බලතල අතහරින්නට පෙර පාස්කු ප්‍රහාරය ගැන ගත් පියවර කුමක්ද?

485

ගෝඨාභයගේ ලිපියට කාදිනල්තුමාගෙන් පිළිතුරක්

ඔත්තු සේවා ලබාදුන් ඔත්තුව තුට්ටුවකටවත් ගණන් නොගෙන සහරාන් ඇතුළු පිරිසට ප්‍රහාරය ඉදිරියට ගෙන යන්නට සැලසූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ උසස් නිලධාරීන්ට විරුද්ධව කොමිෂන් සභාව කළ නිර්දේශ ක්‍රියාත්මක නොකර ඒ සියල්ල බුමුතුරුණු යට සඟවා තැබීමට ගෝඨාභය රාජපක්ෂ රජය මෙන්ම ඊටත් වඩා ඉදිරියෙන්, පවත්නා රජය ද ප්‍රහාරය යටගසන පිළිවෙතක සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කාදිනල්තුමා නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා තම නිවේදනය මඟින් සත්‍ය වසන්කරන්නට කටයුතු කර ඇති බව ද එහි දැක්වේ.

එහි මෙසේද සඳහන් වේ.

කොමිෂන් සභාවේ වාර්තාවේ 25 වන පරිච්ඡේදයේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙන අතරම ඒ සමගම වෙනත් සංවිධාන නම්කර ඇති අතර ඒවායේ විස්තර ද දීර්ඝ ලෙස හුවා දක්වා ඇත. ඒවා එම වාර්තාවේ පිටු අංක 403 – 412 දක්වා විස්තර කරනු ලැබ ඇත. ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා මාහට දුරකථනයෙන් ප්‍රකාශ කර සිටියේ ඒ සංවිධාන තමන්ට හිතවත් වීම නිසා ඔවුනට විරුද්ධව කටයුතු කිරීමට යෝජනා කර ඇති ක්‍රියාදාමයන් ඉටුකළ නොහැකි බවයි.

ඇත්තෙන්ම තමන්ට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ක්‍රියාවට නැංවීම දුෂ්කර දෙයක් බව මට දන්වා සිටීම තුළ එදා සිට ජනාධිපතිතුමන් ඊට පෙර පොරොන්දු වූ “යුක්තිය ඉටුකර දෙමියි” යන පොරොන්දුව ක්‍රියාවට නංවන්නට ධෛර්යවන්ත නොවනු ඇතැයි යන හැඟීම මා තුළ ඇති විය. ඉස්ලාමීය සංවිධාන හිටපු ජනාධිපතිතුමාට සහාය නොදැක්වූ බවට සත්‍යයක් විය හැකි වුවද එහි නම්කර ඇති ඉස්ලාමීය නොවන සංවිධාන එතුමන්ට සහාය දැක්වූ බව කවුරුත් දන්නා කරුණකි.

එලෙසම මා පාස්කු ප්‍රහාරය දියත් කළ ත්‍රස්තවාදීන්ට මෙන්ම, ඒ අයට විරුද්ධව ක්‍රියාකාරී නොවූ විවිධ පාර්ශ්වයන් විවේචනය නොකර එතුමන්ට පමණක් දොස් නඟන බවට එතුමා නඟන චෝදනාව ද සත්‍යයෙන් තොර බව ප්‍රකාශ කර සිටිමී. අඩුතරමින් එතුමා බලයට පැමිණි පසුවවත් මේ ප්‍රහාරය වළක්වා නොගත් පොලිසියේ උසස් නිලධාරීන් හා හිටපු ජනාධිපති සිරිසේන මහතාට විරුද්ධව හෝ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කළ දෙය ක්‍රියාවට නංවන්නටවත් රාජපක්ෂ ජනාධිපතිතුමා සිය බලතල අතහරින්නට මත්තෙන් වූ කාලය තුළ එනම් වසරකුත් මාස 5ක කාලයක් තුළ කටයුතු නොකළේ මන්දැයි මා එතුමාගෙන් අසා සිටිමි.

දෙවැනි කරුණ ලෙස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන අදහස වන්නේ එම කොමිෂන් සභාවේ වාර්තාව මසක් ඇතුළත අපට භාරදීමට කටයුතු කළ බවයි. ඒ මහතා සඳහන් නොකරන්නේ එම වාර්තාවේ අප වෙත භාර දුන්නේ පළමු වෙළුම පමණක් වන බවයි.

එම වාර්තාවේ ඉතිරි වෙළුම් අප වෙත ලබාදෙන ලද්දේ වර්තමාන රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මැතිතුමා විසින්ය. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කළේ මේ ඉතිරි වෙළුම් පාර්ලිමේන්තු පුස්තකාලයට භාරදීමය. ඒ අනුව වත්මන් රජය ඒවා භාර දෙනතුරු ඒවා අපවෙත නොලැබුණු බව සඳහන් කළ යුතුය. ඒ නිසා මෙම ප්‍රහාරයේ වින්දිත පාර්ශ්වය වන, අපට ලැබුණේ නිගමන හා නිර්දේශ ඇතුළත් වෙළුම පමණක් වීමෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ දෙන ලද වැදගත් සාක්ෂි සහ සටහන් අපගෙන් වසන් කිරීමක් සිදුවූ බව කිව යුතුය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම සිය ලියවිල්ල තුළ මෙම නිර්දේශ තෝරා බේරාගැනීම සඳහා සය පුද්ගල කැබිනට් කමිටුවක් පත්කළ බව පිළිගෙන තිබේ. නමුත් ඔවුන් මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කර ඇති කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගත් තීරණ මොනවාද හා ඒවායින් කොපමණක් එතුමන්ගේ රජය යටතේ හෝ මේ වනවිට හෝ ක්‍රියාත්මක වී තිබේද යන්න කිසිවකු නොදන්නා රහසක් බවට පත්වීම තුළ, මේ අනුකමිටුව පත් කළේ මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වඩා එසේ නොකිරීමට යැයි අපට වටහා ගත හැක.

මේ වනවිට කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කුමන යෝජනා, මෙම කැබිනට් කමිටුව හරහා ක්‍රියාත්මක වී තිබේදැයි අපි රාජපක්ෂ මහතාගෙන් විමසා සිටිමු. මේ වනතුරුත් එම නිර්දේශ පොතට පමණක් සීමා වූ ඒවා නොවේ දැයි අප තුළ ප්‍රශ්නාර්ථයක් මතුවේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment