දිස්ත්‍රික්ක 10ක දැන් පැතිරිලා: මාස 6-9 බබාලාට වහාම අමතර සරම්ප එන්නත දෙන්න – විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ

148

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය මේ වනවිට යළිත් දිස්ත්‍රික්ක දහයක් පුරා පැතිර ගොස් ඇති නිසා මාස හයත් මාස නවයත් අතර දරුවන්ට වහා අමතර සරම්ප එන්නත (MMR) ලබාදෙන ලෙස වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

මේ වනවිට සරම්ප රෝගීන් හත්සිය හතළිහක් හමුවී ඇතැයි ද 2019 දී සරම්ප රෝගය මුළු රටින්ම තුරන්කර තිබියදී ඇතැම් දෙමාපියන් ළදරුවන්ට එන්නත් නොදීම නිසා යළිත් එම රෝගය මෙරට පැතිර ඇතැයි ද ඒ මහතා කීය.

එනිසා ලබන 06 වැනිදා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර සහ කල්මුණේ යන දිස්ත්‍රික්ක නවයම ආවරණය කරමින් සරම්ප එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ගිනිගේ මහතා පැවසීය.

පැරාමික්සෝ වෛරස් කාණ්ඩයට අයත් බෝවන රෝගයක් වන මෙය මාරාන්තික බවද වෛද්‍ය මතයයි. මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ සරම්ප වැළඳුන බවට තහවුරු දරුවන් හත්දෙනකු හඳුනාගෙන තිබේ. එලෙස සැක සහිත රෝගී දරුවන් පහළොස් දෙනකු සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසීය.

තද උණ, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, නාසයෙන් සොටු දියර ගැලීම, ඇස් රතුවීම රෝග ලක්‍ෂණ අතර ප්‍රධාන ඒවාය.

මෙම රෝගය වැළඳුන එක් අයකුගෙන් වෛරසය නීරෝගි දහඅට දෙනකුට ව්‍යාප්ත විය හැකිවීම නිසා එන්නත්කරණ අත්‍යවශ්‍ය බවද වෛද්‍යවරු අවධාරණය කරති. විශේෂයෙන්ම කුඩා දරුවන්ට සරම්ප වැළඳුන පසු නිව්මෝනියා තත්ත්වයට පත් වී බැක්ටීරියා නිව්මෝනියා ලෙස වර්ධනය විය හැකිය. ඉන් මොළයට ද බලපෑම් එල් වී පාචනය, විජලනයට ලක්ව වලිප්පු තත්ත්වයට පත්ව මාරාන්තික හානි සිදුවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටියේ සරම්ප දෙවැනි රැල්ලක අවදානමක් මතුවිය හැකි බවය. මීට මාස හයකට නවයකට පෙරාතුව වසංගත රෝග අංශය සරම්ප පැතිර යෑමේ අවදානමක් පිළිබඳ යම් වාර්තාවක් ඉදිරිපත් කළත් සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ තැකීමක් නොකළ නිසා 2019 දී මුළු රටින්ම තුරන් කර තිබූ සරම්ප රෝගය දිස්ත්‍රික්ක දහයක් පුරා පැතිර ගිය බවද සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment