වීමට එක් හේතුවක් වී ඇත්තේ අදාළ නිලබල අහසේත් ඒවායින් පීඩා විඳින ජනයා මහපොළවේත් සිටීමය. විදුලිබල ඇමැතිට පොලිස් රැකවල් මෙන්ම ත්‍රිවිධ හමුදාව ද ආරක්‍ෂාවට සිටිති. එහෙත් මේ ගොවියන්ට ගොවි නායකයන්ට කාගේ හව්හරණක්ද ගෝඨාභය ජනාධිපතිවරයාගේ අහංකාරය නිසා ගොවිබිම් කෙත්වතු පාලුවී ගොවියෝ වීදි බැස්සාහ. දැන් රනිල් ජනාධිපති පාලනයේදී ගොවියා හද්ද අසරණය. වීවලට මිලක් නැත. ඒ මදිවාට දුක් මහන්සි වී ණයතුරුස් වී වගා කළ කුඹුරු පාළුවට යමින් තිබේ. ඉතිහාසයේද ජලයට සටන් කළ යුග තිබුණි. රෝහිණී නදියේ ජලය බෙදා ගැනීමට ශාක්‍යයන් හා කෝලියවරුන් අතර යුද්ධයක් විය. බුදුහු මැදිහත්වී එය වළක්වා ලූහ. දරා ගත නොහැකි බදු බරින් මිරිකී, ජනතාව පීඩාවට ලක් කළ පාලකයන්ට බුදුන් වහන්සේගේ අප්‍රසාදය පළවිය. රජ, ඇමැති හා නිල බල දූෂණය වීම රටක් දුප්පත් වීමට හේතු වන බවද බුදුහු පෙන්වා වදාළහ.

රාජා භවතු ධම්මිකෝ යන බුද්ධ භාෂිතය එදා පාලකයෝ පිළිගත්හ. කුමක් වුවත් අද හම්බන්තොට හා දකුණ නියෝජනය කරන ඇමැති සගයෝද එදා චූලෝදර මහෝදර දෙබෑයන් යුද්ධ ප්‍රකාශ කළ පරිදි එකිනෙකාට ප්‍රතිචාර දක්වමින් සිටිතියි අපට හැඟේ. ඇඹිලිපිටියේ ගොවි සත්‍යග්‍රහයක් සිදුවෙයි. එයට දින 15 කටත් වැඩිය. සමනල වැව ජලාශය වැටලීමට ගිය ගොවීන්ට බැටන් ප්‍රහාර සංග්‍රහයක් ලැබුණු බවට ගොවි නායකයෝ චෝදනා කරති. ගොවි දුක දන්නා බව කියන අමරවීර හා රොෂාන් ඇමැතිවරු තමන් සිටින්නේ ගොවි ජනතාව සමග බව කීමට නිර්භීත වී සිටිති. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්‍ෂ ද මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරයි. රටට බත සපයන ගොවියාට සවන් දීම වෙනුවට වෙනත් ක්‍රමවලින් සහල් ප්‍රශ්නයක් මතු වුවහොත් විසඳන බව ආණ්ඩුව කියතියි විපක්‍ෂනායක සජිත් පවසන්නේ මේ ජනාධිපතිවරයාට ගොවීන් ගැන උනන්දුවක් නැති බවද ඔහු පවසයි.

කෙසේ හෝ උත්සන්න වූ ගොවි ජනතා විරෝධතා අබියස විදුලි බලධාරීන්ට පියවරක් නොව පියවර කීපයක්ම පස්සට ගැනීමට සිදු විය. ඒ සඳුදා (07) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණයක් අනුවය. මෙහි ප්‍රතිඵල කෙසේ වනු ඇද්ද යන්න වෙනම විමසිය යුතුය. කුමක් වුවත් නිල බල දණගැස්වීමට ජනතා විරෝධතාවන්ට හැකි බව ආණ්ඩුවට යළිත් දැනෙන්නට ඇතැයි අපි කල්පනා කරමු. දැන් විදුලිබල මාෆියාව ආණ්ඩුව නැටවීමට ක්‍රියාත්මක වීමට ද ඉඩ තිබේ. ජලය නොලැබීමෙන් සිදු වූ විනාශයට මේ තීරණයට එරෙහි වූ සියල්ලෝම වගකිව යුතු බවද අප සඳහන් කළ යුත්තකි. එසේම ගෝඨාභය බලයෙන් නෙරපූ ඒ සමාජ බලවේග මර්දනයෙන්ම යටපත් කළ නොහැකි බවද ප්‍රජාතන්ත්‍රවාදය අගයන පාලකයන් සිහියේ තබා ගත යුතුය.

‘අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ලො අපි’ යැයි ජනප්‍රිය ගායක ජෝතිපාල එදා ගුවන් විදුලියෙන් රටටම කීවේ වගා සංග්‍රාම ගැන සංවාද තිබුණු යුගයේදීය. එහෙත් අද ගොවියා මේ රටක බලේ යැයි කියන හෝ ගයන කිසිවෙක් සිටිතිද? අප යෝජනා කරන්නේ අතීත රජ සිරි සපිරි ඒ යුගයට ජනතාව කැඳවා ගෙන යෑමට නොවේ. අද ගොළු හදවතේ දම්මිලා සුගත්ලා නොවෙති. හිටියත් දම්මිලා සුගත්ලාට වෙරළු අහුරක් දෙන්නේත් නැත. ඒ වෙනුවට දෙනු ඇත්තේ ස්මාට් ෆෝන් එකකි. කාලය වෙනස්ය. යුගය ද වෙනස්ය. එහෙත් දේශපාලනය එතනමය. හරියටම කිවහොත් තිබුණාටත් වඩා අන්තය. අරගලය නැගුණේ එයට එරෙහිව වෙනසක් ඉල්ලමින් ය. එහෙත් සිදු වූයේ කුමක්ද? වටයක් කැරකී පුරුදු අපායටම අපි පැමිණ සිටිමු. නිලබල ගිලිහී ගිය අයත් ඒවා තිබෙන අයත් අද උනන්දු වන්නේ ඒවා රැකගෙන ජනතාව මේ සමාජ දේශපාලන වනාන්තරයේම වල්මත් කිරීමටය. අරගල වහකදුරු වී තිබේ. උද්ඝෝෂණය අරහංය. සත්‍යය හා යුක්තිය උදෙසා පෙනී සිටීම ත්‍රස්තවාදයකට නොදෙවෙනිය. ජනාධිපති රනිල් මේ රට වෙනස් කරනු ඇතැයි සිතූ පිරිස්ම අද ඔහුට චෝදනා කරති. මැතිවරණ රැස්වීමේ නිදහස් කොහිදැයි ප්‍රශ්න කරති.

ජනාධිපති රනිල්ගේ ආර්ථික සැලසුම් ප්‍රශ්න කරන අය ඔහුට චෝදනා කරන්නේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන බව පවසමින් ය. ලංකාව දුප්පත්කම අතින් ආසියාවේ 18 වන ස්ථානයේ සිටින බවත් දුප්පත්කම වර්ධනය වන බවත් ලෝක බැංකු වාර්තාවල ද සඳහන්ව තිබේ. රාජ්‍ය සේවකයා ඇතුළු මධ්‍යම පන්තියේ ඉරණම ඉතා දුක්මුසු බව ද කියනු ඇසේ. සමහර විග්‍රහයකට අනුව අද ඔව්හු නම්බුකාර යාචකයන් බවට පත්ව සිටිති. මේ පසුබිම යටතේ යම් හෙයකින් ආහාර හිඟය, බඩුමිල ඉහළ යෑම සුළු ප්‍රමාණයේ ජීවන මාර්ග බිඳ වැටීම ආදී අර්බුද මතු වුවහොත් ආණ්ඩුවට ඒවා පාලනය කිරීමද දුෂ්කර වනු ඇත. වැඩකරන ජනතාවගෙන් බහුතරයක් තුළ ඇත්තේ ද අපේක්‍ෂා භංගත්වයකි. ජනතාවට දැනෙන රට වෙනසකට යොමු වන කිසිදු දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැත. විපක්‍ෂවලට ද ඒවා විවේචනය කිරීමට වඩා සාධනීය දේශපාලන සැලසුම් තිබේදැයි පැහැදිලි නැත.

