අසරණ ළමයින් 5000කට පිහිට වූ සංඝ පීතෘවරයා

268

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” (බොහෝ ජනයාගේ හිත පිණිස හා සුව පිණිස චාරිකා කරව) යන බුදු වදන අනුව යමින් සිය මුළු දිවියම පරාර්ථ චර්යාව වෙනුවෙන් කැප කළ උතුම් මිනිසකු මම ඇසුරු කර ඇත්තෙමි. දශක කිහිපයක් පුරාවට තවමත් ඇසුරු කරමි. දරුවෙක් දෙන්නෙක් හදා ගන්නත් නොවිඳිනා දුක් විඳින දහසක් දෙමාපියන් අතරෙහි දූ දරුවන් 5000කට වඩා සතළිස් වසරක් තිස්සේ රැකබලා ගත් හා තවමත් එසේ කරන පීතෘවරයෙක් මම ඇසුරු කරමි. ඒ සාමාන්‍ය පියෙක් නම් නොවේ. සංඝ පීතෘවරයෙකි.

අසූවිය ද ඉක්ම වූ මාගේ දිවිය තුළ විවිධාකාර වූ දහස් ගණන් හිමිවරුන් ඇසුරු කර ඇත්තෙමි. ඒ අතර ශාස්ත්‍රපති, දර්ශනපති, පණ්ඩිත, ආචාර්ය හා මහාචාර්යවරු රැසක් සිටිති. උන්වහන්සේ අති දක්ෂයෝය. සිය ජීවිතයෙන් වැඩි කාලයක් පොත පත ඇසුරු කළ විද්වත්හු වෙති. එහෙත් මම මේ කතා කරන යතිවරයාණන්ට හැකියාවක් ඇති නමුත් එවන් පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමෙහිලා කිසිදු අභිමතයක් තිබුණේම නැත. උන්වහන්සේ දක්ෂයන් අතරෙහි අති දක්ෂයෙකි. තමන්ට වැඩක් වෙන දේවල්වලට කාලය කැප කරපු හිමිවරුන් අතරෙහි අනුන්ට වැඩක් වෙන දේවල්වලට කාලය කැපකරපු අපේ කාලයේ මහා යතිවරයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ පරාර්ථකාමියෙකි. ඒ වෙන කවුරුවත් නොව, අප්‍රේල් 29 වැනි දිනට 81 වැනි ජන්ම දිනය යෙදී ඇති හුණුපොළගම වජිර ශ්‍රී සමිඳාණෝය.

දහස් ගණන් වෙහෙර විහාර තිබුණත් බුදුන් වහ්නසේ වැඩි කලක් විසුවේ සැවැත් නුවර ජේතවනාරාමයේදීය. එමෙන්ම අප වජර ශ්‍රී නාහිමියන්ගේ ගුරු හිමිවරුන් සතුව කෙතරම් ප්‍රසිද්ධ විහාරස්ථාන තිබුණත් උන්වහන්සේට ක්ෂේම භූමිය වූයේ පිටකෝට්ටේ ආනන්ද බාලිකා විදුහලට නුදුරුව පිහිටි මුඩුබිම් කැබැල්ලකි. එවකට තුරුණු වියෙහි වූ අප යතිවරයාණෝ ප්‍රදේශයේ හිතවත් තරුණ පිරිසක් හා එක්ව සැදූ පොල්අතු කුටිය නොබෝ කලෙකින්ම අංග සම්පූර්ණ බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්වූයේ වජිර ශ්‍රී තරුණ යතිවරයාණන්ගේ කාර්යශූරත්වය හා නොපසුබට උත්සාහය නිසාමය.

මෙම ක්‍රියාපටිපාටිය පිළිබඳ වඩාත් විමසිලිමත් වූ වජිර ශ්‍රී හිමියෝ ඒ සඳහා පිළියම් සෙවීමෙහිලා උත්සුක වූහ. එම දිළිඳු නිවෙස්වලට වැඩිය උන්වහන්සේ කුඩා දරුවන් සිය වාසස්ථානයට කැඳවා, නාවා පිරිසිදු කළහ. දරුවන් ඇති සිය හිතවත් පවුල් දැනුවත් කර භාවිතයට සුදුසු ඇඳුම් ගෙන්වා ගෙන, වැරහිලි ඇඳුම් වෙනුවට ලබා දුන්හ. හැකි සෑමවිටම පොතපත කියා දීමට කාලය කැප කළහ. තමාට ලැබෙන දානමානාදිය අහිංසක පැටවුන්ගේ කුස පිරවීමට ලබාදුන්හ. කෑමබීම හා ඇඳුම් ලැබෙන නිසා කුඩා දරුවන් දිනපතාම උන්වහන්සේ සොයා එන්නට වූයෙන් ඒ සෑම ළදරුවකුගේම සාගිනි නිවීමට උන්වහන්සේට බොහෝ සේ වෙහෙසෙන්නට සිදුවිය.

උදවුකරුවකු සොයාගත් උන්වහන්සේ සිය පාත්තරය අතට ගෙන උදේ – දහවල් දෙවරක් පිණ්ඩපාත චාරිකාවෙහි වැඩියහ. දිනකට සැතපුම් විස්ස – තිහ අවට ගම්දනව්වල පාගමනින්ම වැඩම කළහ. පිණ්ඩපාත ක්‍රමයෙන් දිනපතා තමන් සොයා පැමිණෙන අහිංසක ළදරුවන්ගේ කුස පිරවීමට බලවත් සටනක උන්වහන්සේ තනිවම නිරතව සිටියහ. උන්වහන්සේගේ මෙම හුදෙකලා අසරණ සරණ සේවාව කල්යත්ම කිහිප දෙනෙක්ගේම අවධානයට යොමු විය. එම පිරිසද විටින් විට පැමිණ උන්වහන්සේට උදවු කරන්නට පටන් ගත්හ. දිනෙන් දින කටින් කට පැතිරී ගිය මෙම සේවාවට පරහිතකාමී බොහෝ දෙනාගේ අතහිත පසුකලෙකදී නොමඳව ලැබුණි.

උන්වහන්සේගේ නොපසුබට උත්සාහයට කදිම නිදසුනක් වන්නේ 70 දශකයේ අග භාගයේ ලංකාවම මුහුණ දුන් උග්‍ර ආහාර අර්බුදයයි. තමා විස්වාස කරගෙන පැමිණ තම සෙවණේ හැදී වැඩෙන කිරිදරුවන්ගේ කුසගිනි නිවීම ඉදිරියේදී උගහට වන බැව් උන්වහන්සේ කලින්ම දුටහ. පිණ්ඩපාතය දීමට තබා ගෙදර බතක් උයන්නවත් ගම්වැසියන්ට නොහැකි බව උන්වහන්සේ අවබෝධ කරගත්හ. එබැවින් ගල්ඔය මිටියාවතේ රජයේ ඉඩමකට වැඩම කළ උන්වහන්සේ එහි ඉඩමක වී වගා කර අස්වැන් ගෙනවුත් අසරණ ළදරුවන්ගේ සාගිනි නිවීමට කාරුණික වූහ.

නමින් උක්කුබණ්ඩාර විජේකෝන් නම් වූ එම උපදිසාපතිතුමා අප වජිර ශ්‍රී හිමියන්ගේ එක සොහොයුරෙකි. එතුමා ද පසු කලෙක ජාතිවාදී රුදුරු බිම්බෝම්බයකට හසුවී අවසන් ගමන් ගොස් ඇත. මෙම අසරණ දරු පිරිසට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්නට තරම් පරිසරයක් එහි නොවිණි. හැම තැනම තිබුණේ අවිනිශ්චිත බවකි. සිය පැවිදි සොහොයුරාගේ අසරණ සරණ සේවාව පිළිබඳව කලින් දැනුවත්ව සිටි එතුමා මෙම අනුවේදනීය පුවත වජිර ශ්‍රී හිමියන්ට ලියා දැන්වීය. උන්වහන්සේ එම දරුවන් පිරිසෙන් 101 දෙනෙක් කොළඹට රැගෙන ආහ. දුක්බර මුහුණින් යුත් අසරණ දරුවන් දමා එන්නට නොහැකි නිසාම හිතේ හයියට ගෙනාවත්, එවන් ළදරුවන් පිරිසකට ප්‍රමාණවත් පහසුකම් සපයන්නට එහි පූර්ව සූදානමක් හෝ හැකියාවක් තිබුණේ නැත. මුල් කාලයේ කිරිසප්පයන්ට කිරි පෙවීමේ කටයුතු පවා කරන්නට සිදුවූයේ අප හිමියන්ටමය.

වජිර ශ්‍රී හිමියන් විසින් කරන ලද මේ උතුම් සද්ක්‍රියාව ගැන ලංකාවේ ජාතික පුවත්පත් මගින් ඉහළින්ම අගය කෙරිණි. මෙම අනුවේදනීය පුවත ගැන දැනුවත් වූ රජය පමණක් නොව දෙස් විදෙස් සමාජ සේවා ආයතන, සමාජ ක්‍රියාකාරීන්, ස්වේච්ඡා සේවකයන් හා දානපතින් අප හිමියන් වටා ඒකරාශී වන්නට විණි. සැදැහැවත් දානපතියන්ගේ උපකාර නොමඳව ලද බැවින් වජිර ශ්‍රී හිමියන් වැඩ විසූ භූමිය කෙමෙන් කෙමෙන් ළමා සංවර්ධන හා රැකවරණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වුණි.