මේ වන විට ආණ්ඩුවේ සැලැස්ම බලය රැක ගැනීම සඳහා ජනාධිපතිවරයා රැක ගැනීම බව එජාපයත්, ජනාධිපති හිතවත් කණ්ඩායම්වලත් අදහස වී තිබේ. ඔවුන් සියල්ලන්ගේම බලාපොරොත්තුව රනිල් බවද පෙනේ. එහෙත් පොහොට්ටුව තවමත් නිල ප්‍රකාශයක් කර නැතත් ඔවුන්ට ඒ සඳහා යෙදවිය හැකි අපේක්‍ෂකයෙක් ඇති බවක්ද නොපෙනේ. පොහොට්ටුව බලමණ්ඩල පණගන්වමින් රනිල් පාර්ශ්වයට සුළු ප්‍රහාර එල්ල කරන බවද රහසක් නොවේ. පොහොට්ටුව සෘජුව ප්‍රකාශ නොකළත් ඔවුන් පෙන්වා දෙන්නේ රනිල් ජනාධිපතිවරයා ලෙස තෝරා ගත්තේ 2024 දක්වා සීමිත කාලයකට බවය. රනිල් පාර්ශ්වයේ විහිළුකාරයන් කියන ආකාරයට තව වසර 10 ක් දොළහක් ඔහුට බලයේ සිටීමට නොහැකි වුවත් එළඹෙන මැතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයා රනිල් විය හැකි බව දැනට තිබෙන වාතාවරණය තුළ පෙනී යයි. ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කිසිදු වුවමනාවක් අද රනිල්ට නැත. දේශපාලන ඕපා දූප, පාක්ෂිකයන්ගේ සිහින අපේක්‍ෂා අනුව රනිල්ව පොදු අපේක්‍ෂකයා කර ගත හැකිද යන්නද දැන්ම කිව නොහැක. පොහොට්ටුව එහිදී තීරණාත්මක සාධකයක් වන හෙයිනි. කුමක් වුවත් ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද එජාපය දැන් හිස ඔසවමින් සිටියත් මහපොළොවේ දේශපාලන තත්ත්වය කුමක්දැයි පුරෝකථනය කළ නොහැකිය.