මම වසර කිහිපයකට පෙර එහි ගිය විට දරුවන් 376ක් එහි රැකවරණ ලබන අයුරු දිටිමි. වයස 1, 2 සිට 18 දක්වා විවිධ වයස් සීමාවල දරුවන් සිටිනු දිටිමි. සියලු ආගම්වල සියලු ජාතීන්ට අයත් දරුවන් සමගියෙන් එහි වෙසෙති. වජිර ශ්‍රී හිමියන් විසින් 1983-2022 කාල සීමාවට අයත් ගෙවී ගිය හතළිස් වසර පුරාවට ළමුන් 5000කට වඩා හිසට සෙවණක් ලබාදී ඇත. මනසට අධ්‍යාපනයක් ලබාදී ඇත. ගතට ප්‍රමාණවත් පෝෂණයක් ලබාදී ඇත. නිසි කල සමාජ ගතවීම සඳහා විවිධ වෘත්තීය පුහුණු ලබාදී ඇත.

උන්වහන්සේගේ සෙවණේ කුඩා කල සිට හැදී වැඩී ලංකාව පුරාම උසස් නිලතල හොබවන දරුවන් රැසක් සිටිති. ඒ අතර ඇතමෙක් නීතිවේදී, ඉංජිනේරු හා දොස්තරවරු ලෙස සේවය කරති. සමහරු තමන්ගේම ව්‍යාපාර සිදු කරති. ඇතැමෙක් සංවර්ධිත රටවලට ගොස් සේවය කරති.

උන්වහන්සේ ආදර්ශවත් ගුරු උපස්ථායකයෙකි. 1951 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝදා පැවිදි වූ අප හිමියන්ගේ ගුරු දේවයන් වහන්සේ වූයේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ධුරය හෙබ වූ අතිපූජ්‍ය අඹගස්වැවේ රතනජෝති මහ නාහිමියන්ගේ ශිෂ්‍ය, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික නාවින්නේ සුමන නාහිමියන් හා උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය තත්නිකායේ ජ්‍යෙෂ්ඨකාරක සංඝ සභික අඹගස්වැවේ රතනපාල නාහිමියන් හා රැස්වෙහෙර රජමහ විහාරාධිපති කටුගම්පොළගම ධම්මරතන නාහිමිපාණන්ය.

කෝට්ටේ ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන උන්වහන්සේ ලංකා ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති ධුරය ද දරා ඇත. අන්තර්ජාතික බෞද්ධාලෝක පදනමේ මහා ලේකම් ධුරය ද දැරූ උන්වහන්සේ ලෝක සාම සංඝ සම්මේලනයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයා ද වේ.

වජිර ශ්‍රී නාහිමිපාණන් ගැන ලොව පිළිගත් බොහෝ යතිවරයාණන් වහන්සේ ලිඛිතව සඳහන් කර ඇති වැකි කිහිපයක් මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.

“ලෝකයේ සමාජ සේවය කරන භික්‍ෂුන් වහන්සේ ඉතා විරලය. ලංකාවේ ද එසේමයි. එයින් ද නිස්සරනධ්‍යාෂයෙන් සමාජ සේවය කරන එකම භික්‍ෂුන් වහන්සේ හුණුපළගම වජිර ශ්‍රී නායක ස්ථවිරයන් පමණි.” අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක, අපවත් වී වදාළ අතිපූජ්‍ය පලිපාන

ශ්‍රී චන්දානන්ද මහ නායක හිමිපාණන් වහන්සේ.

“භික්‍ෂු අනන්‍යතාවය තහවුරු කරගෙන සමාජ සේවා කටයුතු සිදුකිරීම වර්තමාන භික්‍ෂු සංස්ථාවේ අවශ්‍යතාවක් බවට පත්වී ඇත. එම අවශ්‍යතාවය තේරුම් ගෙන අසරණ අහිංසක සෙනෙහස නොලද ළමුන් මාධ්‍ය කරගෙන හුණුපළගම වජිර ශ්‍රී නායක ස්ථවීරයන් වහන්සේ සිදුකරන සමාජ සේවාව අගය කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙමි.” ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, අතිපූජ්‍ය මඩිහේ පඥ්ඥාසීහ මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

ගත වූ දශක හතක පමණ කාලය තුළ මහත් වූ ආගමික, සමාජික සේවාවක් සිදුකරන අපේ හුණුපළගම වජිර ශ්‍රී නායක ස්ථවිරයන් වහන්සේට මහත් වූ පරාර්ථ සේවාවක නිරත වීමට තෙරුවන් සරණින් චිරජීවනය සමඟ නිරෝගීභාවය නොමඳව ලැබේවායි ශුභාශිංසනය කරමි.

රවීන්ද්‍ර දිසානායක (B.ed)

සංස්කරණය – සුසිල් ජයකොඩි

අසරණ ළමයින් 5000කට පිහිට වූ සංඝ පීතෘවරයා


0722081522

advertistmentadvertistment
advertistmentadvertistment