කෙසේ වුවද ආණ්ඩුව මෙතෙක් සිදු කළ ආකාරයේ මැතිවරණ කල් දැමීමක් සිදු නොවුවහොත් ලබන වසරේ (2024) නිසැකයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමටද සිදුවනු ඇත. පොහොට්ටුව පවසන පරිදි 2019 දී ගෝඨාභයට ලැබුණු ජනවරම අවසන් වූ පසු රනිල්ට බලයේ සිටිය නොහැකිය. එසේම ජනාධිපති රනිල් දැඩි අවධානයක් යොමු කරන 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් වුවද ඔහුට පොහොට්ටුවේ සම්පූර්ණ ආශිර්වාදය නැති බව පෙනේ. ජනාධිපතිවරයා පසුගිය සර්ව පාක්ෂික සමුළුවේදී ප්‍රකාශ කළේත් පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව තමන්ට කිසිවක් කළ නොහැකි බවය. ඔහු පැහැදිලිව දැක්වූයේ තමන්ට එහි ඇත්තේ එක් ආසනයක් පමණක් බවය. එහෙත් මෙහිදී ඔහුට ඡන්දය දුන් 134 ක් වැනි මන්ත්‍රීවරුන්ගේ සහාය හෝ ලැබෙන බව ප්‍රකාශ වී නැත. එපමණක් නොව පොහොට්ටුවෙන් වෙන්වී සිටින සමහරුන් ප්‍රශ්න කරන්නේ ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති පසුබිමක අත්තනෝමතිකව හෝ සිය අභිමතය පරිදි හෝ ක්‍රියා කළ නොහැකි බවය. ඇත්තටම ජනාධිපති රනිල් මෙබඳු ජාතික වසයෙන් වැදගත් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් පළමුව සාකච්ඡා කරන එකඟතාවක් ඇති කර ගත යුතු වන්නේද මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් සමගය. එහෙත් මේ වනවිට පොහොට්ටුව තුළ තවත් බෙදීම් ඇතැයි දේශපාලන අංශවල අදහස වී තිබේ. උග්‍ර පොහොට්ටුකාරයන් නිමල් ලන්සා සමග සන්ධාන ගතවීමක් සිදු විය හැකි බවද කියනු ඇසෙයි. කුමක් වුවත් මොන වෙස් බැඳ ගත්තත් ජනතාවගේ ප්‍රතිචාරය අනුව ඒවායේ සාර්ථකත්වය තීරණය වනු ඇත.

අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බවද වාර්තා වී තිබේ. කුමක් වුවත් මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කරන්නේද මෙම කාරණය නිෂ්ඵල එකක් බවය. එසේම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය මෙන්ම එය සක්‍රීය විධානයක් වන්නේ පාර්ලිමේන්තුවෙන් එයට ලැබෙන අනුමැතිය අනුව බවද පෙනේ. එසේම ගෝඨාභය ජනවරම තුළ මෙකී 13 වැනි සංශෝධනය සඳහා අනුමැතියක් නැති බව පොහොට්ටුවේ ලේකම් සාගර කියයි. එය තර්කානුකූලය. සැබැවින්ම ඉහත සඳහන් කළ පරිදිම එදා ඔහු වෙනුවෙන් ඡන්දය ලබාදුන් 134 දෙනාගේ කැමැත්තවත් මේ සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය වේ. එසේම පළාත් පලාන හා පළාත් සභා යන දෙකම අහෝසි කර නැතත් අක්‍රීය කර දමා තිබෙන පසුබිමක මෙබඳු බලතල ගැන කෙරෙන සාකච්ඡාවල වලංගුතාව ගැනද සමහරු ප්‍රශ්න කරති. අපට දැනෙන ආකාරයට නම් මේ ඡන්ද එකක්වත් ළඟකදී පැවැත්වීමට ආණ්ඩුව සූදානම් නැත. ඒ කුමක් වුවත් දවසින් දවස ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නිසා ජනතාව තුළ ඇතිවන අප්‍රසාදය හා විරෝධතා ආදිය වර්ධනය වුවහොත් පාලකයන්ට හා එහි පාර්ශ්වකරුවන්ට ජනතා කැමැත්ත ලබා ගැනීම ද උභතෝකෝටිකයකි. ගොවි ප්‍රශ්න, විදුලි හා ජලබිල් ප්‍රශ්න, රෝහල් හා ඖෂධ සම්බන්ධ ගැටලු වැනි බොහෝ දේ නිසා ජනතාව මෙම පාලනයට සාධනීය ප්‍රතිචාර දක්වනු ඇතැයි කෙසේ සිතිය හැකිද? ජීවන වියදම කුසගින්න හා පාතාල මෙහෙයුම් වැනි දේ නිසා ජනතාව තුළ රජයන භීතිය ද මේ ආණ්ඩුවේ ගමනක අවසානයට හේතු වනු බව බොහෝ ප්‍රබුද්ධ පුරවැසියෝ ද කියති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment